E   |   த   |  

2021-10-07

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් මිලියන 89ක් වියදම් කොට ඇති බව ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් මිලියන 89ක් වියදම් කොට ඇති බව කෝප් කමිටුවේදී  අනාවරණය විය.
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව පරිගණක 139 ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් 15,290,000ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීමට සැලසුම් කොට තිබුණද, එය ඉක්මවා පරිගණක යන්ත්‍ර මිලදී ගෙන තිබුණි. මේ අනුව පරිගණක යන්ත්‍ර 800ක් හා ලැප්ටොප් යන්ත්‍ර 47ක් රුපියල් 113,303,750 ක මුදලකට ප්‍රසම්පාදනය කර තිබුණි. මේ නිසා 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් 89,977,500ක මුදලක් ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය ගිණුම් හරහා වියදම් කොට ඇති බව මෙසේ කෝප් කමිටුවේදී අනාවරණය විය.

මෙම කරුණු අනාවරණය වූයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ 2017 සහ  2018 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ එහි වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව  ඊයේ (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

විශේෂයෙන් මෙහිදී  නියමිත ක්‍රමවේදයකින් තොරව මෙසේ මුදල් වියදම් කිරීම පිළිබඳව කෝප් සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කළේය. එසේම දුප්පත් අහිංසක ජනතාවට සේවයක් කිරීමට ඇති මෙවැනි ආයතනයක් මෙසේ මුදල් වියදම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත්  පැවසීය.

එසේම සුඛෝපභෝගී බස්රථ 125 ක් සඳහා කැමරා හා ජී.පී.එස්. (GPS) පද්ධති පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා පෞද්ගලික සමාගමක් සමඟ රුපියල් 33,628,840 ක  ගිවිසුමකට එළඔ තිබුණි.  එහෙත් මෙම උපකරණවලින් කිහිපයක් හැර අනිත් උපකරණ නිවැරදිව ක්‍රියාකාරී මට්ටමේ නොපවතින බව කෝප් කමිටුවේදී අනාවරණය විය. විශේෂයෙන් මෙම බස් රථ වල සේවකයින් මෙම උපකරණවලට  හිතාමතාම හානි සිදුකර ඇති බවත් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවත් මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පැවසූහ. එම පරීක්ෂණය අවසන් වූ වහාම වාර්තාවක් ලබා දීමටත් ඔවුහු පොරොන්දු වූහ. එසේම අදාළ සමාගමේ සේවා කාලය අවසන් වී නොමැති නම් ක්‍රියාකාරී මට්ටමේ නොපවතින එම උපකරණ අදාල සමාගම මඟින් නැවත පිළිසකර කර ගැනීමට කටයුතු කරන බවත් මෙහිදී එම නිලධාරීහු සඳහන් කළහ.

තවද 2018 දෙසැම්බර් 24 දින ලබාගත් රුපියල් 150,000,000 ක  බැංකු ණය මුදල, මුදල් අමාත්‍යවරයාගෙන් විමසා මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව මත ලබා ගත යුතු උවත් එසේ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය නොගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙවැනි ණය ප්‍රමාණයක් නිලධාරීන් කිහිපදෙනෙකුගේ හිතුමතයට ලබාගත නොහැකි බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ නිසා මේ පිළිබඳව අවශ්‍ය පියවර ඉක්මනින් ගැනීමට කටයුතු කරන ලෙසත් කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කළේය.

එසේම 2017, 2018, 2019, 2020 යන වර්ෂ වලට අදාල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට සභාගත නොකිරීම පිළිබඳවද කෝප් කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.  මෙම කාල සීමාව තුළ මුද්‍රණය කිරීම පිළිබඳ යම් ගැටලු තත්ත්වයන් ඇතිවී තිබූ බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ නමුත්  2017 සහ 2018 වර්ෂ වල වාර්ෂික වාර්තා මේ වන විටත් අමාත්‍යාංශයට භාර දී ඇති බව  මෙහිදී නිලධාරීහු පැවසූහ. මේ අනුව දෙසැම්බර් 31 වෙනි දිනට පෙර මෙම සියලු වාර්තා පාර්ලිමේන්තුවට සභාගත කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව විසින් මෙහිදී නිර්දේශ කරන ලදී.
2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 1000ක්  රුපියල් මිලියන 35 ක් වැයකර කර මිලදී ගැනීමට සැලසුම් කර තිබූ අතර  ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියද  ලබාගෙන තිබුණි. නමුත් 2018 වර්ෂයේ දී ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 2000ක්  මිලදී ගැනීමට රුපියල් 75,900,000 ක මුදලක් වියදම් කර තිබුණි.  මේ අනුව අනුමැතියකින් තොරව ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 1000 ක්  මිලදී ගෙන තිබූ අතර, මෙම මිලදී ගත් මැෂින් මගින් අපේක්ෂිත අරමුණු ඉටු නොවී තිබීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය. මේ නිසා මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදීමට නිර්දේශ කළේය.

එසේම අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරු කිහිපයක ගැටලු පිළිබඳවද, ධාවනයේ පවතින 5921 ක බස් රථ සංඛ්‍යාව පිළිබඳවද, දැනට ධාවනයෙන් ඉවත් වී ඇති  බස් රථ සංඛ්‍යාව පිළිබඳවද,  එසේම වසර 10 ක් පැරණි  2742 ක බස් රථ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණි.

මෙම කාරක සභා රැස්වීමට ගරු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ගරු රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරු සහභාගී වුහ. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා මාර්ග ගත ක්‍රමය ඔස්සේ මෙම කමිටුවට සම්බන්ධ විය. එසේම මේ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්ද සහභාගී වූ අතර ඇතැම් නිලධාරීහු මාර්ග ගත ක්‍රමය ඔස්සේ ද සම්බන්ධ වූහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-11-20

ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි තීරණ ගැනීම සහතික කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අවධාරණය කරන ලදී.පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 18) රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් බෙදා හරින පෞද්ගලික සමාගමක් විසින් ගෑස් සිලින්ඩරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබිණි.ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදු වන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් තමන් මේ සඳහා මැදිහත් වූ බව සඳහන් කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා, ගෘහස්ථ ගෑස් සඳහා මිල තීරණය කිරීමේ බලය තම අධිකාරියට නොමැති බව ද පැවසීය. එසේ වුවද, අදාළ පෞද්ගලික සමාගම සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මිල අඩු කිරීමට පියවර ගත් බව ද ඔහු කාරක සභාවට පැවසුවේය.ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හරින අදාළ පෞද්ගලික සමාගමට වෙළෙඳපොළේ හිමි කොටස අඩු බැවින්, එම සමාගමට ගෑස් වැඩි මිලකට මිලදී ගැනීමට සිදු වන බවත්, ඒ අනුව මිලදී ගත් මිලට සාපේක්ෂව ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදු වූ බවත් එම සමාගම තමන්ට පැහැදිලි කළ බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.කෙසේ වෙතත්, ඉදිරියේදී ගෘහස්ථ ගෑස් සැපයුමට බාධා ඇති නොවන බවට සහතික කරන ලෙසත්, මිල ඉහළ යාම් හේතුවෙන් පාරිභෝගිකයින් පීඩාවට පත් නොවන බවට වගබලා ගන්නා ලෙසත් කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් කිත්සිරි, එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ ඥානමුත්තු ශ්‍රීනේසන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-20

ආගමන පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

 පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආගමන පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, කාරක සභා අවස්ථාවේ සංශෝධනවලට යටත්ව මෙම අනුමතිය ලබා දීම සිදු විය.    එම කාරක සභාව එහි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ආගමන පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කෙරිණි. කාරක සභා සාමාජික මන්ත්‍රීවරු, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ ද   මෙම රැස්වීමට සහභාගී වූහ.(351 වන අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනත සහ 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර සහ පිටවීමේ අවසර පනත යන පනත් දෙකම ඉවත් කරමින්, වර්තමාන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි මෙම නව පනත හඳුන්වා දෙනු ලබන බවත් නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු සහ සංශෝධන සියල්ල කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත්, විශේෂයෙන්ම, ජෛවමිතික තොරතුරු (Biometric Data) ලබා ගැනීමේදී සහ ගබඩා කිරීමේදී පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට (Personal Data Protection Act) අනුකූල වන පරිදි නෛතික සුරක්ෂිතතාව තහවුරු කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.එසේම පාලක, නියෝජ්‍ය පාලක සහ බලයලත් නිලධාරී වැනි පැරණි තනතුරු වෙනුවට පාලක ජනරාල්, අතිරේක පාලක ජනරාල් සහ ආගමන නිලධාරීන් ලෙස තනතුරු නාමයන් යාවත්කාලීන කර ඇති බව මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. එමෙන්ම, නීති විරෝධී ලෙස මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදන මඟින් බලය පවරනු ලබන ත්‍රිවිධ හමුදා සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට (Coast Guard) ද සීමිත බලතල ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සලසා තිබේ.තවද, ශ්‍රී ලංකාවෙන් නීත්‍යානුකූලව පිටවී වෙනත් රටකදී ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් සිදු කරන මනුෂ්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට නීතිය යටතේ නඩු පැවරීමටත්, එවැනි සංවිධානාත්මක නීති විරෝධී ක්‍රියාවලට අදාළ නඩු මහාධිකරණය හමුවේ විභාග කිරීමටත් නව පනතින් බලතල පැවරේ. එසේම විදේශ ගමන් බලපත්‍රවල මුද්‍රා තැබීමකින් තොරව භාවිත කළ හැකි ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික ද්වාර (E-Gates) ක්‍රියාත්මක කිරීම ඇතුළු තාක්ෂණික අවශ්‍යතා සදහා නෛතික රාමුව මෙමඟින් සපයා ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වන විදේශිකයන් සඳහා මෙරට වීසා ලබා දීමේදී ඇති නෛතික තත්ත්වයන් සහ ඊට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. 


2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 ක පාඩුවක් ද නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks