01

E   |   த   |  

2021-10-05

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවේ එකඟතාව

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැනට පවතින අමාත්‍යාංශයන්හි විෂය පථයට නොගැනෙන රාජ්‍ය ආයතන විසින්‌ පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් සම්බන්ධයෙන්‌ සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් එකඟතාව පළ කරන ලදී.

මෙම එකඟතාවය පළ වූයේ දැනට පවතින අමාත්‍යාංශයන්හි විෂය පථයට නොගැනෙන රාජ්‍ය ආයතන විසින්‌ පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් සම්බන්ධයෙන්‌ සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ගරු මහාමාර්ග අමාත්‍ය සහ  ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා වන්නේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ය.

විශේෂයෙන් 1980  අංක 44 දරන  ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ නීතිය අනුව ඡන්ද හිමියන් ලියාපදිංචි කරනු ලබන්නේ එක් එක් වර්ෂයේ ජුනි මස පළමු දිනට වයස 18 සම්පූර්ණ කළ තැනැත්තන්ය. නමුත් එම දිනට පසු උපන්දිනය ඇති තරුණ පිරිස් සඳහා ඡන්ද අයිතිය හිමිවන්නේ ඉදිරි වර්ෂයේ මැයි 31 දිනට පසු යෙදෙන මැතිවරණයේදී ය. මේ නිසා වයස අවුරුදු 18 සම්පූර්ණ  වූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීම සඳහා මෙම සංශෝධනය සිදුකරයි.

මීට අදාල අති විශේෂ ගැසට් නිවේදනය 2021 මාර්තු මස 13 වන දින නිකුත්කොට තිබුණි. මේ අනුව 06 වෙනි දා මෙම (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම කාරක සභාවට ගරු අමාත්‍යවරුන් වන (මහාචාර්ය) ජී.එල්. පීරිස් මහතා, එම්.යූ.එම්. අලි සබ්රි මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහභාගී වූහ.

 

1 2

3

 



සම්බන්ධිත පුවත්

2026-11-11

පෞද්ගලික අංශයේ ණය වර්ධනය, උද්ධමන ඉලක්කය සහ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව මහ බැංකු නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කරුණු දක්වති

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය, උද්ධමන ඉලක්කකරණය, පෞද්ගලික අංශයේ ණය වර්ධනය, ආර්ථික වර්ධන විභවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා  පාර්ලිමේන්තුවේ දී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්ෂ සහ තිළිණ සමරකෝන් යන මහත්වරුන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(2)(අ) වගන්තියේ විධිවිධාන අනුව, මහ බැංකුවේ කාර්යභාරයන් පිළිබඳව කරුණු දැක්වීම සඳහා මහ බැංකු අධිපතිවරයා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් සහ නියෝජ්‍ය අධිපතිවරුන් සෑම මාස හතරකට වරක් පාර්ලිමේන්තුව හෝ එහි කමිටුවක් හමුවේ හෝ පෙනී සිටිය යුතුය. එමෙන්ම, 26(5) වගන්තිය ප්‍රකාරව, අඛන්ඩව කාර්තු දෙකක් නියමිත උද්ධමන ඉලක්ක සපුරාලීමට මහ බැංකුව අපොහොසත් වුවහොත්, ඒ පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ.මෙහිදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කර ගත් ප්‍රධාන උද්ධමන ඉලක්කය 5% ක් ලෙස පවත්වාගෙන යාම සහ එම ඉලක්කය ඉදිරි වසර තුන සඳහා ද පවත්වාගෙන යාමට ගෙන ඇති තීරණය පිළිබඳව මහ බැංකු නිලධාරීහු පැහැදිලි කළහ. උද්ධමනය ඉලක්කගත පරාසයේ පහළ සීමාව වන 3% ට වඩා පහළ මට්ටමක පැවති අවස්ථා හේතුවෙන් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තා හතක් ඉදිරිපත් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.2026 වසරේ මුල් මාස නවය තුළ පෞද්ගලික අංශය වෙත ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.1 ක් වන අතර, එය 2025 වසරේ අනුරූප කාලසීමාවේ පැවති රුපියල් ට්‍රිලියන 1.9 ක ප්‍රමාණයට වඩා ඉහළ අගයක් බව ද ප්‍රකාශ විය. ඉන් 74% ක් පමණ බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් ලබා දී තිබේ.කෙසේ වෙතත්, කෙටි කාලීන ණය අනුපාතය 42% සිට 47% දක්වා ඉහළ යාමත්, දිගුකාලීන ණය අනුපාතය 35% සිට 29% දක්වා පහළ යාමත් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. බැංකු ණය ප්‍රාග්ධන සම්පාදනය, නව ආයෝජන සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ලෙස යොදාගන්නේද යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. තවද, උකස් ණය සහ වාහන ණය ඇතුළු ණය වර්ගවල වර්ධනය පිළිබඳව ද කරුණු විමසා බැලිණි.ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධන විභවය සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් වූ අතර, තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තියට අමතරව වෙළඳ, කම්කරු හා ඉඩම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ, මානව ප්‍රාග්ධන සංවර්ධනය, ඵලදායිතාව ඉහළ නැංවීම සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින්, බැංකු අංශයේ තුන්වන අදියරේ අක්‍රීය ණය අනුපාතය 9.7% සිට 8.8% දක්වා පහළ ගොස් ඇති බවත්, බැංකු පද්ධතියේ ප්‍රාග්ධන හා ද්‍රවශීලතා මට්ටම් නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවතින බවත් පැහැදිලි කෙරිණි.NDB බැංකුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිතීන් අධීක්ෂණ මණ්ඩලයේ වාර්තාව 2026 ඔක්තෝබර් 15 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් අදාළ බැංකුව සම්බන්ධයෙන් ලාභාංශ බෙදා හැරීම, ශාඛා ව්‍යාප්තිය සහ අධ්‍යක්ෂ මණ්ඩල දීමනා සීමා කිරීම ඇතුළු නියාමන ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීහු පැවසුහ.නීති විරෝධී ලෙස මහජන තැන්පතු ලබා ගන්නා ආයතන සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් මහ බැංකු අධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රූප හා හඬ ව්‍යාජ ලෙස යොදාගනිමින් සිදු කරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. එවැනි වංචා වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT), පොලිසිය සහ Meta සමාගම සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව ද මහ බැංකු නිලධාරීහු පෙන්වා දුන්හ.මීට අමතරව, අතථ්‍ය වත්කම් සහ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ නියාමන කටයුතු, කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක බැංකු අධීක්ෂණය සහ රාජ්‍ය බැංකු ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී කරුණු සාකච්ඡා විය.


2026-11-10

ළමා අයිතිවාසිකම් සුරැකීම, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 06) රැස්විය. මෙහිදී ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ තාක්ෂණික හා පර්යේෂණමය ධාරිතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී නොවැම්බර් 20 වැනිදා ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත “විශේෂ ළමා පාර්ලිමේන්තු සහභාගීත්ව වැඩසටහන” පිළිබඳව අවධානය යොමු විය. දිවයින පුරා දරුවන් 1,200 කට අධික පිරිසකගේ අදහස් ලබා ගෙන සකස් කළ ළමා ප්‍රකාශනය (Children’s Statement) දරුවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ළමා අයිතිවාසිකම් සහ සුභසාධනය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ළමා සංසදයක් නැවත ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, ළමා අපයෝජන සම්බන්ධ නඩු කඩිනම් කිරීම, ඒ සඳහා පවතින නීතිමය බාධා ඉවත් කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. අනතුරුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක ගෝලීය ක්‍රියාකාරී වැඩසටහන පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි. නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉහත වැඩසටහන යටතේ “This is my right” යන තේමාවෙන් දැනුවත් කිරීමේ පාගමනක් සංවිධානය කිරීමටත්, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කර ඇති සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරිණි.එම පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට අමතරව මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය ආයතනවල නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් සහභාගී කරගැනීමට අපේක්ෂා කරන බව මෙහිදී පැමිණි නියෝජිතයෝ පැවසූහ. එමෙන්ම, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ට සහාය ලබා ගත හැකි ආයතන හා සේවා පිළිබඳ තොරතුරු ඇතුළත් QR කේතයක් සහිත ඩිජිටල් සේවා නාමාවලියක් හඳුන්වාදීම සහ අදාළ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සංවාදයක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.මේ අතර, මැක්ස් ප්ලෑන්ක් පදනමේ (Max Planck Foundation) නියෝජිතයන් සමඟ පැවති තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ පසු විපරම් සාකච්ඡාවේදී පාර්ලිමේන්තු පර්යේෂණ සහාය සහ දැනුම හුවමාරුව සම්බන්ධයෙන් අවධානය යොමු විය. නීති කෙටුම්පත් සකස් කිරීම, සංසන්දනාත්මක නීති අධ්‍යයනය සහ පනත් කෙටුම්පත්වල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව හා මානව හිමිකම් කෙරෙහි ඇති බලපෑම ඇගයීම වැනි ක්ෂේත්‍රවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තාක්ෂණික හා පර්යේෂණමය සහාය ලබාගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.එමෙන්ම, ළමා ආරක්ෂාව, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මුල්කරගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මහත්මීන් ඇතුළු කාරක සභා සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූහ.


2026-11-10

රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීමට නිසි ආයතනික සැලසුම් හා ප්‍රධාන කාර්යසාධන දර්ශක සකස් කිරීමේ වැදගත්කම 'කෝප්' සභාපතිවරයා අවධාරණය කරයි

රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා නිසි ආයතනික හා ක්‍රියාකාරී සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මැනිය හැකි ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කළේය.පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ III වැනි අනු කාරක සභාව හමුවේ පළමු අධියර ලෙස සිය ආයතනික සැලසුම් ඉදිරිපත් කළ  ආයතන 41හි සංයුක්ත සහ ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳ  ප්‍රගති සමාලෝචන වැඩමුළුව පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවති අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.රාජ්‍ය ආයතනවල කාර්යභාරය, මූල්‍ය විනය සහ කාර්යක්ෂමතාව නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා නීත්‍යානුකූල බලතල හා වගකීම් හඳුනාගෙන කටයුතු කිරීම අවශ්‍ය බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, අතීත විගණන ගැටලු පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම වෙනුවට, ආයතනික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ ඒවා මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගෙන තිබේද යන්න ඇගයීමට ලක් කිරීම වැදගත් බව ද ඔහු අවධාරණය කළේය.මෙම වැඩමුළුවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු ජාතික විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ උපදේශකවරුන් වන පී. රණසිංහ සහ  සී. එස්. මායාදුන්නේ යන මහත්වරුන්, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම රාජ්‍ය ව්‍යවසායයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-10

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනේ

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී.ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති, ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.මෙහිදී ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (Eelam People's Revolutionary Liberation Front - EPRLF) නියෝජනය කරමින් කේ. ප්‍රේමචන්ද්‍රන්, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (Eros Democratic Front) නියෝජනය කරමින් රාමසාමි රාජේන්ද්‍රන්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Eelam People's Democratic Party - EPDP/ඊ. පී. ඩී. පී. ) නියෝජනය කරමින් ශන්මුගනාදන් සන්ජීවන් යන මහත්වරු සිය පක්ෂ වෙනුවෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු මැතිවරණ ක්‍රමය, කාන්තා සහ තරුණ නියෝජනය ආදී කරුණු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර යන මහත්වරු මෙන්ම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks