E   |   த   |  

2021-09-30

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී යෝජනා කරයි

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි දෙමින් ඊයේ පස්වරුවේ (29) පැවසීය. සමහර දේශපාලන පක්ෂ දිස්ත්‍රික්කයකට පමණක් සීමා වී ඇත. වර්තමානය වන විට පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායකවල ගැටලු මතුව ඇති බවද හෙතෙම කීවේය.

ජාතික වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂ, ලියාපදිංචි පක්ෂ සහ ප්‍රාදේශීය පක්ෂ ලෙස දේශපාලන පක්ෂ වර්ගකර, ඒවා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවද නිමල් පුංචිහේවා මහතා  කාරක සභාවට යෝජනා කළේය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් විය.

නාමයෝජනා භාර දීමේදී මතුවන තාක්ෂණික ගැටලු නිරාකරණය සඳහා අවම වශයෙන් පැය 24 ක කාලයක් ලබා දිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී යෝජනා කළේය.

ස්වාධීන දේශපාලන පක්ෂවලට පමණක් සීමා වී ඇති ඇප මුදල් තැන්පත් කිරීම පිළිගත් දේශපාලන පක්ෂ සඳහාද අදාළ කරගත යුතුය යන්න එම කොමිෂන් සභාවේ මතය විය. ඇප මුදල් තැන්පත් කිරීමේ ක්‍රමවේදය කාලිනව සංශෝධනයට ලක් කළ යුතු බවද ඔවුහු පැවසූහ.

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව මඟින් පමණක් සිදු කෙරෙන අතර, ඒ වෙනුවෙන් විකල්ප ක්‍රමවේද භාවිත කිරීමේ අවශ්‍යතාවද කොමිෂන් සභාව කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

මැතිවරණයක ඡන්දය භාවිත කිරීමේ වේලාව අවසන් වන විට පෝලිම්ගතව සිටින ඡන්ද දායකයන්ට ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි මැතිවරණ නීති සංශෝධනය කළ යුතු බවටද කොමිෂන් සභාව යෝජනා කළේය.

“මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන්  සභාවේ  මතයවේ” යන්නද එහි සභාපති නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී කීවේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 225 ලෙසම පැවතිය  යුතු බවත්, ඉන් 140 ක් කොට්ඨාස මට්ටමින් ද, 70 ක් දිස්ත්‍රීක් සමානුපාතික ක්‍රමයෙන්ද, 15 ක් ජාතික ලැයිස්තුවෙන්ද තෝරා ගත යුතු බවට හෙතෙම යෝජනා කළේය.

නාම යෝජනා භාරදී අවසන් වූ පසු අපේක්ෂකයන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, සෞඛ්‍ය ආදි අත්‍යාවශ්‍ය සේවා වලටද තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු මෙහිදී කීවේය.

පූර්ව ඡන්දය භාවිත කිරීමේ අයිතිය තහවුරු කළ යුතු බවත්,ඊට විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අදහස විය.

ජනතා නියෝජිතයින් ආපසු කැඳවීමේ ක්‍රමවේදයක් පැවතිය යුතු බවද, ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් සැකසිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී අවධාරණය කළේය.

නව සංශෝධන වලදී ද්විත්ව ඡන්ද පත්‍රිකා භාවිතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය යුතු බවත්, මැතිවරණ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු බවත් නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී අවධාරණය කළේය.

මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවීමට කටයුතු කළ යුතු බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

මැතිවරණ වියදම් පාලනය සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැඩි ස්ථාවරයක සිටින බවද ඔහු කීවේය.

එම වියදම් පාලනය සඳහා මනාප ක්‍රමය අහෝසි කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී පැවසීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මාධ්‍ය උපමාන රාජ්‍ය මාධ්‍යට පමණක් නොව පෞද්ගලික මාධ්‍යටද අදාළ කරගත හැකි බව නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ජා විය. නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයෝද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

මෙම කාරක සභාවට අමාත්‍ය මහාචාර්‍ය ජී.එල් පීරිස් මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්.ඒ සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම්  ලබන අද (30) පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-11-20

ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි තීරණ ගැනීම සහතික කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අවධාරණය කරන ලදී.පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 18) රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් බෙදා හරින පෞද්ගලික සමාගමක් විසින් ගෑස් සිලින්ඩරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබිණි.ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදු වන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් තමන් මේ සඳහා මැදිහත් වූ බව සඳහන් කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා, ගෘහස්ථ ගෑස් සඳහා මිල තීරණය කිරීමේ බලය තම අධිකාරියට නොමැති බව ද පැවසීය. එසේ වුවද, අදාළ පෞද්ගලික සමාගම සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මිල අඩු කිරීමට පියවර ගත් බව ද ඔහු කාරක සභාවට පැවසුවේය.ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හරින අදාළ පෞද්ගලික සමාගමට වෙළෙඳපොළේ හිමි කොටස අඩු බැවින්, එම සමාගමට ගෑස් වැඩි මිලකට මිලදී ගැනීමට සිදු වන බවත්, ඒ අනුව මිලදී ගත් මිලට සාපේක්ෂව ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදු වූ බවත් එම සමාගම තමන්ට පැහැදිලි කළ බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.කෙසේ වෙතත්, ඉදිරියේදී ගෘහස්ථ ගෑස් සැපයුමට බාධා ඇති නොවන බවට සහතික කරන ලෙසත්, මිල ඉහළ යාම් හේතුවෙන් පාරිභෝගිකයින් පීඩාවට පත් නොවන බවට වගබලා ගන්නා ලෙසත් කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් කිත්සිරි, එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ ඥානමුත්තු ශ්‍රීනේසන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-20

ආගමන පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

 පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආගමන පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, කාරක සභා අවස්ථාවේ සංශෝධනවලට යටත්ව මෙම අනුමතිය ලබා දීම සිදු විය.    එම කාරක සභාව එහි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ආගමන පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කෙරිණි. කාරක සභා සාමාජික මන්ත්‍රීවරු, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ ද   මෙම රැස්වීමට සහභාගී වූහ.(351 වන අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනත සහ 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර සහ පිටවීමේ අවසර පනත යන පනත් දෙකම ඉවත් කරමින්, වර්තමාන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි මෙම නව පනත හඳුන්වා දෙනු ලබන බවත් නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු සහ සංශෝධන සියල්ල කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත්, විශේෂයෙන්ම, ජෛවමිතික තොරතුරු (Biometric Data) ලබා ගැනීමේදී සහ ගබඩා කිරීමේදී පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට (Personal Data Protection Act) අනුකූල වන පරිදි නෛතික සුරක්ෂිතතාව තහවුරු කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.එසේම පාලක, නියෝජ්‍ය පාලක සහ බලයලත් නිලධාරී වැනි පැරණි තනතුරු වෙනුවට පාලක ජනරාල්, අතිරේක පාලක ජනරාල් සහ ආගමන නිලධාරීන් ලෙස තනතුරු නාමයන් යාවත්කාලීන කර ඇති බව මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. එමෙන්ම, නීති විරෝධී ලෙස මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදන මඟින් බලය පවරනු ලබන ත්‍රිවිධ හමුදා සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට (Coast Guard) ද සීමිත බලතල ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සලසා තිබේ.තවද, ශ්‍රී ලංකාවෙන් නීත්‍යානුකූලව පිටවී වෙනත් රටකදී ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් සිදු කරන මනුෂ්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට නීතිය යටතේ නඩු පැවරීමටත්, එවැනි සංවිධානාත්මක නීති විරෝධී ක්‍රියාවලට අදාළ නඩු මහාධිකරණය හමුවේ විභාග කිරීමටත් නව පනතින් බලතල පැවරේ. එසේම විදේශ ගමන් බලපත්‍රවල මුද්‍රා තැබීමකින් තොරව භාවිත කළ හැකි ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික ද්වාර (E-Gates) ක්‍රියාත්මක කිරීම ඇතුළු තාක්ෂණික අවශ්‍යතා සදහා නෛතික රාමුව මෙමඟින් සපයා ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වන විදේශිකයන් සඳහා මෙරට වීසා ලබා දීමේදී ඇති නෛතික තත්ත්වයන් සහ ඊට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. 


2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 ක පාඩුවක් ද නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks