බලන්න

E   |   த   |  

2021-09-22

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවට

වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වන නියෝග අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
එම නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා ගරු සී. බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) රැස්වූ වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟතාවය පළ විය.  මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය 2021 අගෝස්තු 19 දින නිකුත් කොට තිබුණි.

මෙම ගැසට් පත්‍රය මගින්  හිලෑ ඇතුන්ගේ සුභසාධනය සඳහා නව නියෝග මාලාවක් හඳුන්වා දීම, හිලෑ ඇතුන් ලියාපදිංචියේදී සිදුවිය හැකි අක්‍රමිකතා මග හැරිම සඳහා නව තාක්‍ෂණය හඳුන්වා දීම, හිලෑ ඇතුන් සම්බන්ධ අධිකරණ කටයුතු  පහසු කිරීම යනාදි අරමුණු ඉටුකරගැනීම අපේක්ෂාව වන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙහිදී  අදහස් දක්වමින් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසා සිටියේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ප්‍රායෝගික අත්හදා බැලීමකින් පසු සකස් කර ඇති ප්‍රතිපත්තිය මගින් මෙතෙක්  පැවති ගැටුම් සමනය වී ඇති බවත් ඒ සදහා වැය වූ වියදම ඉතා අඩු මට්ටමක පවතින බවත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් මෙම අලි මිනිස් ගැටුම බොහෝ දුරට සමනය කළ හැකි බවත්ය.

එයට පිළිතුරු දක්වමින්, වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු සී. බී. රත්නායක මහතා පවසා සිටියේ එම ප්‍රතිපත්ති දැනට ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳව වැඩිදුරටත් කටයුතු කරනු ලබන බවත් ය.

මෙහිදී කුඹුක්කන පැල තවාන සඳහා අලි වැටක් ඉදිකිරිම පිළිබඳව ගරු කනක හේරත් මහතා විමසා සිටි අතර, අලි වැට සඳහා එනජයිසර් නොමැති වීමේ ගැටලුව පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. ඒ අනුව මේ පිළිබඳව වැඩිදුර  කරුණු දැක්වීමක් සඳහා ඊළඟ කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය කැඳවීමට කටයුතු කරන ලෙස ගරු සී. බී. රත්නායක මහතා උපදෙස් ලබා දුන්නේය.

මෙම කාරක සභා රැස්වීමට වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු විමලවීර දිසානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද සහභාගී වූහ.

 

1 2

3

 



සම්බන්ධිත පුවත්

2026-11-26

ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය සංශෝධනයට සහ ජාතික හා පළාත් පාසල් අතර ගුරු මාරුවීම් සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම, ගුරු ස්ථාන මාරුවීම්, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය, පෙර පාසල් අධ්‍යාපනය, පාසල් දිවා ආහාර වැඩසටහන සහ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.ඒ එම කාරක සභාව ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 20) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී එකම පාසලක වසර 10 කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ගුරු මාරු මණ්ඩලය විසින් තීරණය කර ඇති කිලෝමීටර් 30ක දුර සීමාව, හම්බන්තොට, පොලොන්නරුව සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල දුරස්ථ පාසල් සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු මතු කරන බැවින් එම සීමාව නැවත සමාලෝචනය කරන ලෙස මාරු මණ්ඩලයට දැනුම් දීමට කාරක සභාව විසින් තීරණය කරන ලදි.එමෙන්ම, ඇතැම් ජාතික පාසල්වල වසර 10 කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට වෙනත් ජාතික පාසල් නොමැතිවීම හේතුවෙන් ස්ථාන මාරුවීම් ලබා ගැනීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. ඒ අනුව, ස්ථාන මාරුවීම් සඳහා පමණක් ජාතික පාසල් සහ පළාත් පාසල් අතර ගුරුවරුන් මාරු කිරීමේ හැකියාව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය විය.ගුරු සේවා කාලය සම්බන්ධ තොරතුරු ඇතැම් පාසල්වලින් නිවැරදිව ඉදිරිපත් නොකිරීම සහ ගුරු දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව, අදාළ තොරතුරු වසන් කරන බවට සැක කෙරෙන පාසල් වෙත භෞතිකව ගොස් පරීක්ෂා කිරීමටත්, ගුරු දත්ත පද්ධතියේ තොරතුරු යාවත්කාලීන කර සේවා කාලය නිවැරදිව ගණනය කිරීමටත් පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා විය.උතුරු පළාතේ ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය වෙනුවට 2027 වසරේ සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද මෙහිදී අවධානය යොමු විය. පාසල්වල අඩක් නිමකර අතහැර දමා ඇති ගොඩනැගිලි සහ වැඩ අවසන් කර තිබියදීත් පාසල් වෙත භාර නොදුන් ගොඩනැගිලි සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් අවසන් කර භාර නොදීම හේතුවෙන් එහි ශබ්ද පාලන පැනල සහ වායු සමීකරණ පද්ධති විනාශ වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කිරීමට තීරණය විය.දිස්ත්‍රික් මට්ටමින් පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා වූ අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ චෙම්බලම්කුලම් සහ තාජනිකුලම් පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල අඩුපාඩු සපුරාලීම සඳහා පළාත් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් පාසල් පහක ව්‍යාපෘති 21 න් ව්‍යාපෘති 12 ක් සඳහා ඇස්තමේන්තු අනුමත කර ප්‍රතිපාදන ලබාදීමට ද තීරණය කර ඇත.පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් සකස් කර තිබුණද එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පළාත් සභා සහ අදාළ අමාත්‍යාංශ අතර පවතින වගකීම් බෙදීයාම හේතුවෙන් මතුවන පරිපාලන හා අධීක්ෂණ ගැටලු විසඳීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.පාසල් සිසුන් සඳහා ලබාදෙන නොමිලේ දිවා ආහාර වැඩසටහනේදී නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකිරීම සහ ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුවන ගැටලු ද මෙහිදී අවධානයට ලක් විය.මේ අතර, පාසල්වල පවතින මානව සම්පත් සම්බන්ධ ගැටලු සහ ඒවාට විසඳුම් ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කර සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පවතින මානව සම්පත් ඌන උපයෝජනය තුරන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විද්වත් කමිටු වාර්තාව” නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙ‍ෙනවිය විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. පාසල්වල පවතින මානව සම්පත් සම්බන්ධයෙන් අනුකාරක සභාව විසින් ලබාදුන් උපදෙස් අනුව සකස් කරන ලද මෙම වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයට යොමු විය.කාරක සභා රැස්වීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පාර්ශ්වයන් ද සහභාගී වූහ.


2026-11-25

දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සහ රාජ්‍ය මුදල් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ගරු ජනාධිපතිවරයා අවධාරණය කරයි

දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරමින් රාජ්‍ය මුදල් කාර්යක්ෂමව හා ඵලදායීව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව  ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මුදල් වර්ෂය ආරම්භයේ සිටම අමාත්‍යාංශ හා ආයතන තමන්ට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මාසිකව සමාලෝචනය කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 23)  රැස්වූ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී ඒ මහතා මේ අදහස් පළ කළේය.වසර අවසානයේ භාවිත නොකළ මුදල්, ඊළඟ වසරට ගෙන යා හැක්කේ ණයවර ලිපි (LC) විවෘත කර ඇති ව්‍යාපෘති වැනි නිශ්චිත කොන්දේසි සපුරා ඇති අවස්ථාවලදී පමණක් බවත්, එසේ නොවන අවස්ථාවලදී අදාළ ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට නැවත යොමුවීම හේතුවෙන් ඊළඟ වසරේ අයවැයෙන් නැවත ප්‍රතිපාදන ලබා ගැනීමට සිදු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙත ලබා දී ඇති ව්‍යාපෘති වාර්තා පොත පදනම් කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය සහ මහ කන්නයේ වී අස්වැන්න කළමනාකරණය කිරීම පිළිබඳව ද මෙන්ම ගබඩාවල ඉතිරිව ඇති වී තොග ඊළඟ මහ කන්නයේ අස්වැන්න ලැබීමට පෙර කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව විසින් පෙන්වා දෙන ලදී. වී තොග සහල් බවට පත්කර සුබසාධන වැඩසටහන් සඳහා යොදා ගැනීම හෝ සත්ව ආහාර ඇතුළු වෙනත් නිෂ්පාදන සඳහා යොමු කිරීමේ විකල්ප පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.තවද, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් බදු සහන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ආයෝජකයන්ට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. වර්තමානයේ ආයෝජකයෙකුට ඉඩමක් ලබා ගැනීම සඳහා මාස 18 ක පමණ කාලයක් ගතවීම ආයෝජන සඳහා බාධාවක් වී ඇති බැවින්, රජයේ ඉඩම් හඳුනාගෙන ඒවා ආයෝජන මණ්ඩලය හෝ විශේෂ ඉඩම් බැංකුවක් යටතට හෝ පවරාගෙන, ආයෝජන ප්‍රමාණය, රැකියා අවස්ථා සහ ජාතික ආර්ථිකයට සිදු වන බලපෑම පදනම් කරගනිමින් කඩිනමින් ඉඩම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.මීට අමතරව ක්‍රිප්ටෝකරන්සි නියාමනය, රක්ෂණ හා ගනුදෙනු ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය, සමුපකාර සංගම්වල VAT බදු ගැටලු සම්බන්ධ කරුණු ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීමට ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත හා ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


2026-11-25

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් සිවිල් සමාජ නියෝජිතයන්ගේ අදහස් විමසයි

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා විමසීම රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 23) රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සහ අදාළ පාර්ශ්වයන් විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ පවතින ගැටලු පිළිබඳව කාරක සභාවට කරුණු දැක්වූහ.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් පැවතියද, ඒ වෙනුවට නව පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව සහ එහි අන්තර්ගතය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ද මෙහිදී එම සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී.ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව, පනත් කෙටුම්පත සම්පාදනය කළ කමිටුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන් විසින් මෙහිදී අවධාරණය කරමින් කරුණු දක්වන ලදී.පනත් කෙටුම්පත සකස් කිරීමේදී පුළුල් මහජන සහභාගීත්වයක් ලබා ගෙන ඇති බවත්, ඉදිරියේදී ද සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සමග තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වන බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.මෙම අවස්ථාවට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, මුජිබුර් රහුමාන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, එම්. කේ. එම්. අස්ලම්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ද, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-11-23

යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ

යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී  පසුගියදා (නොවැ. 18) පැවැත්විණි.මෙහිදී වර්තමාන හා අනාගත වැඩ ලෝකයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පත් කළ විශේෂඥ කමිටුවක් විසින් සකස් කරනු ලබන යෝජිත නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරුණු අතර, දැනට පවතින ප්‍රධාන කම්කරු නීති අධ්‍යයනය කර ඒවා ඒකාබද්ධ කරමින් නව නීති රාමුවක් සකස් කිරීම, මෙහි අරමුණ බව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට අවධාරණය කළහ.යෝජිත නව කම්කරු නීති සංශෝධන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සකස් කරන බවත්, ඒ අනුව ශ්‍රම ප්‍රමිතීන්, වෘත්තීය සෞඛ්‍ය, සහ ආරක්ෂාව, කාර්මික ආරවුල් හා සම්බන්ධතා සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව නීති රාමුව සකස් කිරීමට නියමිත බව ද ප්‍රකාශ විය.සේවා ගිවිසුම් රාමුව, වැඩ කරන වේලාවන්, නිවාඩු හා අතිකාල පිළිබඳ ප්‍රධාන විධිවිධාන, මාතෘ ආරක්ෂණය, පීතෘ නිවාඩු මෙන්ම වැඩ ලෝකය තුළ හිංසනය හා හිරිහැර වැළැක්වීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත් වන බව නිලධාරීහු කාරක සභාවට ප්‍රකාශ කළහ.එසේම, අර්ධකාලීන සේවකයින්ගේ අයිතිවාසිකම්, සේවා ගිවිසුම් විධිමත් කිරීම, සේවකයින්ගේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සහ සේවා ස්ථානවල ආරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම සම්බන්ධයෙන් ද යෝජිත නීතිමය ප්‍රතිපාදන පිළිබඳව මෙහිදී පැහැදිලි කෙරිණි.යෝජිත ශ්‍රම ප්‍රමිති පනත් කෙටුම්පතේ දැනට සකස් කර ඇති පරිච්ඡේද හතර මහජනතාවට සහ අදාළ පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන labourmin.gov.lk ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට දන්වන ලදී.යෝජිත නව කම්කරු නීති සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා වෘත්තීය සමිති, සේවායෝජකයින්, සේවක නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ.මෙම රැස්වීම සඳහා ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks