පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-09-03
පළාත් පාලන ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඒ සඳහා වන විසඳුම් ලබා දීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා පත්කර තිබූ ත්‍රිපුද්ගල සමාලෝචන කමිටුවේ වාර්තාව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සලකා බැලීම ඊයේ පස්වරුවේ (02) සිදුවිය.
සමාලෝචන කමිටුවේ සාරාංශය එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා ඉදිරිපත් කළේය.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙහි සිදු වී ඇති අසාමාන්‍ය වර්ධනය ජාතික සීමා නිර්ණන කමිටුවද තීරණය කර තිබූ පරිදි, ස්ථාවර සංඛ්‍යාවක් දක්වා අඩුකළ යුතු බව එම කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා කාරක සභාවේදී පැවසීය. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙන් සියයට 70ක් කොට්ඨාස පදනම මතද, ඉතිරි සියයට 30 ක ප්‍රමාණය අනුපාත පදනම මතද තෝරාගත යුතු බව ද හෙතෙම කීවේය.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ගණනය කිරීමේදී පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරයන් තෝරා ගන්නා සමානුපාතික නියොජන ක්‍රමයම යොදා ගැනීම යෝග්‍ය බව සමාලෝචන කමිටුවේ නිර්දේශය වන බව පැවසූ සුදන්ත ලියනගේ මහතා, එහිදී භාවිත කරන ප්‍රසාද ආසන ක්‍රමයද අදාළ කරගත යුතු බව සඳහන් කළේය.
දැනට පවතින මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයෙහි කමිටුව නිරීක්ෂණය කරන ලද දුර්වලතාවයන් වූයේ ජයග්‍රාහි පක්ෂ සඳහා කිසියම් ප්‍රසාද ආසන ක්‍රමයක් හඳුන්වා දී නොතිබීමයි. ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල සිදුව ඇති අස්ථාවර තත්ත්වයන් අවම කිරීම, ප්‍රසාද ආසන හඳුන්වා දීම තුළින් ඉටුවනු ඇති බව සමාලෝචන කමිටුවේ අපේක්ෂාව බවද මහාචාර්‍යවරයා කීවේය.
කිසියම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට පළාත් පාලන ආයතන තුළ නියෝජනයක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට, අදාළ පළාත් පාලන බල ප්‍රදේශය තුළ ලබා දී ඇති වලංගු ජන්ද සංඛ්‍යාවෙන් සියයට 2.5 ක් හෝ ඊට වැඩි ජන්ද ප්‍රතිශතයක් එකී පක්ෂය හෝ ස්වාධින කණ්ඩාම ලබා සිටිය යුතු බවටද සමාලෝචන කමිටුවේ සාමාජිකයෝ කාරක සභාව හමුවේ පැවසූහ.
බහු මන්ත්‍රී කොට්ඨාස සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගත යුතු ආකාරය වෙනස් කළ යුතු අතර, 2012 අංක 22 දරන පනතේ සඳහන් ක්‍රමය ඒ සඳහා අදාළ කර ගත යුතු බවද සමාලෝචන කමිටුව කාරක සභාව හමුවේ පෙන්වා දුන්නේය. හිටපු අමාත්‍යාංශ ලේකම් ජයලත් රවී දිසානායක මහතාද මෙම සමාලෝචන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
මහජනතාවගේ කැමැත්ත වන්නේ අඩු මන්ත්‍රීධූර සංඛ්‍යාවක් සහිතව පළාත් පාලන ආයතන පවත්වා ගැනීම බව මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය. එහෙත් කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයෙකු අනිවාර්යයෙන් සිටිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
“2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත” සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිගමන සභාගත කිරීමද මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සිදු විය.
එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කාරක සභාව වෙත යොමුකර තිබූ “පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ ඇතුලත් වාර්තාවද” මෙහිදී සභාගත කෙරිණි.
නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, ඩග්ලස් දේවානන්දා, එම්. යූ. එම්. අලි සබ්රි යන අමාත්‍යවරුද, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුද මෙම විශේෂ කාරක සභාවට සභභාගි වූහ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම ලබන සඳුදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය.
2026-09-03
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු පසුගියදා සමාලෝචනය කරන ලදී. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බැලිණි. මෙහිදී අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පැවසුවේ 2026 ජූනි 30 වන විට අපේක්ෂිත රේගු ආදායම රු මිලියන 1,060,559 ක් බවත් ඒ වන විට රුපියල් මිලියන 1,379,084 ක් උපයා ඇති බවයි. තවද එය ප්‍රතිශතාත්මකව 130 % ක ප්‍රගතියක් බවද සඳහන් විය. මේ අනුව මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත් 2025 වසර සමග සංසන්දනාත්මකව බලන විට සෑම මසකම ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවටත් අදාළ දත්ත නිලධාරීහු මෙහිදී කාරක සභාවට ඉදිරිපත් කළහ2026 වාහන ආයනයට අදාළ කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීහු පෙන්වා දුන්නේ 2026 ජූනි 30 වන විට වාහන 316,000ක් ආනයනය කර ඇති බවත් එ් අනුව රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බවයි. ඉන් වැඩිම බදු ආදායම වන රු මිලියන 386,726 ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගිනි. එසේම වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව තිබුනේ එන්ජින් ධාරිතාව 1000cc ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වන අතර එම අගය රු බිලියන 137.4 කි. එය සමස්ත ආදාමෙන් සියයට 9.96 ක ප්‍රතිශතයකි. එසේම ආනයනික බහාලුම් ප්‍රමාණයන් සහ ඒවා පරීක්ෂාවට ලක්වන ආකාරය, ශ්‍රී ලංකා රේගුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම, ආදායම් පරිපාලනයේ පවතින අභියෝග, ඉදිරි සැලසුම් ඇතුළු කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-09-03
මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සයිබර් අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීහු සඳහන් කළහ.සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් එම විදේශිකයන් පිටුවහල් කිරීම සඳහා ද කටයුතු කර ඇති බව ද මෙහිදී නිලධාරීන් සඳහන් කළහ.සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව ද කාරක සභාව හමුවේ පැමිණි නිලධාරීහු පැවසූහ. එසේම නව බඳවා ගැනීම් ලද නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම අවශ්‍ය විදේශීය පුහුණුවීම් ලබාදීමට ද කටයුතු කරමින් පවතින බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.එමෙන්ම, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව ද සඳහන් කෙරිණි.තවද, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටු මඟින් ලැබෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මීට අමතරව, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සහ මහජනතාවගේ සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කම කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
2026-09-02
විදේශ රැකියා සඳහා විගමනය වන ශ්‍රමිකයන්ගේ පවුල්වල සුබසාධනය සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත “ඉන්සා” (InSA – Integrated Systematic Approach for the Family Development of Migrant Workers) ව්‍යාපෘතිය පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් පසුගිය 21 වැනිදා පැවති කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ 2026 ඔක්තෝබර් 01 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය විය.විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ගේ පවුල්වල දිගුකාලීන මූල්‍ය කළමනාකරණය, ළමා සෞඛ්‍ය හා ආරක්ෂාව, රැකියා පුහුණුව සහ කුඩා ව්‍යාපාර හා අපනයන සංවර්ධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් පවුල් සංවර්ධන සැලසුම් සකස් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව සඳහන් විය.විශේෂයෙන්ම, වයස අවුරුදු 2ත් 18ත් අතර දරුවන් සිටින මව්වරුන් විදේශගත වීමේදී, ඔවුන් විදේශගතව සිටින කාලය තුළ දරුවන්ගේ රැකවරණය, ආරක්ෂාව සහ අධ්‍යාපනය පිළිබඳ විධිමත් සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එමෙන්ම, වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන් සම්බන්ධයෙන් පවතින නීතිමය හා පරිපාලන ක්‍රමවේදයන් අනුව කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මේ සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ දායකත්වය ලබාගැනීමට නියමිත අතර, විදේශගත වීමට පෙර, විදේශගතව සිටින කාලය තුළ සහ නැවත මෙරටට පැමිණීමෙන් පසු යන අවස්ථා තුනේදීම දරුවන්ගේ ආරක්ෂාව හා පවුල් සුබසාධනය සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට නියමිතය.ඒ අනුව, දරුවන් සඳහා සකස් කරන විකල්ප රැකවරණ සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න තහවුරු කිරීම, අවදානම් තත්ත්වයන් හඳුනාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී විශේෂ රැකවරණ සැලසුම් සකස් කිරීම සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මැදිහත් වන බව සඳහන් විය. විදේශගතව සිට නැවත පැමිණෙන පවුල් සඳහා පවුල් සබඳතා ශක්තිමත් කිරීම ඇතුළු මනෝසමාජීය සහයෝගය ලබාදීම කෙරෙහිද අවධානය යොමු කර ඇත.එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් “ඉන්සා කමිටු” (InSA) පිහිටුවීමට නියමිත අතර, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, මුල් ළමා සංවර්ධන නිලධාරීන් සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව කටයුතු කිරීමට නියමිත බව කාරක සභාවේදී සඳහන් විය.ළමා ආරක්ෂාව සම්බන්ධ කටයුතු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) සකස් කිරීමටද යෝජනා වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, විදේශ රැකියා සඳහා යන සියලුම ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේ වැදගත්කමද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. සංචාරක වීසා ඇතුළු අවිධිමත් මාර්ග ඔස්සේ විදේශගත වන පුද්ගලයන් පිළිබඳ නිල දත්ත නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල් සඳහා සුබසාධන හා ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවිය හැකි බැවින්, විදේශගත වන ශ්‍රමිකයන් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය විය.මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රගතිය අධීක්ෂණය කිරීමට නියමිත අතර, “ඉන්සා” (InSA) ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් 2027 පෙබරවාරි මාසය වන විට කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දෙන ලදී.
2026-09-02
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට කැඳවා තිබිණි. 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී තිබේ. කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා මෙම පනත 2009 වසරේදී සම්මත කර තිබේ. එහෙත් මෙරට දැනට පවතින තත්ත්වය සලකා බලා ත්‍රිවිධ හමුදාව සම්බන්ධීකරණය සඳහා විශේෂිත වූ කාර්යාලයක් හෝ තනතුරක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් පවත්නා ත්‍රිවිධ හමුදා ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුළ එම සම්බන්ධීකරණය ආරක්ෂක අමාත්‍යාංශය හරහා සිදු කරනු ලබයි. එසේම මෙරට ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී එම කාර්යාලයේ කාර්යයන් ආරක්ෂක අමාත්‍යාංශයට පැවරීමෙන් රජයට සිදුවන වැය බර අඩු කිරීමට හැකියාවක් පවතින බව ද නිරීක්ෂණය විී ඇත.ඒ අනුව පාර්ලිමේන්තුවේදී සැප්තැම්බර් 9 දින විවාදයට ගැනීමට (දෙවැනි වර කියවීමේ) නියමිතව ඇති මෙම පනත් කෙටුම්පත සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිවිය. රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

