පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-08-04
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
අධිකරණ පද්ධතිය තුළ මේවන විට ඇති තදබදය අවම කොට කඩිනමින් නඩු විසදීම සඳහා විශේෂ තුන් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා මහතා ඊයේ (03) පැවති අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පැවසීය.
බස්නාහිර පළාත තුළ නව අධිකරණ පිහිටුවීම සහ පවතින අධිකරණවල යටිතල පහසුකම් සංවර්ධනය පිළිබද වූ තුන් අවුරුදු සැලැස්ම පිළිබදව සාකච්ඡා කෙරුණු මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ , සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය තිස්ස විතාරණ, සාගර කාරියවසම්, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මර්ජාන් ෆලීල්, චන්දිම වීරක්කොඩි සහ කෝකිලා ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ලෝකයේ දියුණු රටවල ජනගහනයෙන් මිලියනයකට විනිසුරුවරුන් 200 කට වැඩි සංඛ්‍යාවක් සිටියද ශ්‍රී ලංකාවේ මේවන විට එම අගය 15 ක් බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ අනුව විනිසුරුවරුන් සංඛ්‍යාව 218 ක් දක්වාත් අධිකරණ සංඛ්‍යාව 245 දක්වාත් වැඩි කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය. එසේම එම විනිසුරුවරුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම ඉදිරි තෙවසරක සැලැස්ම යටතේ කඩිනමින් සිදු කරන බවද ඒ මහතා පැවසීය.
තාක්ෂණයෙන් පිරිපුන් අධිකරණ පද්ධතියක් පිහිටුවීම යටතේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම මේ වන විටත් අරඹා ඇති බවත් “E-Filing” ක්‍රමය සහ වීඩියෝ තාක්ෂණය හරහා අධිකරණ රැස්වීම් පැවැත්වීමට අදාළ තාක්ෂණික සැපයුම් ආයතන සමග මේ වන විට ගිවිසුම්ගතව ඇති බවද මෙහිදී අනාවරණය විය.
සමථ මණ්ඩලය ශක්තිමත් කිරීමත් විසඳන ආරවුල් ප්‍රමාණය ලබන වසර වන විට දෙගුණ කිරීමටත් බලාපොරොත්තු වේ. එසේම ඉඩම් ආරවුල් විසදීම සඳහා ඉඩම් සමථ කිරීමේ සමථ මණ්ඩල යාපනය, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව, කිලිනොච්චිය ඇතුළු ප්‍රදේශ රැසක ස්ථාපිත කිරීමට කටයුතු කොට ඇති බවද මෙහිදී අනාවරණය විය.
අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටු කිහිපයක් පිහිටුවා ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සමයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ කමිටුවේ වාර්තාව මේ වන ලැබී ඇති බැවින් ඊට අනුව නව අධිකරණ පිහිටුවීම ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එම කමිටු නිර්දේශයන්ට අනුව බස්නාහිර පළාතේ මහර දිසා අධිකරණයක් ද , මීරිගම දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ ද , වැලිසර දිසා අධිකරණයක්ද , බේරුවල මහේස්ත්‍රාත් අධිකරණයක්ද කළුතර මීගහතැන්න මහේස්ත්‍රාත් අධිකරණයක්ද අලුතින් ඉදිකිරීමට පියවර ගන්නා බව අනාවරණය විය.
මෙහිදී දැනට අධිකරණ ශාලාවල පවතින අඩුපාඩු පිළිබද මන්ත්‍රීවරු කරුණු පෙන්වා දුන් අතර ඒවා ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටත් මෙම තුන් අවුරුදු සැලැස්ම යටතේ පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසූ අතර නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
විශාල මූල්‍ය අපරාධ නඩු හා කුඩා මූල්‍ය වංචා නඩු එකම අධිකරණයක විභාග කිරීමෙන් ඇතිවන ප්‍රමාදය වැළැක්වීමට මූල්‍ය අපරාධවලට අදාළ නඩු විසදීමේදී රු. මිලියන 1.5ට නඩුවලට වෙනම අධිකරණ පිහිටුවන බවද අමාත්‍යවරයා පැවසීය.
දඩුවම් ලබා දීමට වෙනුවට ක්‍රියාත්මක කරන ප්‍රජා විශෝධන ක්‍රියාවලියෙහි වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා ප්‍රජා විශෝධනය වැඩි දියුණු කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බවද පැවසීය.
අධිකරණ රැසක් එකම නිවහනකට ගෙන එමින් මේ වන විට කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින අධිකරණ පියස කඩිනමින් නිම කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය. අක්කර 6.5 ක වපසරියකින් යුත් භූමියක ඉදිවන මෙමගින් අධිකරණ විශාල ප්‍රමාණයක් එකම ස්ථානයක රැගෙන එන අධිකරණ සංකීර්ණයක් පිහිටුවනු ලැබේ. අධිකරණ අමාත්‍යාංශයද මෙම සංකීර්ණයේ ස්ථාපිත කරනු ලබන අතර විනිසුරුවරුන්ට නිවාස 50ක්ද ඉදිකෙරේ. අදියර හතරකින් ක්‍රියාත්මක වන මෙහි ඉදිකිරීම් කටයුතු පිළිබද තමා පෞද්ගලිකව නිරීක්ෂණය කරන බවත් එම කටයුතු කඩිනමින් නිමකරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේම අලුත් කඩේ උසාවි සංකීර්ණය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් සිදුකරන බවද ඔහු පවසා සිටියේය. මේ සඳහා චීන රජයෙන් යුවාන් මිලියන 500 ක පමණ ප්‍රදානයක් ලැබී තිබුණද 2010 වසරේ සිට ප්‍රමාද වූ එම කාර්ය සිදු කිරීමට හැකිවූ බවද අමාත්‍යවරයා පැවසීය.
ළමා අපචාර සම්බන්ධ නඩු කටයුතු කඩිනම් කිරීමට ඇති හැකියාව පිළිබද මෙහිදී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විමසීය. ගරු අගවිනිසුරුතුමා පසුගියදා මේ පිළිබදව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් මේ අනුව ළමා අපචාර සිද්ධීන්ට අදාළ නඩු කඩිනමින් අසා නිමකරන බවද අමාත්‍යවරයා පැවසීය.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ. මායාදුන්නේ මහතා ඇතුළු නිලධාරීහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025-12-16
• ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20 ක පමණ අලාභයක්.දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක් සිදුව ඇති බවට දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසුහ.එමෙන්ම එම විනාශ වූ මාර්ග හා පාලම් සම්පුර්ණයෙන් යථාතත්ත්වයට පත්කිරීමේ දී සිදුකළයුතු අනෙකුත් ප්‍රතිසංස්කරණයන් සමග ඒ සඳහා රුපියල් බිලියන 190 ක පමණ මුදලක් අවශ්‍යවන බවට ඇස්තමේන්තු ගත කර ඇති බව එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුහ.මේ පිළිබඳව කරුණු අනාවරණය වූයේ රට තුළ පවතින ආපදාවේ ස්වභාවය විශ්ලේෂණය කිරීම සහ එයින් සිදුවන සමාජීය, ආර්ථික හා පාරිසරික හානිය තක්සේරු කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා (දෙසැ. 11) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ආපදා තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින මාර්ග 316 ක් සහ පාලම් 40කට හානි සිදුවී ඇති බව පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්රිය මාර්ග වලට සිදුවූ හානිය සහ දිවයිනපුරා ප්‍රාදේශීය මාර්ගවලට සිදුවූ හානිය පිළිබඳව තවමත් තක්සේරු කිරීමක් සිදුව නොමැති බවයි. ප්‍රාදේශීය මාර්ග නැවත පිළිසකර කිරීමේ දී ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා අමාත්‍යාංශය මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව දැනට ලෝක බැංකුව මගින් රුපියල් බිලියන 2ක මුදලක් ණයක් ලෙස ලබාගැනීමට අපේක්ෂා කරන බවත් තවත් ආයතන කිහිපයක් මගින් මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේක්ෂා කරන බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ."මේ අතර මෙම ආපදා තත්ත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ලෝක බැංකුවෙන් මේ සඳහා යම් ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා සිදුවන බවත් එම නිලධාරීන් පැවසූහ. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම මුදල ණය මුදල් ලෙස ලබා නොගෙන ප්‍රදානයක් ලෙස ලබාගැනීමට උත්සාහ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ණය මුදලක් ලෙස එම ප්‍රතිපාදන ලබා ගැනීම ඔස්සේ පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පතේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බැවින් එම මුදල ප්‍රදානයක් ලෙස ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.තවද සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් මිලියන 252 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූහ. එම එම අළුත්වැඩියා කටයුතු සඳහා වැයවන මුදල ඔවුනට අයවැය මගින් වෙන් කර තිබෙන ප්‍රතිපාදන මගින් ප්‍රතිපුර්ණය කරගත හැකි බැවින් අමතර ණය හෝ ප්‍රදානයක් අවශ්‍ය නොවන බව සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ නිලධාරීහු වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභාවට දැන්වූහ.ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් බිලියන 5.6 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීහු කාරක සභාව දැන්වූහ. ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ජල සැපයුම් යෝජනාක්‍රම 156 කට හානි සිදුව ඇති බවත් ඒ සියල්ලම නඩත්තු කටයුතු සිදු කර මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවත් නිවාස ,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට පැවසීය.එමෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් ප්‍රදානයක් ලෙස ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද ලේකම්වරයා කාරක සභාවට දන්වන ලදී.ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් ඉදිරියේදී සිදුවිය හැකි ආපදාවන්ට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාවේ සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ඒ සඳහා අවශ්‍ය සහාය අදාළ අමාත්‍යාංශ සහ නිලධාරීන් වෙත ලබාදීමට සුදානම් බවද පැවසුවේය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, අජිත් පී. පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-12-09
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ රෙගුලාසි සලකා බැලීම සඳහා විශේෂ කාරක සභා රැස්වීමක්.2025 සැප්තැම්බර් 04 දිනැති අංක 2452/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, ජාතික විගණන කාර්යාලයේ 2026 සඳහා වාර්ෂික වැඩ වැඩසටහන සහ 2026 මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතේ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කරන ලද අවසන් වාර්තාව ඇතුළු කරුණු කිහිපයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලන ලදී. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 03 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි (NMRA) පිළිබඳ සාකච්ඡාවේදී, ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී එම පද්ධතියේ පවතින විනිවිදභාවය සහ පාරදෘශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා කාරක සභාව නිර්දේශ කළේය. ඒ අනුව, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2452/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කරන ලදී.අනතුරුව ජාතික විගණන කාර්යාලයේ 2026 වාර්ෂික වැඩ වැඩසටහන ද කාරක සභාව විසින් සලකා බලන ලදී. එම වැඩසටහනට අනුව 2026 වසරේදී විගණන 3,508 ක් සිදු කිරීමට නියමිතය. ඒ යටතට මූල්‍ය විගණන 3,484 ක්, කාර්ය සාධන විගණන 11 ක්, පාරිසරික විගණන 1 ක්, විශේෂ විගණන 12 ක් ඇතුළත් වේ.තවද සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතු ද 2026 වසරේ සිට විගණකාධිපතිවරයා වෙත අලුතින් පවරා ඇත.මෙහිදී සමෘද්ධි විගණන සිදු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව පිළිබඳව කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. ඊට පිළිතුරු ලබාදෙමින් වැඩබලන විගණකාධිපතිවරයා වත්මන් කාර්ය මණ්ඩලයට අමතරව 10% ත් අතර 15% ක අමතර කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වනු ඇති බව ප්‍රකාශ කළේය. කාරක සභාවට වැඩි දුරටත් කරුණු දක්වමින් වැඩබලන විගණකාධිපතිවරයා මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල හරහා නියමු විගණන පරීක්ෂණ සිදු කරන අතර එම ක්‍රියාවලිය ලබන පෙබරවාරි මස අග දක්වා ක්‍රියාත්මක බවත් ඉන් අනතුරුව අලුතින් පිරිස් බඳවා ගන්නවාද නැත්නම් බාහිරින් සේවාවන් ලබාගෙන එම විගණනය සිදු කරන්නේ ද යන්න තීරණය කරන බව පැවසීය.ඒ අනුව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විගණකාධිපතිවරයාගේ ඇගයීමට යටත්ව සමෘද්ධි සම්බන්ධ අතිරේක විගණන කටයුතු බාහිරකරණය කිරීමට කාරක සභාව සහාය දක්වන බවට කථානායවරයාට නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට කාරක සභාව එකඟ විය. ඒ අනුව, ජාතික විගණන කාර්යාලය පරීක්ෂණ ව්‍යාපෘතියක් සිදු කර 2026 පෙබරවාරි මස අවසානයේදී ඒ සම්බන්ධ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලබාදෙන ලදී.තවද 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කළ අවසන් වාර්තාව කාරක සභාවේදී සලකා බලන ලදී. එළඹෙන වර්ෂය සඳහා වන අමාත්‍යාංශ අයවැය යෝජනා සහ මූල්‍ය වෙන් කිරීම් පිළිබඳ කාරක සභාවේ සමාලෝචනයෙන් පසු එහි නිරීක්ෂණ සහ නිර්දේශ මෙම වාර්තාවේ දක්වා ඇත.ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ප්‍රතිපාදන ලබා දීම සඳහා වන යෝජනාව සලකා බැලීම සඳහා විශේෂ රැස්වීමක් ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වන දා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.ඒ අනුව 2025 ජනවාරි 1 දිනෙන් ආරම්භ වන හා 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිමතය පරිදි රජය විසින් ලබා ගන්නා ලද ඕනෑම ණය මුදලකින් රුපියල් මිලියන පනස් දහසක් (රු. 50,000,000,000) නොඉක්මවන අතිරේක මුදලක් ගෙවිය යුතු බවටත් එවැනි මුදලක් වියදම් කළ යුතු බවත් අදාළ යෝජනාවේ සඳහන් වී ඇත.2460/44 අංක අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ පනවන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.මෙම රැස්වීම් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.
2025-12-09
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින විශ්වවිද්‍යාල සහ අධ්‍යයන ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ ගිණුම් වාර්තා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සළකා බලන ලදී.ඒ, එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 26) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව මෙදින කාරක සභාවේදී 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව සළකාබලා අනුමත කරන ලදී .තවද, පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳව සහ විදුහල්පතිවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන්, රෝහිණි කුමාරි විජේරත්න, අබූබකර් අතම්බාවා, තුරෛරාසා රවිකරන්, සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.
2025-12-05
ශ්‍රී ලංකාවේ අපනයන අංශය නව ප්‍රගතියක් පෙන්නුම් කරන බවත්, සියලුම දිස්ත්‍රික්කවල අපනයනකරුවන් සමඟ කටයුතු කරමින්, නිෂ්පාදන සංවර්ධනය, වෙළඳපොළ ප්‍රවේශය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා සහාය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්නේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 2025.11.26 දින පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු මේ බව පැවසූහ. ශ්‍රී ලංකාවේ අපනයන දශකයකට ආසන්න කාලයක් ඇමරිකානු ඩොලර් බිලියන 13-15 අතර පවතින නමුත් මෑත කාලීන ප්‍රතිසංස්කරණ සහ ඉලක්කගත වැඩසටහන් මගින් ඉහළ වර්ධනයක් කරා ගමන් කිරීමට හැකිවූ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ. අපනයන සංවර්ධන මණ්ඩලයේ නව ජාතික උපාය මාර්ගික සැලැස්ම අනුව ප්‍රධාන උපදේශක ආයතන නැවත සක්‍රීය කර, කර්මාන්ත සහ විදේශීය දූත මණ්ඩල යන දෙකටම පැහැදිලි කාර්ය සාධන ඉලක්ක ලබාදී ඇති බව ඔවුහු තවදුරටත් පැවසූහ.කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, අපනයනකරුවන්ගෙන් 78% ක් වන නමුත් මුළු අපනයන ආදායමට සුළු කොටසක් පමණක් දායක වීම පිළිබඳවත් එබැවින් ඔවුන්ගේ සහභාගීත්වය වැඩි කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දියයුතු බවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව, ප්‍රාදේශිය සංවර්ධන වැඩසටහන් සහ වැඩිදියුණු කළ සහාය සේවා හරහා මෙම දායකත්වය සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡා කෙරිණි. විශාල ගැනුම්කරුවන් සහ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ප්‍රධාන ජාත්‍යන්තර කාර්මික ප්‍රදර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව ද මෙහිදී අනාවරණය විය.ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව මෑත වසරවල ශක්තිමත් කාර්ය සාධනයක් සනිටුහන් කරමින් අපනයන ආදායම ඩොලර් බිලියන 16-17 ඉක්මවන තත්ත්වයකට ශක්තිමත් වෙමින් සිටින බව නිලධාරීහු සඳහන් කළහ. ඩොලර් බිලියන 20 ක අපනයන ඉලක්කයක් කරා යන ගමනේදී අඛණ්ඩ ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු කළ වෙළඳපල ප්‍රවේශය සහ ශක්තිමත් කර්මාන්ත සහයෝගීතාව අත්‍යවශ්‍ය වනු ඇතැයි ද ඔවුහු ප්‍රකාශ කළහ.ගරු. නියෝජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) රුවන් රණසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, , චතුර ගලප්පත්ති, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, චමින්ද හෙට්ටිආරච්චි, නිශාන්ත ජයවීර, චන්දන සූරියආරච්චි සහ තිළිණ සමරකෝන් යන මහත්වරු ද අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

