පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-06-21
දේශීය භාණ්ඩාර බිල්පත් ආඥා පනත යටතේ ගරු මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත රු බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (21) හිමිවිය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් එම රැස්වීම සදහා රාජ්‍ය නිලධාරීන් මාර්ගස්ථ ක්‍රමවේදයට (Online) අනුව සම්බන්ධ කරගැනීම සිදුවිය.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන ඩිලාන් පෙරේරා, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, අනුප පැස්කුවල් , මහාචාර්ය රංජිත් බණ්ඩාර, නලින් ප්‍රනාන්දු සහ ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර් ආටිගල මහතා ප්‍රකාශ කර සිටියේ දැනට පවතින සීමාව වන රු. බිලියන 2000 ක අගය රු. බිලියන 3000 දක්වා වැඩිකිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි. එසේම එම මුදල ඉදිරි මාස 06 තුළ වියදම් කරන බව ඉන් අදහස් නොවන බවත් පාර්ලිමේන්තුව අනුමත කළ ණය ගැනීමේ සීමාව තුළ මේ සියල්ල කළමණාකරණය කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පසුගිය ජූනි 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති රෙගුලාසි ද්විත්වයක් සදහා ද කාරක සභාවේ අනුමැතිය හිමිවිය. විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන වාහන සදහා බදු සහන ලබාදී ඇති පසුබිමක බොහෝවිට එම අවස්ථාව අවභාවිත කරන බව මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කරුණු දක්වමින් කාරක සභාවට පැහැදිළි කර සිටියේය.
විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන වාහන ඉන් අනතුරුව සාමාන්‍ය වාහන ලෙස භාවිත කරන බව මේවන විට හදුනාගෙන ඇති බැවින් එමගින් රජයට විශාල බදු මුදලක් අහිමිවන බව ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. පසුගිය වසර තුළ පමණක් අධිශීතකරණ සහිත ලොරි රථ (Freezer trucks) 947 ක් මෙරටට ආනයනය කර ඇති බව ද ඒවා බොහෝමයක් ආනයනයෙන් පසු ශීතකරණ ඉවත් කොට සාමාන්‍ය ලොරි රථ ලෙස භාවිතකරන බවට තොරතුරු වාර්තා වන බවද ආටිගල මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව මෙම රෙගුලාසි මගින් අදාළ බදුමුදල් සංශෝධනයට පියවර ගෙන ඇත.
මෙරටට මාජරින් ගෙන්වීමේ ක්‍රමවේදය තුළද මෙලෙස යම් යම් තාක්ෂණික කාරණා මත බදුමුදල් අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව කාරක සභාවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඉදිරියේදී නව ක්‍රමවේදයක් යටතේ මෙය සිදුකිරීමට අපේක්ෂා කරන බව මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවට පැවසීය.
මේවන විට රට ආර්ථික ගැටලුවක ඇති බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසා සිටියේය. පවතින තත්ත්වය තුළ යම් ආර්ථික ගැටලු මතුවුවද ඒ සියල්ල මනා ලෙස කළමණාකරණය කිරීම සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.
තවද අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සඳහා වැටුප් සහ දීමනා වැඩි කිරීමේ යෝජනාව නිසිපරිදි හේතු නොදැක්වීම හේතුවෙන් පසුගිය කාරක සභාවේදී ප්‍රතික්ෂේප වුවද අදාළ හේතු සලකා බැලීමෙන් අනතුරුව ඊයේ පැවති කාරක සභාවේදී ඊට අනුමැතිය හිමිවිය.
2026-11-20
ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි තීරණ ගැනීම සහතික කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අවධාරණය කරන ලදී.පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 18) රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් බෙදා හරින පෞද්ගලික සමාගමක් විසින් ගෑස් සිලින්ඩරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබිණි.ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදු වන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් තමන් මේ සඳහා මැදිහත් වූ බව සඳහන් කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා, ගෘහස්ථ ගෑස් සඳහා මිල තීරණය කිරීමේ බලය තම අධිකාරියට නොමැති බව ද පැවසීය. එසේ වුවද, අදාළ පෞද්ගලික සමාගම සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මිල අඩු කිරීමට පියවර ගත් බව ද ඔහු කාරක සභාවට පැවසුවේය.ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හරින අදාළ පෞද්ගලික සමාගමට වෙළෙඳපොළේ හිමි කොටස අඩු බැවින්, එම සමාගමට ගෑස් වැඩි මිලකට මිලදී ගැනීමට සිදු වන බවත්, ඒ අනුව මිලදී ගත් මිලට සාපේක්ෂව ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදු වූ බවත් එම සමාගම තමන්ට පැහැදිලි කළ බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.කෙසේ වෙතත්, ඉදිරියේදී ගෘහස්ථ ගෑස් සැපයුමට බාධා ඇති නොවන බවට සහතික කරන ලෙසත්, මිල ඉහළ යාම් හේතුවෙන් පාරිභෝගිකයින් පීඩාවට පත් නොවන බවට වගබලා ගන්නා ලෙසත් කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් කිත්සිරි, එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ ඥානමුත්තු ශ්‍රීනේසන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-11-20
පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආගමන පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, කාරක සභා අවස්ථාවේ සංශෝධනවලට යටත්ව මෙම අනුමතිය ලබා දීම සිදු විය. එම කාරක සභාව එහි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ආගමන පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කෙරිණි. කාරක සභා සාමාජික මන්ත්‍රීවරු, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ.(351 වන අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනත සහ 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර සහ පිටවීමේ අවසර පනත යන පනත් දෙකම ඉවත් කරමින්, වර්තමාන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි මෙම නව පනත හඳුන්වා දෙනු ලබන බවත් නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු සහ සංශෝධන සියල්ල කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත්, විශේෂයෙන්ම, ජෛවමිතික තොරතුරු (Biometric Data) ලබා ගැනීමේදී සහ ගබඩා කිරීමේදී පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට (Personal Data Protection Act) අනුකූල වන පරිදි නෛතික සුරක්ෂිතතාව තහවුරු කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.එසේම පාලක, නියෝජ්‍ය පාලක සහ බලයලත් නිලධාරී වැනි පැරණි තනතුරු වෙනුවට පාලක ජනරාල්, අතිරේක පාලක ජනරාල් සහ ආගමන නිලධාරීන් ලෙස තනතුරු නාමයන් යාවත්කාලීන කර ඇති බව මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. එමෙන්ම, නීති විරෝධී ලෙස මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදන මඟින් බලය පවරනු ලබන ත්‍රිවිධ හමුදා සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට (Coast Guard) ද සීමිත බලතල ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සලසා තිබේ.තවද, ශ්‍රී ලංකාවෙන් නීත්‍යානුකූලව පිටවී වෙනත් රටකදී ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් සිදු කරන මනුෂ්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට නීතිය යටතේ නඩු පැවරීමටත්, එවැනි සංවිධානාත්මක නීති විරෝධී ක්‍රියාවලට අදාළ නඩු මහාධිකරණය හමුවේ විභාග කිරීමටත් නව පනතින් බලතල පැවරේ. එසේම විදේශ ගමන් බලපත්‍රවල මුද්‍රා තැබීමකින් තොරව භාවිත කළ හැකි ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික ද්වාර (E-Gates) ක්‍රියාත්මක කිරීම ඇතුළු තාක්ෂණික අවශ්‍යතා සදහා නෛතික රාමුව මෙමඟින් සපයා ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වන විදේශිකයන් සඳහා මෙරට වීසා ලබා දීමේදී ඇති නෛතික තත්ත්වයන් සහ ඊට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.
2026-11-18
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 ක පාඩුවක් ද නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-11-18
ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

