E   |   த   |  

2021-05-12

පුවත් කාණ්ඩ : පුවත් 

අණපනත් ගණනාවක් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සම්මතයි

පසුගිය මැයි 04 සහ 05 දින පැවති පාර්ලිමේන්තු රැස්වීම් අතරතුරදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද, සුරාබදු ආඥා පනත යටතේ වන නිවේදන 04 ක් ද, වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් බදු (සංශෝධන) පනත් කෙටුම්පත ද ඡන්ද විමසීමකින් තොරව සම්මතවීම කැපී පෙනුණි.

එසේම විපක්ෂය කළ යෝජනාවකට අනුව කෝවිඩ් 19 අභියෝගය හමුවේ රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය මැයි 04 සහ 05 යන දෙදින පුරාම පැවැත්විණි.

කෝවිඩ් 19 අභි‍යෝගය හේතුවෙන් එම සතියේ පාර්ලිමේන්තුව දින 02ක් පමණක් රැස්කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතීත්වයෙන්  යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබිණි.

පාර්ලිමේන්තු රැස්වීම දින දෙකකට පමණක් සීමා වුවද ඊට සහභාගීවූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගනු ලැබීය.මැයි 04 වනදා මන්ත්‍රීවරුන් 204 දෙනෙක් (91%) පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වූ අතර මැයි 05 වනදා සහභාගී වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 191( 85%) කි.

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන ගිය අතර ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ සියලු දොරටු විවෘත කරමින් මෙම දෙදිනම සභාව රැස්වීම විශේෂ සිදුවීමක් විය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පාර්ලිමේන්තුව තුළදී තරයේ පිළිපඳිමින් සහයෝගය ලබා දෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පළමු දිනයේම විශේෂ ප්‍රකාශයක් කරමින්  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටීමද කැපී පෙනුනි.

මේ අතර මැයි මස 05 වන දින කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයට ගැනීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී  තීරණයවී තිබුණද ඊට එරෙහි පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට මැයි 04 වනදා වන විට ලැබී නොතිබීම හේතුවෙන්   එම විවාදය නොපැවැත්වූ අතර රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය එදින පැවැත්වීමට හදිසියේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව  තීරණය කරන ලදී.

මැයි 04 වන දින අනුමත වූ  2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු ( VAT) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත මගින්   බදු අයකළ හැකි සෑම භාණ්ඩ හෝ සේවා සැපයුමක් මත ආනයනය කරන ලද භාණ්ඩවල අගය මත 2019  ‍දෙසැම්බර් මස 1 වන දින සිට 15% සිට 8% ක්වා බදු ප්‍රමාණය  අඩුවීම සිදුවේ.

තවද 2020 අප්‍රේල් 29 වන දින සහ එදිනට පසුව ගෙන්වන කෝවිඩ් 19 වසංගතය හමුවේ කටයුතු කිරීමට අවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීම සඳහා වන උපකරණ යන්ත්‍ර සූත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ , ඖෂධ සහ  රසායනික ද්‍රව්‍ය  වැට් බද්දෙන් නිදහස් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් ද එම පනත් කෙටුම්පතට ඇතුළත් විය.

එසේම මෙහිදී භාණ්ඩ ආනයනයේදී අය කරන  සෙස් බද්දට අදාළව 2015 වසරේදී ඉදිරිපත් කරන ලද මුල් අති විශේෂ  ගැසට් පත්‍රයට 2016, 2018 හා 2021 දී  කරන ලද සංශෝධනයන් සියල්ල එකම ගැසට් පත්‍රයකට ගෙන ඒම තුළින් අපනයන සෙස් බදු සම්බන්ධයෙන් තනි ගැසට් පත්‍රයක් ඉදිරිපත් කිරීම 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගය මගින් සිදුවිය.

ඊට අමතරව, සුරාබදු ආඥා පනත යටතේ වන නිවේදන මගින් සුරාබදු ආඥා පනත ප්‍රකාරව බෝතල් කරන ලද රා  ලීටරයකට මෙතෙක් අය කරන ලද රුපියල්   25 ක බද්ද  අවලංගු කර ඇති අතර රා තැබෑරුම් විවෘත කරනු ලබන වේලාවන්ද දීර්ඝ කර ඇත. එසේම,  රා සිල්ලරට අලෙවි කරනු ලබන සීමාව ලීටරයේ සිට ලීටර් 03 දක්වා ඉහළ  දමා තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රීධුරය අහිමි වීමෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ඇතිවූ පුරප්පාඩුව සදහා තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කරන ලද බව  කථානායකවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේ නිවේදනය කළේය.

එසේම මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ගරු දිනේෂ් ගුණවර්ධන මහතා පත් කළ බව කථානායකවරයා පාර්ලිමේන්තුවෙිදී නිවෙිදනය කළේය.

එම විශේෂ කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස  අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා ,  මහාචාර්ය ජී. එල්. පීරිස් , පවිත්‍රාදේවී වන්නිආරච්චි , ඩග්ලස් දේවානන්දා , විමල් වීරවංශ ,  එම්. යූ. එම්. අලි සබ්රි යන මහත්ම මහත්මීහූද  රාජ්‍ය  අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන  අනුර දිසානායක, කබීර් හෂීම් , රංජිත් මද්දුම බණ්ඩාර  , මනෝ ගනේෂන් , එම්. ඒ. සුමන්තිරන් , මධුර විතානගේ මහතා සහ මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරු ද නම්කර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව  ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් කථානායකවරයා නිවේදනය කළේය.

පවතින කොවිඩ්  තත්ත්වය හමුවේ කෝප්, කෝපා සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැසක් පසුගිය සතිය තුළදී අත්හිටුවීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

එමෙන්ම රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබද විවාදයේදී මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට වැඩි කාලයක් ලබා දීම සදහා පාර්ලිමේන්තුව පැවැත්වුණු මෙම  දින දෙකේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන්වී නොතිබිණි. ඒ අනුව  මැයි 04 වනදා පාර්ලිමේන්තු මැති ඇමැතිවරු 29 දෙනෙක් විවාදයේදී අදහස් දක්වා තිබූ අතර මැයි 05 වනදා අදහස් දැක්වූ මැතිඇමතිවරු සංඛ්‍යාව 34 කි.

පාර්ලිමේන්තුව ලබන 18 වැනිදා පෙ.ව 10.00 ට නැවත රැස්වෙයි.



සම්බන්ධිත පුවත්

2026-11-21

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට ඊයේ (නොවැ. 20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.ඒ අනුව, නොවැම්බර් 23 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.  තවද, දෙසැම්බර් 05 සෙනසුරාදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් (දෙවැනිවර කියවීම) නියමිතව ඇත.එසේම, දෙසැම්බර් 07 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. (මෙම පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 23 දින දෙවැනිවර කියවීමේ විවාදය පවත්වා කල් තබා ඇත)  ඒ අනුව ඉහත දිනයන්හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනේ.මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත් කිරීමට අදාළ යෝජනා ත්‍රිත්වයකට ද පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් බැහැර කිරීමේදී නිර්දේශිත ප්‍රමිතීන් සහ ආරක්ෂිත ක්‍රියාපටිපාටීන්, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු ඒ සම්බන්ධ කරුණු පිළිබඳව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම, ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කිරීම සහ කාවන්තිස්ස ඇතාගේ මරණය, ඊට අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වනජීවී ආරක්‍ෂණ නීති ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කර බැලීම, එවැනි සිද්ධියක් නැවත සිදුවීම වළක්වා ගැනීම උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනා ත්‍රිත්වයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇත.


2026-11-20

2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 20) සම්මත විය. අද ප.ව. 6.50 ට පමණ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද හිමිය. 2027 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 13 සිට අද (20) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව, 2027 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා  ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.


2026-11-20

වැව් ආශ්‍රිත අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2,196 ක්

වැව් රක්ෂිතයේ පාමුල හෝ ආරක්‍ෂිත කලාපය තුළ හෝ අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2196 න් 1417 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිතවත්, ඉතිරි 779 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතවත් සිදු වී ඇති බවත් ඉඩම් සහ වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිත අනවසර ඉදිකිරීම් 102 ක් 2022 සිට මේ දක්වා ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතව ඉදිකිරීම් 779 ක් තවදුරටත් ඉවත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති වැව් 700 ක් ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති වැව් 483 ක් ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් රක්ෂිත ප්‍රදේශ නීත්‍යානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2026-11-20

මොණරාගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන 05 ක් දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා විවෘත කෙරේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ සංරක්ෂණය කර ඇති ස්ථාන අතරින් දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා නැරඹීමට ස්ථාන 05 ක් විවෘත කර ඇති බවත්,  බුදුරුවගල, මාලිගාවිල, යුධගනාව සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථාන මෙන්ම දෙමටමල් විහාරය මෙලෙස විවෘතව පවතින බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති මේ වන විට ලියාපදිංචි කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව 137 ක් බව ද ඒවා ගලබැද්ද, මාලිගාවිල, බුදුරුවගල සහ බිබිල යන පුරාවිද්‍යා කලාප 04 කට අයත් වන බව ද අමාත්‍යවරයා කිවේය. මෙම කලාපවලට අයත් භුමි ප්‍රමාණය විග්‍රහ කළ අමාත්‍යවරයා, ගලබැද්ද කලාපයට වර්ග කිලෝමීටර 2000.1 ක්, මාලිගාවිල කලාපයට වර්ග කිලෝමීටර 1199.2 ක්, බුදුරුවගල කලාපයට 1426.2 ක් සහ බිබිල කලාපයට 713.1 ක් අයත් බව ද සඳහන් කළේය.නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා බුදුරුවගල පුරාවිද්‍යා ස්ථානයට මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ද, යුධගනාව පුරාවිද්‍යා ස්ථානයට විහාරස්ථානය මඟින් ද, දෙමටමල් විහාරයට විහාරස්ථානය මඟින් ද සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා තිබෙන බවත්, මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථානයේ ඇති යටිතල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks