E   |   த   |  

2021-04-30

පුවත් කාණ්ඩ : පුවත් 

කොවිඩ් අභියෝගය ජය ගැනීමට රුපියල් මිලියන 1360 ක ආධාරයක් ලබා දීම සම්බන්ධව ජපන් රජයට කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කරයි

කොවිඩ් 19 අභියෝගය ජය ගැනීම සඳහා අවශ්‍ය වන නවීන තාක්ෂණයෙන් යුතු වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන  1360 ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව ජපාන රජයට ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.

එමෙන්ම කොවිඩ් 19 වෛරසයට මුහුණ දීම සඳහා ප්‍රතිශක්තීකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 03ක මුදලක් යුනිසෙෆ් ආයතනය හරහා ශ්‍රී ලංකාවට ලබාදීමටද ජපන් රජය කටයුතු කිරීම සම්බන්ධව කතානායක අබේවර්ධන මහතා සිය ස්තූතිය පළ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ 9 වැනි පාර්ලිමේන්තුවට අදාළ නව නිලධාරී මඩුල්ල පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවති රැස්වීමේදී ය.

කතානායකවරයා මුලසුන හෙබවූ මෙම රැස්වීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එයට මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර මුලින්ම ද්වීපාර්ශවීය සම්බන්ධතා ගොඩ නැගුණේ ආගමික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් හරහා බවත් නමුත් පසු කාලීනව වඩාත් වටිනා දේශපාලන හා ආර්ථිකමය සබඳතා ලෙස එය වර්ධනය වූ බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

“සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති ජපාන සාම සමුළුවට සහභාගි වූ ආසියානු රටවල් 09 අතරින් එක් රටක් වූයේ ශ්‍රී ලංකාවයි. එයට සහභාගි වූ එවකට ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන මහතා කළ කතාව අදටත් ජපානයේ ජනතාව අගය කරනවා” යැයිද කථානායක වරයා පැවසීය.

“ශ්‍රී ලංකාව සහ ජපානය අතර තානාපති සබඳතා ඇති වූයේ 1952 දී. ඒ සාම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුවයි. පසුව ජපාන තානාපති කාර්යාලයක් කොළඹ දී 1952 දී පිහිටවනු ලැබුවා. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ජපානයේ දී ඇරඹුණේ 1953 දී. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශවික සබඳතා වලට මේ වන විට වසර 69ක් සම්පූර්ණ වෙනවා” යැයි ද ඒ මහතා කීය.

1993 වසරේ සිට ශ්‍රී ලංකාව හා ජපානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙරට අතර සංචාරය කළ බවත් එමෙන්ම දෙරටේ නායකයන් ද්වීපාර්ශවීය සංචාර සිදු කළ බවත් පැවසූ මහින්ද යාපා මහතා ඒ අතරින් ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතාගේ 1994 ශ්‍රී ලංකා සංචාරය කැපී පෙනෙන බව ද සඳහන් කළේය.

මෙම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ව්‍යවස්ථාදායකයන්ගේ සබඳතා මෙන්ම ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයිද කථානායකවරයා කීවේය.

මෙම රැස්වීමේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට පත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා එහි ලේකම්වරයා ලෙස පත් විය.

උප සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වරාජා ගජේන්ද්‍රන්, ජේ. සී. අලවතුවල සහ ප්‍රේම්නාත් සී දොලවත්ත යන මන්ත්‍රීවරුන් පත් වූ අතර, භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා පත්විය. නියෝජ්‍ය ලේකම්වරුන් ලෙස සිවඥානම් ශ්‍රීතරන් මහතා මේජර්  සුදර්ශන දෙනිපිටිය මහතාත් තේරී පත්වූහ.

 

1 2

 



සම්බන්ධිත පුවත්

2026-11-21

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට ඊයේ (නොවැ. 20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.ඒ අනුව, නොවැම්බර් 23 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.  තවද, දෙසැම්බර් 05 සෙනසුරාදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් (දෙවැනිවර කියවීම) නියමිතව ඇත.එසේම, දෙසැම්බර් 07 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. (මෙම පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 23 දින දෙවැනිවර කියවීමේ විවාදය පවත්වා කල් තබා ඇත)  ඒ අනුව ඉහත දිනයන්හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනේ.මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත් කිරීමට අදාළ යෝජනා ත්‍රිත්වයකට ද පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් බැහැර කිරීමේදී නිර්දේශිත ප්‍රමිතීන් සහ ආරක්ෂිත ක්‍රියාපටිපාටීන්, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු ඒ සම්බන්ධ කරුණු පිළිබඳව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම, ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කිරීම සහ කාවන්තිස්ස ඇතාගේ මරණය, ඊට අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වනජීවී ආරක්‍ෂණ නීති ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කර බැලීම, එවැනි සිද්ධියක් නැවත සිදුවීම වළක්වා ගැනීම උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනා ත්‍රිත්වයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇත.


2026-11-20

2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 20) සම්මත විය. අද ප.ව. 6.50 ට පමණ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද හිමිය. 2027 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 13 සිට අද (20) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව, 2027 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා  ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.


2026-11-20

වැව් ආශ්‍රිත අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2,196 ක්

වැව් රක්ෂිතයේ පාමුල හෝ ආරක්‍ෂිත කලාපය තුළ හෝ අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2196 න් 1417 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිතවත්, ඉතිරි 779 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතවත් සිදු වී ඇති බවත් ඉඩම් සහ වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිත අනවසර ඉදිකිරීම් 102 ක් 2022 සිට මේ දක්වා ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතව ඉදිකිරීම් 779 ක් තවදුරටත් ඉවත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති වැව් 700 ක් ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති වැව් 483 ක් ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් රක්ෂිත ප්‍රදේශ නීත්‍යානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2026-11-20

මොණරාගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන 05 ක් දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා විවෘත කෙරේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ සංරක්ෂණය කර ඇති ස්ථාන අතරින් දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා නැරඹීමට ස්ථාන 05 ක් විවෘත කර ඇති බවත්,  බුදුරුවගල, මාලිගාවිල, යුධගනාව සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථාන මෙන්ම දෙමටමල් විහාරය මෙලෙස විවෘතව පවතින බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති මේ වන විට ලියාපදිංචි කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව 137 ක් බව ද ඒවා ගලබැද්ද, මාලිගාවිල, බුදුරුවගල සහ බිබිල යන පුරාවිද්‍යා කලාප 04 කට අයත් වන බව ද අමාත්‍යවරයා කිවේය. මෙම කලාපවලට අයත් භුමි ප්‍රමාණය විග්‍රහ කළ අමාත්‍යවරයා, ගලබැද්ද කලාපයට වර්ග කිලෝමීටර 2000.1 ක්, මාලිගාවිල කලාපයට වර්ග කිලෝමීටර 1199.2 ක්, බුදුරුවගල කලාපයට 1426.2 ක් සහ බිබිල කලාපයට 713.1 ක් අයත් බව ද සඳහන් කළේය.නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා බුදුරුවගල පුරාවිද්‍යා ස්ථානයට මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ද, යුධගනාව පුරාවිද්‍යා ස්ථානයට විහාරස්ථානය මඟින් ද, දෙමටමල් විහාරයට විහාරස්ථානය මඟින් ද සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා තිබෙන බවත්, මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථානයේ ඇති යටිතල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks