පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-04-21
අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ප්‍රහාරයේ වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට දැනටමත් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එවන් අවාසනාවන්ත තත්ත්වයක් නැවත කිසිදිනක ඇති නොවීමට රජයක් ලෙස සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද හෙතෙම කීවේය.
ගරු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.
“ගරු කථානායකතුමනි, අද අපි මීට වසර දෙකකට පෙර එනම් 2019 අප්‍රේල් 21 පාස්කු දිනයේ ලංකා ඉතිහාසයේ ඇති වූ අඳුරුතම දිනයක දෙවන අනුස්මරණය ඉතා සංවේගයෙන් සමරනවා. එදා පාස්කු ඉරු දින දේව මෙහෙයන්ට සහභාගී වූ අහිංසක ජනතාව ඇතුළු 259 ක් මරුමුවට පත්කරමින් සහ සිය ගණනකට තුවාල සිදු කරමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ මාලාව හේතුවෙන් මියගිය දෙස් විදෙස් ආදරණීය ජනතාව අපි ඉතා සංවේගයෙන් සිහිපත් කරන ගමන් එසේ මියගිය කිතුණුවන්ගේ ආත්මයන්ට ස්වර්ගීය සැනසීමත්, අනෙකුත් ජනතාවට ඔවුන් බලාපොරොත්තු වන අයුරින් සැනසීම අත්වේවායිත් ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම එදා තුවාල වූ ආබාධිත වූ සිය ගණනක් ජනතාව අදත් ශාරීරිකව හා මානසිකව පීඩා විඳිනවා, ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. එසේම මිය ගිය සහ ආබාධිත වූ තුවාල වූ සියළු දෙනාගේ පවුල්වල සාමාජිකයන් වෙත අපගේ බලවත් සංවේගය පුද කරනවා.
ඒ වගේම පාස්කු කොමිසම මගින් හෙලිදරව් කරගත් තොරතුරු අනුව සකස් කළ වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් ගරු නීතිපතිතුමා වෙත යොමුකර තිබෙනවා.
අධිකරණ ක්‍රියාමාර්ග කෙරෙහි අප මැදිහත්වීමට කටයුතු නොකළත් එම ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට අප රජයක් හැටියට සූදානම් බව කියන්න කැමතියි.
එසේම කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විමර්ශන කටයුතු මේ වන විට ඉතාම ස්වාධීනව සිදුකරගෙන යාමට අවශ්‍ය පහසුකම් අතිගරු ජනාධිපතිතුමා විසින් සලසාදී තිබෙනවා. ඒ පරීක්ෂණ අවසානයේ ඒ ඒ දෙපාර්තමේන්තු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදි කටයුතු කරයි කියල අපට විශ්වාසයි.
පසුගිය රජය විසින් සිදුකල සාපරාධී නොසලකා හැරීම් හා මග හැරීම් සහ ජාතික ආරක්ෂාව සහ තමන්ගේ දේශපාලන කටයුතු පටලවා ගැනීමෙන් අවසානයේ වන්දි ගෙවීමට සිදුවුනේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිව යුතු කොට්ඨාශ විවිධ බොරු සමාජ ගත කරමින්, විමර්ශනවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිසාවකට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා. අපි එම පිරිස පිළිබඳව කණගාටු වෙනවා. ඊට අමතරව ඒ මියගිය සියළු දෙනාම මේ මොහොතේ සිහිපත් කරන අතරම එවන් අවාසනාවන්ත තත්ත්වයක් යළි කිසිදා ඇති නොවීමටත් අප රජයක් හැටියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
ඒ වගේම මෙම කුරිරු ප්‍රහාරයේ වගකිවයුතු සියළු දෙනාම නීතිය හමුවට ගෙන එන්නත් අප කටයුතු කරන බවට අවසාන වශයෙන් කියන්න කැමතියි.” ලෙස ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
2026-11-21
අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට ඊයේ (නොවැ. 20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.ඒ අනුව, නොවැම්බර් 23 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ. තවද, දෙසැම්බර් 05 සෙනසුරාදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් (දෙවැනිවර කියවීම) නියමිතව ඇත.එසේම, දෙසැම්බර් 07 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. (මෙම පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 23 දින දෙවැනිවර කියවීමේ විවාදය පවත්වා කල් තබා ඇත) ඒ අනුව ඉහත දිනයන්හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනේ.මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත් කිරීමට අදාළ යෝජනා ත්‍රිත්වයකට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් බැහැර කිරීමේදී නිර්දේශිත ප්රමිතීන් සහ ආරක්ෂිත ක්‍රියාපටිපාටීන්, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු ඒ සම්බන්ධ කරුණු පිළිබඳව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම, ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කිරීම සහ කාවන්තිස්ස ඇතාගේ මරණය, ඊට අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වනජීවී ආරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කර බැලීම, එවැනි සිද්ධියක් නැවත සිදුවීම වළක්වා ගැනීම උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනා ත්‍රිත්වයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇත.
2026-11-20
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 20) සම්මත විය. අද ප.ව. 6.50 ට පමණ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද හිමිය. 2027 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 13 සිට අද (20) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව, 2027 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.
2026-11-20
වැව් රක්ෂිතයේ පාමුල හෝ ආරක්ෂිත කලාපය තුළ හෝ අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2196 න් 1417 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිතවත්, ඉතිරි 779 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතවත් සිදු වී ඇති බවත් ඉඩම් සහ වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්රිත අනවසර ඉදිකිරීම් 102 ක් 2022 සිට මේ දක්වා ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතව ඉදිකිරීම් 779 ක් තවදුරටත් ඉවත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති වැව් 700 ක් ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති වැව් 483 ක් ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් රක්ෂිත ප්‍රදේශ නීත්‍යානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026-11-20
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ සංරක්ෂණය කර ඇති ස්ථාන අතරින් දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා නැරඹීමට ස්ථාන 05 ක් විවෘත කර ඇති බවත්, බුදුරුවගල, මාලිගාවිල, යුධගනාව සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථාන මෙන්ම දෙමටමල් විහාරය මෙලෙස විවෘතව පවතින බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති මේ වන විට ලියාපදිංචි කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව 137 ක් බව ද ඒවා ගලබැද්ද, මාලිගාවිල, බුදුරුවගල සහ බිබිල යන පුරාවිද්‍යා කලාප 04 කට අයත් වන බව ද අමාත්‍යවරයා කිවේය. මෙම කලාපවලට අයත් භුමි ප්‍රමාණය විග්රහ කළ අමාත්‍යවරයා, ගලබැද්ද කලාපයට වර්ග කිලෝමීටර 2000.1 ක්, මාලිගාවිල කලාපයට වර්ග කිලෝමීටර 1199.2 ක්, බුදුරුවගල කලාපයට 1426.2 ක් සහ බිබිල කලාපයට 713.1 ක් අයත් බව ද සඳහන් කළේය.නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා බුදුරුවගල පුරාවිද්‍යා ස්ථානයට මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ද, යුධගනාව පුරාවිද්‍යා ස්ථානයට විහාරස්ථානය මඟින් ද, දෙමටමල් විහාරයට විහාරස්ථානය මඟින් ද සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා තිබෙන බවත්, මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථානයේ ඇති යටිතල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks