01

E   |     |  

2021-04-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

2021 වසරේදී ක්‍රීඩකයන් භාවිතා නොකළ යුතු යැයි නම් කළ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවට

ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද ( 19 ) පාර්ලිමේන්තුවේදී පැවති තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වෙමිනි.

විශේෂයෙන් වාර්ෂිකව ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් විවිධ ක්‍රීඩාවන් සඳහා තහනම් උත්තේජක ද්‍රව්‍ය ලෙස නම් කරන ලැයිස්තුවක් නිකුත් කරන අතර නොදැනුවත්ව හෝ ක්‍රීඩකයන් මෙම ද්‍රව්‍යන් තම කුසලතා වර්ධනය සඳහා භාවිතා කිරීම ඔවුන් එම තරග ඉසවුවේ තහනමට ලක්වීමට හෝ වෙනයම් ක්‍රියාමාර්ගයකට යොමු කිරීමට හේතුවක් වේ.  

මේ අනුව 2021 වර්ෂයේ ජනවාරි 01 දින සිට මෙම වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා වලංගු වන තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 23 වෙනිදා නිකුත්කොට තිබුණි.
 
විවිධ ක්‍රීඩා ඉසව්වන්වල නියැලෙන තරගකරුවන් තරඟ කාලසීමාව තුළදී, සියළු අවස්ථාවලදී, විශේෂයෙන් සඳහන් කරන ලද අවස්ථාවලදී භාවිතා නොකළ යුතු  සහ අපහරණයට ලක්විය හැකි ද්‍රව්‍යන් ලෙස  භාවිතා නොකළ යුතු ද්‍රව්‍ය ගණනාවක් මේ මගින් නම් කොට තිබේ.

 

1



සම්බන්ධිත පුවත්

2026-05-25

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලිණි.එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (මැයි 19) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා කාරක සභාව දැනුවත් කළේය.මේ අවස්ථාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


2026-05-25

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමු වරට රැස්වෙයි

කමිටුව සඳහා මහජන අදහස් ලබා ගැනීමටත් එකඟතාවයමැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරුඅමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලි‍මේන්තුවේදී රැස් විය.මැතිවරණ ක්‍රමයට අදාළ වන නීති, එනම් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ එම පනත්වලට වසර ගණනාවක් තුළ සිදු කරන ලද සංශෝධන සහ එකී පනත්වල විධිවිධානයන්ට අදාළ වන විශේෂ විධිවිධාන පනත් සමාලෝචනය කිරීමද මෙම කාරක සභාවේ මුඛ්‍ය අරමුණයි.ඊට අමතරව, උක්ත පනත් ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම සහ මැතිවරණ සම්බන්ධයෙන් වන වර්තමාන නීති සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීම ද මෙම කාරක සභාව වෙත පැවරී තිබේ.ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍ය යැයි තීරණය කරනු ලබන පරිදි, ඕනෑම තැනැත්තෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් හෝ ලබා දෙන ලෙසට ඕනෑම තැනැත්තෙකුට නියම කිරීමට ද, එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව හෝ, ලබා ගැනීමට ද කාරක සභාවට බලය හිමිවේ. තවද, කාරක සභාවේ කටයුතුවලට සහාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද අවස්ථාව හිමි ව තිබේ. ඒ අනුව, කාරක සභාවේ කටයුතු සඳහා මහජන අදහස් ලබා ගැනිමට සහ මෙම සමාලෝචන ක්‍රියාවලිය පිළිබඳ පුළුල්ව මහජනතාව දැනුවත් කිරීමටද සාමාජික මන්ත්‍රීවරයන්ගේ ඒකඟතාවය හිමි විය. මෙම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍ය (නීතිඥ) සුනිල් වටගල, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, (නීතිඥ) තුෂාරි ජයසිංහ, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-05-21

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදු වන බලපෑම සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කාරක සභාවක්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදු වන බලපෑම සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුකාරක සභාවක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) භාග්‍ය ශ්‍රී හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලදී.පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම අනුකාරක සභාව පත් කෙරිණි. මෙහිදී නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදු වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පරිසර අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ තවත් ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වී සිටියහ. නොරොච්චෝ‍ලේ බලාගාරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පරිසරයට වන බලපෑම, ඒ සම්බන්ධයෙන් වගකීම දරන පාර්ශ්ව හා ඒ ඒ ආයතනවලින් යම් අඩුපාඩුවක් සිදුව ඇත් ද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධ වැඩි දුර කරුණු පරීක්ෂා කිරීම සඳහා මෙම අනුකාරක සභාව පත් කිරීම සිදු විය.ශ්‍රී ලංකාවේ ජර්මානු, ජපාන හා චීන තානාපති කාර්යාල සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා කොට එම රටවල බලාගාර ආශ්‍රිතව භාවිතා කරන නව තාක්ෂණය හඳුනාගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසට කාරක සභාව විසින් ඉල්ලීමක් කරන බවද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසුවේය.


2026-05-21

කාර්යසාධන වාර්තා පහකට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

කාර්යසාධන වාර්තා පහකට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එහි සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අනුමැතිය ලබා දෙන  ලදී.       මේ අනුව 2023 හා 2024 වර්ෂවල ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තා සහ 2024 වර්ෂයේ ජනාධිපති අරමුදලේ කාර්යසාධන වාර්තාව, කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීම සිදු විය. එසේම 2023 හා 2024 වර්ෂවල අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාවන්ද කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අනුමත කෙරිණි.මීට අමතරව බලයලත් මිනින්දෝරුවරුන් විසින් සකස් කරන පිඹුරුපත් ලියාපදිංචි කිරීමට හැකි වන පරිදි 2002 අංක 17 දරන මිනින්දෝරු පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, අජිත් පී. පෙරේරා, මුජිබුර් රහුමාන්, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ධර්මප්‍රිය විජේසිංහ, එම්.කේ.එම්. අස්ලම් සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks