2021-01-12
මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අළෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා ඇති රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව ‘කෝප්’ කමිටුවේදී අනාවරණය විය.
මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය හට කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දුන්නේය.
ඒ මහතා මෙම දැනුම් දීම සිදු කළේ පසුගිය 08 වනදා කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ එස්.එම්. මරික්කාර්, යන මහත්වරු මීට සහභාගී වුහ.
තවද, මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින පාලිත සමාගම්හි සුරැකුම්පත් ගනුදෙනු තුළින් ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්රතිලාභ නොලැබීම හේතුවෙන් 2015/2016 වර්ෂ වලදී රු. මිලියන 18ක් හා රු. මිලියන 102 අලාභයක්ද, 2017 වර්ෂයේ නැෂනල් වෙල්ත් සංස්ථාව හි ආයෝජන උපයෝගී කොට ගෙන කළ ප්‍රතිමිළදී ගැනීම් වල ගනුදෙනු තුළ රු. මිලියන 13ක අලාභයක් සිදුවී තිබෙන බවද පෙන්වා දුන් කෝප් කමිටුව මෙම අක්‍රමිකතා හේතුවෙන් අරමුදලට මහත් වූ අලාභයක් සිදුව ඇති බව අවධාරණය කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් කරණු දැක්වූ නිලධාරීහු මෙම ආයතන තවදුරත් පාඩු මත පවත්වාගෙන යාම අනවශ්‍ය බැවින් ඈවර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලැබී තිබෙන බව පැවසුහ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුයේ නිසි පුද්ගලයන් හට නිසි දඩුවම් ලබා දීමෙන් අනතුරුව මෙය ඈවර කිරීම ගැටළුවක් නොවන නමුදු මෙවැනි මහා පරිමාණ වංචාවක් සිදුව ඇති අවස්ථාවක නිසි පරීක්ෂණයකින් තොරව මෙම ආයතන එලෙස ඈවර කිරීම නුසුදුසු බවය.
ඒ අනුව මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින පාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් සංස්ථාව සහ නැෂනල් වෙලත් සිකියුරිටිස් සංස්ථාව මගින් සිදුව ඇති අක්රමිකතාවය පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව එම ආයතන දෙකම හැකි ඉක්මනින් කෝප් කමිටුව හමුවට කැඳවීමටත්, මෙම අක්රමිකතාවය පිළිබඳව නිසි ලෙස නිරීක්ෂණය කරන තුරු ඈවර කිරීම ප්‍රමාද කිරීම කළ යුතු බවට කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) වර්තමාන තත්වය පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වූ අතර ආයතනයේ වර්තමාන තත්වය පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වූ අතර එම ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා තිබුනද එම ආයතනය එසේ පැමිණීම නෛතිකව කිරීමට බැඳී නොමැති බව ජුලියස් ක්‍රේසි (Julius & Creasy) ආයතනය මගින් කෝප් කමිටුවට දන්වා එවීම පිළිබද සිය අප්‍රසාදය පළ කළ කෝප් කමිටුව මේ තත්වය පිලිබඳව කරුණු නිරාකරණය කරලීම සඳහා පළමු කොට ජුලියස් ක්‍රේසි (Julius & Creasy) ආයතනය කැඳවිය යුතු බව තීරණය කරනු ලැබීය.
ඒ අනුව SLIITආයතනය ජාතික වැදගත්කමකින් යුත් ආයතනයක් වන බැවින්, එම ආයතනය සම්බන්ධ සාකච්ඡාවේ දිගුවක් ලෙස අභ්‍යන්තර වාර්තාවක් සකස් කොට පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව නිගමනයකට එළඹීම යෝග්‍ය බව කෝප් කමිටුව විසින් තවදුරටත් නිර්දේශ කරනු ලැබිය.
තවද, අභ්‍යන්තර විගණකාධිපතිවරයෙකු හා ගණකාධිවරයෙකු ආයතනය සතුව නොමැති බවට අනාවරණය විය. හැකි ඉක්මනින් මෙම පුරප්පාඩුව පිරවීමට කටයුතු කරන මෙන් කෝප් කමිටුව නිර්දේශ කරන ලදී.
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ ආයෝජන කළමනාකරණය සම්බන්ධව විශේෂ විගණන වාර්තාව මත සහ එම අරමුදලේ වර්තමාන කාර්යසාධනය පරික්ෂා කිරීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාව ඒ අනුව කෝප් කමිටුව හමුවේ සාකච්ඡාවට බඳුන් කරනු ලැබීය.
2026-11-21
2018–2021 කාල සීමාව තුළ ආරම්භ කර අතරමඟ නතර වූ සංවර්ධන ව්‍යාපෘති 72 ක් පිළිබඳ තොරතුරු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2021–2023 මූල්‍ය වර්ෂවලට අදාළ ත්‍රෛවාර්ෂික වාර්තා, 2024 විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (නොවැ. 19) රැස් වූ අවස්ථාවේදීය.ඒ අනුව අතරමඟ නතර වූ මෙම ව්‍යාපෘති 72 සඳහා රුපියල් මිලියන 1,664 ක මුදලක් වැය කර තිබූ බව මෙහිදී අනාවරණය විය. ඒ අතරින් ව්‍යාපෘති 35 ක් මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, ව්‍යාපෘති 13 ක වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, තවත් ව්‍යාපෘති 4 ක් අත්හිටුවා ඇති බවත්, ව්‍යාපෘති 20 ක් කොන්ත්‍රාත්තු සම්බන්ධ ගැටලු හේතුවෙන් නතර වී තිබෙන බවත් නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ. කෙසේ වෙතත් එම ගැටලු විසඳා ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් පවතින බව ද එම නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.2019 වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසල් තුනක් බැගින් පිහිටුවීමේ වැඩසටහන යටතේ තෝරා ගත් පාසල්වල භෞතික සංවර්ධනය සහ උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 1,600 කට ආසන්න මුදලක් ලබා දී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, ප්‍රතිපත්තිමය තීරණ මත එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බැවින්, එක් එක් පාසලට ලබා දුන් මුදල් සහ සිදු කළ සංවර්ධන කටයුතු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.මේ අතර, අමාත්‍යාංශය ඇණවුම් කළ පරිගණක තොගයක් තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූල නොවීම හේතුවෙන් භාරගෙන නොමැති බවත්, ඒ සඳහා ගෙවීම් සිදු කර නොමැති බවත්, සැපයුම්කරු විසින් අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් අනාවරණය විය.ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා වූ අතර, ගුරු තොරතුරු සහ සිසුන්ගේ ඇගයීම් දත්ත ඇතුළත් කිරීමට ප්‍රමුඛතාව ලබාදී ඇති බව නිලධාරීහු පැවසූහ. පළාත් කිහිපයක ගුරු ස්ථාන මාරු මෙම පද්ධතිය හරහා ක්‍රියාත්මක වන බව ද, එය දිවයිනේ සියලු පළාත් සහ ජාතික පාසල් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.තවද, ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝජනයේදී ඇස්තමේන්තු සකස් කිරීමේ ප්‍රමාදයන්, තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සහ ටෙන්ඩර් ගැටලු හේතුවෙන් බාධා මතුව ඇති බව ද අනාවරණය විය. විගණන විමසුම් සඳහා පිළිතුරු ලබා දීමේ ප්‍රමාදය සම්බන්ධයෙන්ද කරුණු විමසූ කාරක සභාව, ඒවා කඩිනමින් නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ හා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර යන මහත්වරුන් සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, හෙක්ටර් අප්පුහාමි, චන්දන සූරියආරච්චි, චානක මාදුගොඩ, රුවන්තිලක ජයකොඩි, ඔෂානි උමංගා, මංජුල සුරවීර ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, වෛද්‍ය ජනක සේනාරත්න, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, නීතිඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2026-11-21
සියලු පුරවැසියන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් නියෝජනය වන, සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන පාර්ලිමේන්තු ආයතන ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සංවිධානය කළ ජාත්‍යන්තර වැඩමුළුව 2026 නොවැම්බර් 19 සහ 20 යන දෙදින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.‘සැමට සේවය කරන පාර්ලිමේන්තුවක් ගොඩනැගීම’ (Creating a Parliament that Works for All) යන තේමාව යටතේ පැවති මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විදේශීය පාර්ලිමේන්තු නියෝජිතයන්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ විශේෂඥයන්, විද්වතුන් සහ සංවර්ධන හවුල්කාර ආයතනවල නියෝජිතයෝ සහභාගී වූහ.පාර්ලිමේන්තු කටයුතුවලදී කාන්තාවන් ඇතුළු ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන කණ්ඩායම්වලට සක්‍රීයව සහභාගී වීමට ඇති බාධා හඳුනාගැනීම, ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කරගැනීම සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා තීරණ ගැනීමේදී එම කණ්ඩායම්වල අදහස්වලට නිසි අවස්ථාවක් ලබාදීම සඳහා ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.ලොව පුරා පාර්ලිමේන්තුවල ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමය ක්‍රියාත්මක කරන ප්රමුඛ වැඩසටහනක් වන Inter Pares වැඩසටහන සමඟ එක්ව මෙම වැඩමුළුව සංවිධානය කෙරිණි. එය කාන්තාවන් සහ තරුණයන් ප්රජාතන්ත්රවාදයට සහභාගී කරවීමේ වැඩසටහන යටතේ ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදය සහ මැතිවරණ සහාය පිළිබඳ ආයතනය (International IDEA) විසින් ක්‍රියාත්මක කරනු ලබයි.වැඩමුළුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් 19 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, පාර්ලිමේන්තුවේ මහලේකම් සහ එම සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ තානාපතිනි සිල්වියා හාට්ලයිෆ් සහ International IDEA ආයතනයේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂ ලීනා රික්කිලා ටමාං යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහ විදේශීය නියෝජිතයෝ එක්ව සිටියහ.මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා, ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට කාන්තාවන්, තරුණයන්, ආබාධ සහිත පුද්ගලයන් සහ ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන අනෙකුත් ප්‍රජාවන් සක්‍රීයව සහ අර්ථවත් ලෙස සහභාගී කරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.මෙම වැදගත් වැඩසටහන සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, යුරෝපා සංගමය, Inter Pares, International IDEA සහ අනෙකුත් හවුල්කාර ආයතන වෙත සිය ස්තූතිය පළ කරන බවද කථානායකවරයා සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සුරැකුම් ආර්ථිකය හඳුනාගෙන එය ශක්තිමත් කිරීම, ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීම සහ ආපදා වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම ඇතුළු ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් ද කථානායකවරයාගේ ඇගයීමට ලක් විය.කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍යවරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදහස් දක්වමින්, විශේෂයෙන් කාන්තාවන්, දරුවන් සහ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළාය. පාර්ලිමේන්තු සහ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය තුළ සියලු දෙනාට සමාන හා සාධාරණ සහභාගීත්වයක් ලබාදීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දුන්නාය.සමාරම්භක සැසිය ඇමතූ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීමත්, දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමත් ඉතා වැදගත් බව සඳහන් කළේය. මෙම වැඩමුළුව සංවිධානය කිරීමට දායක වූ සියලු පාර්ශ්වයන් සහ හවුල්කාර ආයතන වෙත ද ඔහු සිය ස්තූතිය පළ කළේය.මේ අවස්ථාවට එක්වූ සම්භාවනීය අමුත්තන් පිළිගනිමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීම, දැනුම හුවමාරු කරගැනීම සහ අත්දැකීම් බෙදාගැනීමේ වැදගත්කම අවධාරණය කළාය.ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ තානාපතිනි සිල්වියා හාට්ලයිෆ් මහත්මිය සහ International IDEA ආයතනයේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂ ලීනා රික්කිලා ටමාං මහත්මිය ද සිය අදහස් පළ කරමින්, සියලු දෙනා නියෝජනය වන ප්රජාතන්ත්රවාදී ආයතන ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බව අවධාරණය කළහ.පාර්ලිමේන්තුවල ධාරිතාව ශක්තිමත් කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් ඇතුළු ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන කණ්ඩායම්වලට දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියට අර්ථවත් ලෙස සහභාගී වීමට අවස්ථා සැලසීමේ වැදගත්කම ද ඔවුහු පෙන්වා දුන්හ. මේ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.කාන්තාවන්ගේ අදහස්, අත්දැකීම් සහ දෘෂ්ටිකෝණ පාර්ලිමේන්තු කටයුතු, දේශපාලන න්‍යාය පත්‍ර සහ ජාතික මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ නිසි ලෙස නියෝජනය වීම සහතික කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අවධානයට ලක් වූ කරුණක් විය.විශේෂයෙන් ජනවාර්ගික හා ආගමික සුළුතර ප්‍රජාවන්ට අයත් කාන්තාවන් සහ ආබාධ සහිත කාන්තාවන් ඇතුළු ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන කණ්ඩායම්වල කාන්තාවන් මුහුණ දෙන බාධා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සැලකිල්ලට ගනිමින් අයවැය සකස් කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජාතික අයවැය සහ රාජ්‍ය ප්‍රතිපත්ති තුළින් කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ වෙනස් අවශ්‍යතා, ප්‍රමුඛතා සහ අත්දැකීම් වඩාත් හොඳින් ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සමානාත්මතාව සහ සමාජීය අන්තර්ග්‍රහණය තහවුරු කිරීම සඳහා රාජ්‍ය සම්පත් සහ ප්‍රතිපත්තිමය තීරණ නිසි ලෙස යොදාගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරෙන වැදගත් වගකීම ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම සැසි සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජිතයෝ ද සහභාගී වී සිය අදහස් සහ අත්දැකීම් ඉදිරිපත් කළහ.ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යුරෝපා සංගමය ඇතුළු වෙනත් රටවල පාර්ලිමේන්තු නියෝජිතයන් සහ විශේෂඥයන් සමඟ අත්දැකීම් හා ක්‍රියාමාර්ග හුවමාරු කරගැනීමට ද මෙම වැඩමුළුවෙන් අවස්ථාව සැලසිණි.මෙම වැඩමුළුව සඳහා අයර්ලන්ත පාර්ලිමේන්තුවේ (Seanad Éireann) සෙනෙට් සභික සහ අයර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි ඇලිසන් කොමින්, ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හිටපු සභාපතිනි ඇලිසන් ජොන්ස්ටන්, මැලේසියාවේ සෙනෙට් සභික ආචාර්ය ජුෆිත්රි බින් ජෝහා, සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රමෝනා විජේරසා යන මහත්ම මහත්මීන් ඇතුළු අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තු පර්යේෂකයෝ සහ අයවැය විශේෂඥයෝ ද මෙම වැඩමුළුවට දායක වූහ.මෙරට කාන්තා නගරාධිපතිනියන්, නියෝජ්‍ය නගරාධිපතිනියන්, සමාජ ක්‍රියාකාරිනියන් සහ සිවිල් සමාජ සංවිධානවල නියෝජිතවරියන්ට ද මෙම වැඩමුළුව සඳහා ආරාධනා කර තිබූ අතර, ඔවුහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති දෙදින වැඩසටහනට සක්‍රීයව සහභාගී වූහ.
2026-11-21
ශ්‍රී ලංකාවේ වාහන ආනයන ක්‍රියාවලිය, වාහන ආනයනය සඳහා අදාළ බදු ප්‍රතිපත්ති, විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී පැනනගින ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය. මේ සඳහා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීහු සහභාගී වූහ.මෙහිදී, ශ්‍රී ලංකාවේ වාහන ආනයන ක්‍රියාවලිය, වාහන ආනයනය සඳහා අදාළ බදු ප්‍රතිපත්ති, විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී පැනනගින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශේෂයෙන්ම වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු රටට ආනයනය කර ඇති වාහන ප්‍රමාණය, ඒවායේ වටිනාකම් සහ ඒ සඳහා අදාළ වන බදු ක්‍රමවේද පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. වාහන ආනයනයේදී එන්ජින් ධාරිතාව, CIF අගය සහ නිෂ්පාදන බදු ඇතුළු විවිධ බදු සංරචක පදනම් කරගනිමින් බදු ගණනය කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වීමත්, රේගු තක්සේරු කිරීම් සම්බන්ධයෙන් මතුවන ගැටලුත් සාකච්ඡාවට ලක් විය.එමෙන්ම, ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී රේගුවට අමතරව රාජ්‍ය ආයතන රැසකින් අනුමැතිය ලබා ගැනීමට සිදු වීම හේතුවෙන් පවතින ප්‍රමාදයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ ඩිජිටල් ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් අනුමැතීන් ලබාගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් සහ සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව සාකච්ඡා විය.මෙම ප්‍රමාදයන් හේතුවෙන් වරායන්හි බහාලුම් රඳවා තැබීමට සිදුවීමෙන් ආනයනකරුවන්ට අමතර ප්‍රමාද සහ ගබඩා ගාස්තු දැරීමට සිදුවන බව ද මෙහිදී නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී. එබැවින් අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ආනයනික භාණ්ඩ නිදහස් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.තවද, විද්‍යුත් වාහන ආනයනය හා භාවිතය සම්බන්ධයෙන් පවතින නියාමන හා පාරිසරික ගැටලු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. විශේෂයෙන්ම විද්‍යුත් වාහනවල බැටරි භාවිතයෙන් ඉවත් වූ පසු ඒවා බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා රට තුළ පැහැදිලි ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව සාකච්ඡා විය.විද්‍යුත් වාහන ආනයනය කරන අවස්ථාවේදීම ඒවායේ බැටරිවල ආයු කාලය අවසන් වූ පසු බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් ආනයනකරුවන්ගෙන් හෝ නිෂ්පාදකයන්ගෙන් වගකීමක් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව ද නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. එමෙන්ම විද්‍යුත් වාහන සහ ඒවායේ බැටරි සඳහා අවශ්‍ය ගුණාත්මක ප්රමිතීන් සහ රේගු බදු ගණනය කිරීමේදී භාවිත වන HS කේතයන් නිසි පරිදි හඳුන්වාදීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරිණි.විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින බදු ප්‍රතිපත්ති සරල කිරීම සහ සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට එම වාහන ලබාගැනීමට හැකි වන පරිදි බදු ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය. විශේෂයෙන්ම විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේදී ජාතික විදුලිබල පද්ධතියට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා සූර්ය බලශක්තිය සහ විදුලි බල ගබඩා කිරීමේ බැටරි පද්ධති භාවිතය දිරිගැන්වීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් විය.ඒ අනුව, විද්‍යුත් වාහන ආනයනය සහ භාවිතය සඳහා අදාළ බදු සහන හා ප්‍රතිපත්තිමය දිරිගැන්වීම් හඳුන්වාදීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රේගු වර්ගීකරණය හා HS කේතයන් යාවත්කාලීන කිරීම මෙන්ම භාවිතයෙන් ඉවත් වන බැටරි පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග වීරරත්න, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක සපුමල් රන්වල, ආචාර්ය නන්දන මිල්ලගල සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.
2026-11-20
ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි තීරණ ගැනීම සහතික කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අවධාරණය කරන ලදී.පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 18) රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් බෙදා හරින පෞද්ගලික සමාගමක් විසින් ගෑස් සිලින්ඩරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබිණි.ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදු වන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් තමන් මේ සඳහා මැදිහත් වූ බව සඳහන් කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා, ගෘහස්ථ ගෑස් සඳහා මිල තීරණය කිරීමේ බලය තම අධිකාරියට නොමැති බව ද පැවසීය. එසේ වුවද, අදාළ පෞද්ගලික සමාගම සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මිල අඩු කිරීමට පියවර ගත් බව ද ඔහු කාරක සභාවට පැවසුවේය.ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හරින අදාළ පෞද්ගලික සමාගමට වෙළෙඳපොළේ හිමි කොටස අඩු බැවින්, එම සමාගමට ගෑස් වැඩි මිලකට මිලදී ගැනීමට සිදු වන බවත්, ඒ අනුව මිලදී ගත් මිලට සාපේක්ෂව ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදු වූ බවත් එම සමාගම තමන්ට පැහැදිලි කළ බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.කෙසේ වෙතත්, ඉදිරියේදී ගෘහස්ථ ගෑස් සැපයුමට බාධා ඇති නොවන බවට සහතික කරන ලෙසත්, මිල ඉහළ යාම් හේතුවෙන් පාරිභෝගිකයින් පීඩාවට පත් නොවන බවට වගබලා ගන්නා ලෙසත් කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් කිත්සිරි, එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ ඥානමුත්තු ශ්‍රීනේසන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.