01

E   |     |  

 දිනය: 2018-09-19   පිළිතුර ලබා දී ඇත 

0211/2018: රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කිරීම : විස්තර

211/’18

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       යම් පුද්ගලයෙකු රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයකට හිමිකම් ලබන්නේ දැයි තීරණය කරනු ලබන තොරතුරු අඩංගු චක්‍රලේඛයක්, රෙගුලාසියක් හෝ අමාත්‍ය මණ්ඩල තීරණයක් තිබේ නම්, ඒ කවරක්ද;

 (ii) ජනාධිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්, ව්‍යවස්ථාදායක සභාව විසින් පත් කරනු ලබන කොමිෂන් සභා සාමාජිකයන්, ආණ්ඩුකාරවරයන්, ප්‍රධාන අමාත්‍යවරයන්, විනිසුරුවරයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පළාත් අමාත්‍යවරයන්, අමාත්‍යාංශ ලේකම්වරයන් සහ එම තනතුරට සමාන තනතුරු දරන්නන් හෝ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදී සිටින නිලධාරින් හැර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හිමිකම් ඇති වෙනත් තනතුරු කවරේද;

(iii) ඉහත තනතුරුවලට අයත් නොවන පුද්ගලයන්ට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කර තිබේද;

(iv) එසේ නම්, ඊට බලපෑ හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-19

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

                        රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇති අංක සීඑස්ඒ/1/38 හා 2016.10.04 දිනැති ලිපිය. එකී ලිපියේ  පිටපතක් සභාගත* කරමි.

                        රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කිරීමට හිමිකම් ලබන පුද්ගලයන්/ තනතුරු නම්කොට අමප/16/1012/722/005-1 හා 2016.07.12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය    ලබා දී ඇත.

(ii) වෙනත් තනතුරු නැත.

(iii) ඔව්.

ගරු මන්ත්‍රීතුමනි, රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කිරීමට යෝජිත පුද්ගලයන්ගේ ලැයිස්තුව මම කියවන්නම්.

01. ජනාධිපතිවරයා, කලත්‍රයා හා ඔවුන්ගේ පුත්‍රයන් හා දියණියන්.

02. අග්‍රාමාත්‍යවරයා, කලත්‍රයා හා ඔවුන්ගේ පුත්‍රයන් හා දියණියන්.

03. හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන්, කලත්‍රයන් හා ඔවුන්ගේ අවිවාහක පුත්‍රයන් හා දියණියන්.

04. කථානායකවරයා, අගවිනිසුරුවරයා, අමාත්‍යවරුන්, විපක්ෂ නායකවරයා, කලත්‍රයන් හා ඔවුන්ගේ අවිවාහක පුත්‍රයන් හා දියණියන්.

05. හිටපු ජනාධිපතිවරුන්ගේ හා අග්‍රාමාත්‍යවරුන්ගේ වැන්දඹුවන්.

06. ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරින් හා ඔවුන්ගේ කලත්‍රයන්, වයස අවුරුදු 21 දක්වා වූ ඔවුන්ගේ අවිවාහක පුත්‍රයන්, අවිවාහක දියණියන්, වයස නොතකා නිලධරයාගෙන් යැපෙන කායිකව හෝ මානසිකව ආබාධිත වූ දරුවන් ඇතුළුව පවුලේ සාමාජිකයන්.

07. විදේශ දූත මණ්ඩල සඳහා අමාත්‍ය මණ්ඩල තීරණ යටතේ පත් කරනු ලැබූ නිලධාරින්, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, වාණිජ දෙපාර්තමේන්තුවේ, ආරක්ෂක අමාත්‍යාංශයේ, කම්කරු දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ හා වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයක නිලධාරින් හා ඔවුන්ගේ කලත්‍රයන්, අවුරුදු 21ක් දක්වා වූ අවිවාහක පුත්‍රයන්, අවිවාහක දියණියන්, වයස නොතකා නිලධරයාගෙන් යැපෙන කායිකව හෝ මානසිකව ආබාධිත වූ දරුවන්ද ඇතුළුව එකී නිලධරයන් ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල සේවයේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දරන තුරු පමණක් ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල සේවයේ රාජ්‍ය තාන්ත්‍රික තනතුර දරන වෙනත් රටවල රජයන් සඳහා නිල වශයෙන් පිළිගනු ලැබූ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන්.

08. පළාත් ආණ්ඩුකාරවරුන්, ඔවුන්ගේ කලත්‍රයන්, අවිවාහක පුත්‍රයන් හා දියණියන්.

09. පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ඔවුන්ගේ කලත්‍රයන්, අවිවාහක පුත්‍රයන් හා දියණියන්.

10. නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ව්‍යාපෘති අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු කමිටුවල නියෝජ්‍ය සභාපතිවරුන්, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඔවුන්ගේ කලත්‍රයන්, අවිවාහක පුත්‍රයන් හා දියණියන්.

11. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්, දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කරනු ලැබූ කොමිෂන් සභාවල සාමාජිකයන්.

12. නීතිපති.

13. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්.

14. අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්.

15. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ කලත්‍රයන්.

16. පළාත් සභාවල සභාපතිවරුන්, පළාත් අමාත්‍යවරුන් හා ඔවුන්ගේ කලත්‍රයන්.

17. ජනාධිපති ලේකම්.

18. අග්‍රාමාත්‍ය ලේකම්.

19. අමාත්‍ය මණ්ඩලයේ ලේකම්.

20. මහබැංකු අධිපති.

21. කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු.

පාර්ලිමේන්තු මහ ලේකම්.

ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී.

ජනාධිපති උපදේශකවරු.

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් - (ඔම්බුඩ්ස්මන්)

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්.

විගණකාධිපති.

මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල්.

අග්‍රාමාත්‍ය උපදේශකවරු.

22. පාර්ලිමේන්තු සභානායකගේ ලේකම්.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ ලේකම්.

23. කැබිනට් නොවන අමාත්‍යාංශ ලේකම්වරු.

ජනාධිපති අතිරේක ලේකම්වරු.

ප්‍රධාන ලේකම්වරු.

24. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී.

යුද හමුදාපති/නාවික හමුදාපති/ගුවන් හමුදාපති/පොලිස්පති.

25. මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ, අමරපුර නිකායවල මහානායක ස්වාමීන් වහන්සේලා.

රෝමානු කතෝලික පල්ලියේ අගරදගුරුතුමා.

අනෙකුත් ආගම්වල ප්‍රධාන පූජකවරුන්.

26. ජාතික බුද්ධි අංශ ප්‍රධානී.

27. විදේශ කටයුතු ලේකම්වරයාගේ නිර්දේශය මත තේ ප්‍රවර්ධන කටයුතු (විදේශ) පිළිබඳ විෂයය භාර කොමසාරිස්වරයා.

28. කොළඹ, මහනුවර මහ නගර සභාවල නගරාධිපතිවරුන්.

29. පාලක ජනරාල්, ආගමන හා විගමන,

අධ්‍යක්ෂ ජනරාල්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,

අධ්‍යක්ෂ ජනරාල්, රේගු,

අධ්‍යක්ෂ ජනරාල්, විදේශ සම්පත්.

විශේෂ සටහන් : 

* මෙම අනුමත ලැයිස්තුවෙහි සඳහන් නාමයන් වෙනස් කිරීම ජනාධිපතිතුමාගේ එකඟත්වය මත ජනාධිපති ලේකම්ගේ අත්සනින් නිකුත් කරනු ලබන ලිපියක් මඟින් පමණක් විය යුතුය.

* සියලු අමාත්‍යාංශ ලේකම්වරු/ආයතන ප්‍රධානීන් විසින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කිරීම් ලේඛනගත කර අදාළ තනතුර/ධුරය අවසන් වූ වහාම ආගමන විගමන පාලක ජනරාල් වෙත දැනුම් දිය යුතුය.

* ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින්ද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කිරීම් පිළිබඳ ලේඛනයක් යාවත්කාලීන කර පවත්වාගෙන යා යුතුය.

* 2015 ජනවාරි 08 දිනට පෙර සිට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර පාවිච්චි කරන ලද අයවලුන් දැනට මෙකී ගමන් බලපත්‍ර ලැබීමට සුදුසු යම් තනතුරක් නොදරන්නේ නම්, කලින් නිකුත් කර තිබූ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර භාවිතය වැළැක්වීම සදහා ආගමන විගමන පාලකවරයා වහාම පියවර ගත යුතුය.

 (iv) රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියා පටිපාටිය සඳහන්ව 2016 ඔක්තෝබර් 04 දාතමින් ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇති උපදෙස් ලිපිය මඟින් අතිගරු ජනාධිපතිතුමා තීරණය කරනු ලබන ඉහත (i) හි සඳහන් ලැයිස්තුවේ සඳහන් නොවන වෙනත් පාර්ශ්වයන් සඳහා ද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කිරීමට විධිවිධාන සලසා ඇත. කෙසේ නමුත් එවැනි ගමන් බලපත්‍ර නිකුත් කිරීම් ඉතාම අල්ප තත්ත්වයක පවතී.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2018-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. නාවින්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks