01

E   |     |  

 දිනය: 2017-09-19   පිළිතුර ලබා දී ඇත 

1698/2017: රජයේ ඉඩම්වල පදිංචි වූවන්ට හිමිකම් ඔප්පු ලබා දීම: පියවර

1698/’17

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      රජයේ ඉඩම්වල වසර 10කට වැඩි කාලයක් පදිංචිව සිටින තැනැත්තන්ට හිමිකම් ඔප්පු ලබාදීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්;

            (ii)      අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද 2016.10.27 දින මධ්‍යකාලීන ආර්ථික දැක්ම පිළිබඳ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් එය නැවත තහවුරු කළ බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) උක්ත ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

(ii) 2015.01.08 දිනෙන් පසු හිමිකම් ඔප්පු ලබාදී ඇති ඉඩම් කට්ටි සංඛ්‍යාව කොපමණද;

(iii) මේ වනවිට හිමිකම් ඔප්පු ලබාදීම සඳහා හඳුනාගෙන ඇති බිම් කට්ටි ප්‍රමාණය, දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ‍අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ඉහත (iii) හි සඳහන් බිම් කට්ටි අතරින් රජය විසින් පිඹුරුපත් සකස් කර ඇති බිම් කට්ටි ප්‍රමාණය, දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) ජාතික ආර්ථිකයට ඉතා වැදගත් වන ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධික ලෙස ප්‍රමාද වී ඇති බව පිළිගන්නේද;

(vi) එසේ නම්, එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-19

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)          (i)      දැනට දීමනාපත්‍ර නිකුත් කර වසර 10කට වැඩි කාලයක් ගත වී ඇති ඉඩම්ලාභීන්ට හිමිකම් ඔප්පු ලබාදීම සඳහා ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති අතර, අදාළ කෙටුම්පත ගරු නීතිපතිතුමා‍ගේ නිෂ්කාසන ලබා ගැනීම සඳහා යොමු කර ඇත.

              (ii)      මෙම නව නීති සම්පාදන කටයුතු මේ වන විටත් අවසන්ව නොමැති බැවින් යෝජිත සංශෝධන යටතේ 2015.01.08 දිනෙන් පසු හිමිකම් ඔප්පු ලබා දී නොමැත.

(iii) හිමිකම් ඔප්පු ලබාදීම සඳහා හඳුනාගෙන ඇති බිම් කට්ටි ප්‍රමාණය දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වශයෙන් සම්පූර්ණ සංඛ්‍යාව 910,082 (නවලක්ෂ දසදහස් අසූදෙක)කි. එක් එක් දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව, වෙන් වෙන් වශයෙන් සංඛ්‍යාත්මක තොරතුරු ඇමුණුම I* මඟින් දක්වා ඇත.

(iv) හිමිකම් ඔප්පු ලබාදීම සඳහා හඳුනාගෙන ඇති බිම් කට්ටි අතරින් රජය විසින් පිඹුරුපත් සකස් කර ඇති මුළු බිම් කට්ටි ප්‍රමාණය 473,089 (හාරලක්ෂ හැත්තෑතුන්දහස් අනූනවය)කි. එක් එක් දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව, වෙන් වෙන් වශයෙන් සංඛ්‍යාත්මක තොරතුරු වැඩිදුරටත් ඇමුණුම II* මඟින් දක්වා ඇත.  

(v) අධික ලෙස ප්‍රමාද වී නැත - හිමිකම් ඔප්පු ලබාදීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රමවේදයක් සකස් කිරීමට යම්කිසි කාලයක් ගත වේ.

(vi) ඉහත (ආ) i කොටසේ සඳහන් කළ පරිදි ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා ගරු නීතිපතිවරයාගේ නිෂ්කාසන ලද පසු එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩල තීරණ අනුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks