පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1627/’17
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2050 දී ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් 100%ක්ම, සූර්ය බලය, සුළං බලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මඟින් ලබා ගන්නා බවට ජාතික පුවත්පත්වල පළවූ වාර්තා නිවැරදිද;
(ii) එසේ නම්, එම අරමුණ ජාතික බලශක්ති ප්‍රතිපත්තියට කොතරම් දුරට එකඟ වන්නේද;
(iii) එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති කාර්යයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-10
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.ඒ වාර්තාව නිවැරැදියි. අපේ බලාපොරොත්තුව වන්නේ, 2050 වසර වනවිට පොසිල ඉන්ධන -ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු- භාවිතය සම්පූර්ණයෙන්ම අතහැර දමා සියයට 100ක්ම පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වුණු විදුලි පද්ධතියක් පවත්වා ගෙන යෑමයි.
(ii) මෙය ඉතාම වැදගත් ප්‍රශ්නයක්, ගරු මන්ත්‍රීතුමනි. අපට තිබෙන්නේ 2008 වසරේ ප්‍රකාශයට පත් කරන ලද බලශක්ති ප්‍රතිපත්තියකි. එය ඉතා යල් පැන ගිය ප්‍රතිපත්තියක්. එම නිසා අපේ රජය බලයට පත් වුණාට පසුව අදාළ සියලුම අමාත්‍යාංශ සමඟ එකතු වී ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සකස් කිරීම ආරම්භ කර ඇත. මේ වනවිට එම කෙටුම්පත සම්පූර්ණයෙන්ම අවසන් වී මහජන අදහස් විමසීමට ලක්කර ඇති අතර මේ මස අවසානයේ එනම්, 2017 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති, කෙටුම්පත් කළ ජාතික බලශක්ති ප්‍රතිපත්තියට එකඟ වන්නේය. එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට අනුමැතිය ලැබුණාට පසුවයි, එය ප්‍රතිපත්තියක් බවට පත් වන්නේ.
(iii) මේ යටතේ සුළං සහ සූර්ය බලශක්ති ප්‍රභවයන් පිළිබඳව පූර්ණ වශයෙන් අධ්‍යයනයන් සිදු කර ඇත. ඒ අනුව මෙරට සංවර්ධනය කළ හැකි සුළං සහ සූර්ය බලාගාර පිළිබඳ විභවය ගණනය කර සිතියම්ගත කර ඇත. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය සඳහා වන ආයතනික ව්‍යුහය යටතේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ස්ථාපිත කර ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය තුළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයෙකු යටතේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය හා කාර්ය සාධනය අධීක්ෂණය සඳහා වූ වෙනම අංශයක් -Renewable Energy Development and Performance Monitoring Unit-ස්ථාපිත කර ඇත. මෙය අලුත් දෙයකි. මා මේ පිළිබඳව විශේෂයෙන් උනන්දු වුණා. කලින් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පමණයි මේ කටයුත්ත කළේ. දැන් මෙහි තාක්ෂණික අංශයේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලය ඍජුවම භාර ගෙන ඇත.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පද්ධතියට එකතු කිරීමේදී තාක්ෂණිකමය වශයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම යටතේ සම්ප්‍රේෂණ පද්ධතියේ සංවර්ධනයන් දිගු කාලීන සම්ප්‍රේෂණ පද්ධතිය සංවර්ධනය කිරීමේ සැලැස්ම යටතේ හඳුනාගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය කරන ආයෝජනයන් මේ වනවිට සිදු කරමින් පවතී. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පද්ධතියට එකතු කිරීමට ඇති හැකියාව සුවිශේෂ ලෙසින් වර්ධනය කර ගත හැකි වනු ඇත.
ගරු මන්ත්‍රීතුමනි, ඉංජිනේරුවරයකු වශයෙන් ඔබතුමා මේ ගැන දන්නවා. මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබතුමාට පළපුරුද්දක් තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට එකතු කළාම පද්ධතියේ අස්ථායිතාවක් ඇති විය හැකියි. පද්ධතියේ අස්ථායිතාවක් ඇති වුණොත්, ඒ ඇතිවන ගැටලු විසඳිය හැකියි. ලෝකය මේ ප්‍රශ්නවලට මුහුණ දී තාක්ෂණය දියුණු කර ඇත. නවීන ලෝකය පිළිගත් තාක්ෂණය හඳුන්වා දීමට අපි කටයුතු කරනවා. ඉංජිනේරුවරයකු වශයෙන් ගරු මන්ත්‍රීතුමා මේ ගැන හොඳට දන්නවා.
ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් විදුලිය වැඩි වශයෙන් එකතු කිරීම සඳහා වූ විශේෂ වැඩ පිළිවෙළක් අපි හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, අපි සූර්යබල සංග්‍රාමය වැඩසටහන් ආරම්භ කළා. ඒ සූර්යබල සංග්‍රාමය වැඩසටහන අනුව මේ වන විට මෙගාවොට් 68ක පමණ ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඒ වාගේම මෙගාවොට් 10 බැගින් වූ බලාගාර 5ක් ජාතික පද්ධතියට එකතු කරලා තිබෙනවා. අපි ආඩම්බරයෙන් ගරු කථානායකතුමනි කියන්නේ, අපි පසුගිය වසර තුළ පමණක් මෙගාවොට් 118ක් ජාතික පද්ධතියට එකතු කරලා තිබෙන බව. මේක සංසන්දනය කරන්න පුළුවන්. උමා ඔය සම්පූර්ණ ව්‍යාපෘතියෙන් ලැබෙන්නේ, මෙගාවොට් 120යි. මෙච්චර දුක් විඳලා, පාඩු වෙලා, අභියෝග මධ්‍යයේ ගන්නේ මෙගාවොට් 120යි. නමුත්, පසුගිය මාස නවය තුළ පමණක් රජය ප්‍රාග්ධනය වශයෙන් සතයක්වත් වැය නොකර මෙගාවොට් 118ක් ජාතික පද්ධතියට එකතු කරලා තිබෙනවා.
පුනරීන්වල මෙගාවොට් 800ක සූර්ය බලාගාරයක් සහ මෙගාවොට් 240ක සුළං බලාගාරයක් ඉදි කිරීම සඳහා අපි කටයුතු කරනවා. ඒ කියන්නේ, ගිගාවොට් එකකටත් වඩා වැඩියි. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. එහි පළමුවෙනි කොටස වශයෙන් ඊළඟ මාස තුන තුළ, සුළං බලය මෙගාවොට්170ක් සහ සූර්ය බලය මෙගාවොට් 100ක් සඳහා ටෙන්ඩර් කරන්න කටයුතු කරනවා.
මාදුරුඔය ජලාශය ආශ්‍රිතව මෙගාවොට් 100ක දිය මත පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ සඳහා තාක්ෂණික ඇගයීම් කටයුතු සිදු වෙනවා.
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඇතිලිවැව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ඉදි කරනවා. ඊළඟ මාස තුන තුළ ටෙන්ඩර් කරනවා.
හඳුනාගත් ග්‍රීඩ් උපපොළවල් ආශ්‍රිතව මෙගාවොට් 01 බැගින් වූ සූර්ය බලාගාර 60ක් ඉදි කිරීමට ටෙන්ඩර් කැඳෙව්වා. ඉතාමත් විනිවිදභාවයකින් යුතුව ඒක ඉතාමත් සාර්ථක වෙලා තිබෙනවා. එහි අවසාන ඇගයීම් කටයුතු සිදු වෙනවා. අපි බලාපොරොත්තු වනවා, ජාතික පද්ධතියට මෙගාවොට් 40කට වැඩි ප්‍රමාණයක් එකතු කරන්න. රුපියල් 23.10ක්ව තිබුණු මිල මේ තරගකාරී ටෙන්ඩර් ක්‍රමවේදය හරහා රුපියල් 17.1ක් දක්වා අඩු කර ගන්න අපට හැකියාව ලැබුණා. අපි තවත් මෙගාවොට් 60ක් එම ටෙන්ඩර්වලටම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වනවා.
පොළොන්නරු සහ වව්නතිව් ග්‍රීඩ් උපපොළවල්වලට ආශ්‍රිතව මෙගාවොට් 10 බැගින් වූ සූර්ය බලාගාර දෙකක් සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරලා තිබෙනවා. මම මේ රටේ ඉන්න ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටිනවා, එම තරගකාරී ටෙන්‍ඩර්වලට ඉදිරිපත් වෙන්න කියලා. අපි අනුගමනය කරන්නේ ඉතාම හොඳ විනිවිදභාවයෙන් යුතු ටෙන්ඩර් ක්‍රියා පටිපාටියක්. පරණ permit ක්‍රමය අපි අත්හැර දාලා තිබෙනවා. ගරු කථානායකතුමනි, මේ තුළින් ඉතා හොඳ ව්‍යාපාර අවස්ථා ලැබෙනවා. පෞද්ගලික අංශයට ඩොලර් බිලියන ගණනක ව්‍යාපාර අවස්ථා ලැබෙනවා වාගේම පරිසරය ආරක්ෂා කරන අතරතුර රජයට, පුරවැසියන්ට අඩුම මිලකට විදුලිය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-08-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks