01

E   |     |  

 දිනය: 2017-09-20   පිළිතුර ලබා දී ඇත 

1591/2017: කුරුණෑගල-හබරණ නව දුම්රිය මාර්ග සැලැස්ම: විස්තර

1591/’17

ගරු බිමල් රත්නායක මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      යෝජිත කුරුණෑගල - හබරණ  දුම්රිය මාර්ගයේ මුල් සැලැස්ම සකසා වසර 10කට පසු එය වෙනස් කර නව සැලැස්මක් සකස් කිරීමෙන් දේපළ අහිමි වන ජනතාවට බලවත් අසාධාරණයක් සිදු වූ බව පිළිගන්නේද;

(ii) මෙම සැලැස්ම වෙනස් කිරීමට එරෙහිව, මහජන විරෝධයක් පැන නැගී ඇති බව පිළිගන්නේද;

(iii) ඉදිකිරීම් සඳහා සහ වන්දි ලබාදීම සඳහා යෝජිත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) මෙම මුදල් ලබාදෙන ආයතන සහ ලබාදීමේ පදනම කවරේද;

(v) මෙම දුම්රිය මාර්ගය ඉදිකළ පසු කුරුණෑගල සිට මහව හරහා හබරණ දක්වා ඇති දුම්රිය මාර්ගයේ කාර්යභාරය කවරේද;

(vi) යෝජිත දුම්රිය මාර්ගයෙන් ලැබෙන ප්‍රතිලාභ කවරේද;

(vii) හබරණට විකල්ප දුම්රිය මාර්ගයක් තිබියදී, කුරුණෑගල හරහා අධිවේගී මාර්ගයක්ද ඉදිවන තත්ත්වයක් තුළ යෝජිත දුම්රිය මාර්ගය සඳහා කරන විශාල ආයෝජනය සමඟ සැසඳී‍මේදී, සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සෑහීමකට පත්විය හැකිද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-20

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      නැත.

                        2009 දෙසැම්බර් මස ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමෙන් පසු 2015 වර්ෂයේ නැවත දුම්රිය ඉංජිනේරුවරුන් සහ පරිසර අධ්‍යයන කණ්ඩායම් විසින් ද දුම්රිය මාර්ග පථය පරීක්ෂා කරන ලදී. එහිදී ස්ථාන කිහිපයකදී විහාරස්ථාන, පල්ලි, පාසැල් ආසන්නයෙන් දුම්රිය මාර්ග පථය වැටී ඇති බවත් සමහර ස්ථානවල පාසල් සහ මහා පරිමාණ සංචාරක නිකේතන හරහා ද දුම්රිය මාර්ග පථය වැටී ඇති බැව් තහවුරු විය. ඒ අනුව සහ වෙනත් තාක්ෂණික සහ පාරිසරික කරුණු මත ද ස්ථාන කිහිපයකදී මාර්ග පථයේ වෙනස්කම් සිදු කිරීමට සිදු විය. අදාළ වෙනස්කම් අලාභ - හානි අවම වන ලෙස සිදු කර ඇති අතර, විශේෂයෙන් මුල් සැලැස්ම අනුව ඉබ්බාගමුව සහ දඹුල්ල ප්‍රදේශයේදී පිළිවෙළින් ගොඩනැඟිලි 171ක් සහ 125ක් ඉවත් කළ යුතු වුවද දෙවන සැලැස්මට අනුව එම ප්‍රමාණය 102ක් සහ 111ක් ලෙස අඩු වී ඇත.

(ii) ඔව්.

ස්ථාන කිහිපයක ඇති වූ සුළු විරෝධතා මඟින් ලැබුණු මහජන අදහස් ද සැලකිල්ලට ගෙන අදාළ ප්‍රාදේශීය ලේකම්වරු සහ ජනතා නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කර දුම්රිය මාර්ග පථයේ තාක්ෂණික කරුණුවලට බලපෑමක් නොවන පරිදි අවශ්‍ය වෙනස්කම් සිදු කර ඇත.

(iii) මෙම දුම්රිය මාර්ගය දැනට සැලසුම් කරන අවධියේ පවතින අතර මූලික ඇස්තමේන්තු ඉංජිනේරු කාර්යය පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සහාය ද ලබාගෙන තාක්ෂණ කමිටුවක් මඟින් සිදු කරනු ලබයි. සැලසුම් කරන කටයුතු තවම අවසන්ව නොමැති බැවින් ඉදි කිරීම් සහ වන්දි සඳහා වැය වන මුදල් තවම ගණනය අවසන්ව නොමැත.

(iv) ඉදි කිරීම් සඳහා චීන රජයෙන් සහන ණය මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර ඉඩම් පවරා ගැනීමට අදාළ වන්දි මුදල් ගෙවීම සඳහා දේශීය අරමුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

(v) මෙම මාර්ගය ඉදි කිරීමෙන් අනතුරුව මහව සිට හබරණ දක්වා දුම්රිය මාර්ගය ත්‍රිකුණාමලය සහ මඩකළපුව සිට අනුරාධපුරය සහ යාපනය දක්වා දුම්රිය ගමන් කිරීමට තව දුරටත් යොදා ගැනීමට හැකි වන අතර, එම මාර්ගය ප්‍රතිසංස්කරණය කර ත්‍රිකුණාමලයේ සිට මහව දක්වා ගල් අඟුරු හා පිටි ප්‍රවාහනය කිරීම සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ. දැනටමත් මෙම දුම්රිය මාර්ගයේ මහව දක්වා ගල් අඟුරු සහ පිටි දුම්රියෙන් ප්‍රවාහනය කරන අතර, ඉල්ලුමට සරිලන පරිදි දුම්රිය මාර්ගය අදාළ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබා දීමට දැනට හැකියාව නොමැති බැවින් මෙම මාර්ගය ඉදි කිරීමත් සමඟ අදාළ භාණ්ඩ ප්‍රවාහනය සඳහා තවදුරටත් ඉඩ ප්‍රස්ථා පුඵල් වනු ඇත.

(vi) මෙම දුම්රිය මාර්ගය ඉදි කිරීමත් සමඟ නැ‍ඟෙනහිර, උතුරුමැද හා මධ්‍යම පළාත් සම්බන්ධ වන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් වන දඹුල්ල නගරය සම්බන්ධ වීම සමඟ එමඟින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්ධනයක් සිදු වන අතර, එම ප්‍රදේශවල කඩිනම් ආර්ථික වර්ධනයක් ඇති වීම.

මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ඉදි වීමත්, එමඟින් අනෙකුත් ප්‍රදේශවලට ඉක්මනින් සම්බන්ධ වීම නිසා ප්‍රදේශයේ නගර සංවර්ධනය වීම.

කොළඹ සිට ත්‍රිකුණාමලයට හා මඩකළපුවට දුම්රියෙන් යාමට ගත වන කාලය පැය 1යි මිනිත්තු 30කින් අඩු වීම.

දුම්රිය ධාවනය ලංකාවේ සමස්ථ මගී හා භාණ්ඩ ප්‍රවාහනයට දායකත්වය වැඩි වීම.

මෙම දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් 120ක වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි පරිදි ඉදි වන බැවින් අනෙකුත් ප්‍රධාන නගර සහ ග්‍රාමීය ප්‍රදේශ අතර ඉක්මන් ඍජු සම්බන්ධතාවක් ඇති වීම.

කෘෂිකාර්මික ප්‍රදේශ  වන පොළොන්නරුව, දඹුල්ල, මාතලේ, ගලේවෙල, මැල්සිරිපුර, කුරුණෑගල යන නගර මෙම දුම්රිය මාර්ගය මඟින් ආවරණ  වන බැවින් එම ප්‍රදේශවල කෘෂි හා කිරි නිෂ්පාදන ඉතා පහසුවෙන් කොළඹ වැනි නාගරික ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම හා නාගරික ප්‍රදේශවල සිට පොළොන්නරුව, දඹුල්ල වැනි ප්‍රදේශවලට යන්ත්‍ර සූත්‍ර, පොහොර හා ඛණිජ තෙල් ප්‍රවාහනය කිරීමට පරිසර හිතකාමී අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යයක් ඇති වීම.

අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් හා සැසදීමේදී දුම්රිය මඟින් ඉන්ධන පිරිමැස්ම සහිත පරිසර හිතකාමී මෙන්ම අඩු පිරිවැයක් යටතේ ප්‍රවාහන සේවයක් ජනතාවට ලබාදීමට හැකි වේ. එමඟින් මිල උද්ධමනය නිසා ඇති වන ගැටලුවලට පිළියමක් යෙදිය හැකි වීම.

පූජනීය ස්ථාන, වනෝද්‍යාන, සංචාරක ස්ථාන විශාල ප්‍රමාණයක් සහ විශේෂයෙන් දඹුල්ල, සීගිරිය සහ හබරණ මෙම දුම්රිය මාර්ගය මඟින් ආවරණය වන බැවින් දෙස් විදෙස් සංචාරකයින්ට වේගවත් දුම්රිය ප්‍රවාහන පහසුකම් මඟින් ඉක්මනින් ළඟා වීමට හැකි වීම නිසා ප්‍රදේශයේ සංචාරක සහ අනෙකුත් කර්මාන්ත නංවාලීමට හැකි වීම.

(vii) සෑහීමකට පත් විය හැක.

විකල්ප දුම්රිය මාර්ගයක් තිබුණ ද එම දුම්රිය මාර්ගයේ දුර වැඩි වීම නිසා නැ‍ඟෙනහිර පළාතට මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය අඩු ඉල්ලුමක් පවතින අතර, මෙම දුම්රිය මාර්ගය ඉදි කිරීම සමඟ දුම්රිය ප්‍රවාහන පද්ධතියට නැ‍ඟෙනහිර පළාත, උතුරුමැද පළාත සහ මධ්‍යම පළාත එක් වන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් වන දඹුල්ල නගරය දුම්රිය ප්‍රවාහන පද්ධතියට එක් වීම තුළින් ආර්ථික හා සමාජීය ප්‍රතිඵල රාශියක් ළඟා කර ගැනීමට හැකි වනු ඇත. එම ප්‍රතිලාභ නිසා 2010 වර්ෂයේ සකස් කරන ලද ශ්‍රී ලංකා -2030 භෞතික සැලසුම් දෙපාර්තමේන්තු ප්‍රතිපත්තියට   සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් 2015 වර්ෂයේ සකස් කරන ලද උපාය මාර්ගික සැලසුමට ද මෙම ව්‍යාපෘතිය ඇතුළත් කර ඇත. අධිවේගී මාර්ගය තුළින් නැ‍ඟෙනහිර පළාත හා උතුරු මැද පළාත සම්බන්ධ නොවන අතර මෙම දුම්රිය මාර්ගය මඟින් දුම්රිය ජාලය පුඵල් වී මනා පළාත් සම්බන්ධතාවක් ගොඩ නැ‍ඟේ. එමඟින් උප නගර ඉදි වීමට ද අඩු පිරිවැයක් මත ඉක්මනින් මගී හා භාණ්ඩ සේවාවක් ලබා දීමට හැකි වන අතර, දැනට පොදු ප්‍රවාහනයෙන් ඈත් වන මගීන් පොදු ප්‍රවාහනයට එක් කර ගැනීමටත්, පරිසර හිතකාමී ඉතා අඩු පිරිවැයක් තුළින් ජනතාව‍ට සේවයක් ලබා දීමටත් හැකියාව ලැබේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks