01

E   |     |  

 දිනය: 2017-08-22   පිළිතුර ලබා දී ඇත 

1413/2017: මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රවර්ධනය: ක්‍රියා මාර්ග

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      2016 අයවැය යෝජනා අංක 177ට අනුව, මැණික් හා ස්වර්ණාභරණ පුහුණු ආයතනයෙහි පාඨමාලා හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රදානය කළ ශිෂ්‍යත්ව සංඛ්‍යාව, ඒවායේ වටිනාකම සහ ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වර්ෂ 1977 සිට මේ දක්වා මැණික් සහ ස්වර්ණාභරණ අපනයන මඟින් ඉපයූ විදේශ විනිමය ප්‍රමාණය, එක් එක් වර්ෂයේදී වර්ධනය වූ අයුරු දැක්වෙන දත්ත සටහනක් ඉදිරිපත් කරන්නේද;

(ii) වර්ෂ 2015න් පසු මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයෙහි ප්‍රවර්ධනය සඳහා රජය අලුතින් හඳුන්වා දුන් ක්‍රමෝපායන් සහ වැඩසටහන් කවරේද;

(iii) වර්ෂ 2000 සිට මේ දක්වා චීනයට මැණික් අපනයනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රවණතා එක් එක් වර්ෂය අනුව ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-22

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       2016 වර්ෂය තුළ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය විසින් ශිෂ්‍යත්ව 230ක් පිරිනැමීමට කටයුතු කර ඇත. ඒ පිළිබඳ විස්තර පහත පරිදි වේ.

 

 

 

ව්‍යාපෘතිය/අරමුදල්

මූලාශ්‍රය

පුහුණු කරන ලද ශිෂ්‍යයන් සංඛ්‍යාව

ඒ සඳහා වැය කරන ලද මුළු මුදල

01

මැණික් නිර්මාණ තාක්ෂණ ශිල්පී ව්‍යාපෘතිය (මෙම ව්‍යාපෘතිය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ මැණික් හා ස්වර්ණාභරණ සංගමය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාපෘතියකි.)

65

රුපියල් මිලියන 1.3

02

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ අරමුදල් මඟින්

165

 

 

පූර්ණ ශිෂ්‍යත්ව ලබාදුන් මුළු ශිෂ්‍ය සංඛ්‍යාව

230

 

 

සහනදායී ගාස්තු පදනම යටතේ පුහුණු කරන ලද සංඛ්‍යාව

527

 

 

පුහුණු කරන ලද මුළු ශිෂ්‍ය සංඛ්‍යාව

757

 

 

(ආ) (i) 1977 වසර සිට 2016 වසර දක්වා මැණික්             හා ස්වර්ණාභරණ අපනයන දත්ත ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක් ඇමුණුම (01) ලෙස ඉදිරිපත් කරමි. 

       (ii)  මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පහත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කරමින් පවතී.

• රත්නපුර ප්‍රධාන මැණික් නගරය ලෙස ව්‍යාප්ත කිරීම සඳහා රත්නපුර දෙමුවාවත මැණික් වීදිය සංවර්ධනය කිරීම.

• දේශීය හා විදේශීය ස්වර්ණාභරණ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගනු වස්, අධිකාරියේ ප්‍රමිති මුද්‍රාව සහිත ස්වර්ණාභරණ විකිණීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ සකස් කිරීම සහ නීතිගත කිරීමට කටයුතු කිරීම.

• නව මැණික් සහ ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමේ රසායනාගාරය ගාල්ලේ පිහිටුවූ අතර, යාපනය, මහනුවර දිස්ත්‍රික්කවල එවැනි රසායනාගාරයන් පිහි‍ටුවිමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනු ලබයි.

• ජංගම සේවයක් සැපයීම සඳහා මැණික් පරීක්ෂා කිරීමේ පහසුකම් සහිත බස් රථයක් මිලදී ගෙන ඇති අතර, එම සේවාව ඉදිරියේදී සැපයීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනු ලබයි.

• 2017 වර්ෂයේ කටුනායක ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයේ මැණික් අපනයන මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර, එමඟින් මැණික් අපනයනය ඉතා ඉක්මනින් හා කාර්යක්ෂමව සිදු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

• ජාත්‍යන්තර ප්‍රදර්ශනයන්හි ශ්‍රී ලංකා මණ්ඩපය සංවිධානය කිරීම.

1. හොංකොං

2. ඇමෙරිකා එක්සත් ජනපදය

3. තායිලන්තය

4. ජපානය

5. ජර්මනිය

6. චීනය

7. එක්සත් රාජධානිය

8. ඉන්දුනීසියාව

• මැඩගස්කරය, ටැන්සානියාව හා ඉතියෝපියාව වැනි රටවල් සඳහා වෙළෙඳ දූත සංචාර සංවිධානය තුළින් නව සම්බන්ධතා ඇති කර ගැනීම සහ එම රටවල්හි මැණික් ආනයනය හා පතල් කැනීම් සඳහා අවකාශය ලබා ගැනීම.

ගරු කථානායකතුමනි, 2016 වර්ෂය තුළ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය මඟින් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනය මා සභාගත* කරනවා.

(iii) 2000 වසරේ සිට 2016 වසර දක්වා චීනයට කරන ලද මැණික් අපනයන පිළිබඳ දත්ත ඇතුළත් සංඛ්‍යා ලේඛන වාර්තාව ඇමුණුම 2 ලෙස දක්වා ඇත.  ඇමුණුම්  සියල්ල සභාගත* කරමි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks