01

E   |     |  

 දිනය: 2017-04-05   පිළිතුර ලබා දී ඇත 

1346/2017: භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ

1346/’16

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමේ දී යම් අක්‍රමිකතාවයක් සිදු වී ඇති බව කෝප් වාර්තාව මඟින් වාර්තා කොට ඇති බවත්;

             (ii)       එම සිද්ධිය සම්බන්ධව 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පැවැත්වූ බවත්;

(iii) එම පරීක්ෂණය සම්බන්ධ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නාගහමුල්ල යන නිලධාරියා විසින් 2015 ජූනි මස හෝ ඊට ආසන්න කාලයකදී නීතිපතිවරයාගේ උපදෙස් පතා ඉදිරිපත් කරන ලද බවත්;

(iv) එම WPI ලිපි‍‍ ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වෙත යොමු කරන ලද බවත්;

(v) ඉන් දින කිහිපයකට පසුව එම ලිපි ගොනුව නැවත නීතිපතිවරයා විසින් කැඳවා එම පරීක්ෂණය නවත්වා සිවිල් අංශයේ උසස් නිලධාරියෙකු වෙත භාර දෙන ලද බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එකී ලිපි ගොනුව භාර දෙන ලද නිලධාරිනියගේ නම කවරේද;

(ii) එම නිලධාරිනියගෙන් ලිපිගොනුව ඉවත් කිරීමට හේතුව කවරේද;

(iii) එකී ලිපි ගොනුව පිළිබඳ වර්තමාන ප්‍රගතිය කවරේද;

(iv) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද එම පරීක්ෂණය සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-04-05

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) 2015 වර්ෂයේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් 2015 වර්ෂයේදී සිදු කර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා ඇත. එනමුත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් 2016.11.15 දිනැතිව පොලිස්පතිතුමා වෙත යොමු කරන ලද ලිඛිත පැමිණිල්ල සම්බන්ධව 2017.01.10 දින නීතිපතිතුමාගෙන් ලත් උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කටයුතු ආරම්භ කර පවත්වාගෙන යනු ලැබේ.

(ii) ඉහත පිළිතුරම අදාළ වේ.

(iii) අදාළ කරුණු සම්බන්ධයෙන් WPI ලිපි ගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුවේ ආරම්භ කර නොමැත.

(iv) නැත. ඉහත (iii) පිළිතුරම අදාළ වේ.

(v) පැන නොනඟී.

(ආ) (i) පැන නොනඟී.

(ii) පැන නොනඟී.

(iii) ඉහත (අ) (iv) සහ (v) පිළිතුරුම අදාළ වේ.

(iv) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන විමර්ශනය අවසානයේදී සහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ඉදිරිපත් වන්නා වූ සාක්ෂි හා නිර්දේශයන් සලකා බැලීමෙන් අනතුරුව, කිසියම් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ කටයුතු කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයකට එළඹිය යුතුව ඇත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks