01

E   |     |  

 දිනය: 2017-03-10   පිළිතුර ලබා දී ඇත 

1345/2017: A350 වර්ගයේ ගුවන් යානා 3ක් ඇණවුම් කිරීම: විස්තර

1345/’16

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පසුගිය රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A350 වර්ගයේ ගුවන් යානා 3ක් ගෙවීමේ ක්‍රමයට විදේශීය සමාගමකින් ඇණවුම් කර තිබූ බවත්;

            (ii)       නව රජය බලයට පත්වීමෙන් පසු එම ඇණවුම අවලංගු කළ බවත්;

(iii) ඇණවුම භාරගත් AerCap  සමාගම ගිවිසුම අවලංගු කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 97 ක වන්දි මුදලක් ඉල්ලා සිටි බවත්;

(iv) ගුවන් යානා මිලදී නොගන්නේ නම්, ඒවා වෙනත් ගුවන් සමාගමකට විකිණීමේ හැකියාව තිබියදී, කැබිනට් මණ්ඩලය නොමග යවා වන්දි ගෙවීම 
පිළිබඳ සාකච්ඡා කිරීමට 2016.09.07 දින කැබිනට් අනුකාරක සභාව විසින් තීරණයක් ගෙන ඇති බවත්;

(v) එම ගුවන් යානා වෙනත් ගුවන් සමාගමකට විකිණීම හෝ AerCap සමාගම විසින් ඉල්ලා ඇති වන්දි මුදල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා නොකර සහ කැබිනට් අනුමතියකින් තොරව චරිත රත්වත්තේ මහතා විසින් එවන ලද ඊමේල් පණිවිඩයකට අනුව එම මුදල ගෙවීමට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් කටයුතු කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එමඟින් ශ්‍රී ලංකා රජයට සිදුවූ පාඩුව හා ආර්ථික හානිය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-10

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)      ඔව්. එහි තොරතුරු අනුව සඳහන් කර  තිබෙන ප්‍රමාණය හරි නම් A350 යානා තුනක් සඳහා වන ගිවිසුම් අවලංගු කිරීමේ ගාස්තුව පහත පරිදි වේ.

                *      (අ) ගුවන් යානා තුන සඳහා ගෙවන ලද මුදල් තැන්පතු වන ඇමෙරිකානු ඩොලර් මිලියන 7.5ක මුදල කල්බදු සමාගම වන AerCap සමාගම විසින් රඳවාගනු ලැබේ.

* (ආ) වාරික අටකින් පියවීම සඳහා ඩොලර් මිලියන 146.5ක ගාස්තුවක් සහ මෙහි අවසන් වාරිකය ඩොලර් මිලියන 56ක් වේ. මෙහිදී ශ්‍රී ලන්කන් සමාගම විසින් ඩොලර් මිලියන 90.5ක මුළු වටිනාකමකින් යුතු වන පළමු වාරික 7 ප්‍රමාදයකින් තොරව ගෙවන්නේ නම් හා වර්තමානයේදී කල්බදු පදනම යටතේ ලබාගෙන ඇති, නිෂ්පාදක අනුක්‍රමික අංක (MSN) 627 දරන ගුවන් යානයෙහි කල්බදු කාලය දීර්ඝ කරන්නේ නම් හා අතිරේක A330-200 වර්ගයේ ගුවන් යානයක් සඳහා නව කල්බදු ගිවිසුමකට එළැඹෙන්නේ නම් හා මිහින් ලංකා සමාගම විසින් කල්බදු පදනම මත ලබාගෙන තිබූ පටු බඳ ගුවන් යානා දෙකෙහි කල් බදු ගිවිසුම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙතට පවරන්නේ නම්, අවසන් වාරිකය වන ඩොලර් මිලියන 56 කපා හැරීමට එයාර්කැප් සමාගම එකඟ විය. ඒ අනුව ගෙවිය යුතු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 90.5 දක්වා අඩු වේ.

  (iv) නැත. මෙම ගුවන් යානාවන්හි හිමිකාරිත්වය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු නොවන බැවින්, ඒවා විකිණීමට හැකියාවක් නොවීය.

ඒ කියන්නේ, පසු ගිය කාලයේ කල් බදු ක්‍රමය අත්සන් කරන කොට  Exit Clause  එකක් ඒ ගිවිසුමට ඇතුළත් කරලා නැහැ. ඒ නිසා Exit Clause  එක අපට අවාසියි.

(v) නැත.

 

(ආ)     රජයට පාඩුවක් හෝ ආර්ථික හානියක් සිදුවී නැත.

(ඇ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කබීර් හෂීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks