01

E   |     |  

 දිනය: 2017-05-04   පිළිතුර ලබා දී ඇත 

1075/2017: උප තැපැල් කාර්යාල සඳහා ගොඩනැඟිලි ඉදිකිරීම : පියවර

1075/’16

ගරු බිමල් රත්නායක මහතා,— තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දිවයින පුරා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් උප තැපැල් කාර්යාල 3410ක් පවතින බවත්;

            (ii)       උප තැපැල් කාර්යාල සඳහා ගොඩනැගිලි සොයා ගැනීම උප තැපැල් ස්ථානාධිපතිවරුන් විසින් සිදුකළ යුතු බවත්;

(iii) උප තැපැල් කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මාසික කුලිය වශයෙන් උප තැපැල් ස්ථානාධිපතිට ගෙවනු ලබන්නේ රුපියල් 250/-ක මුදලක් පමණක් බවත්;

(iv) මෙවැනි සුළු මාසික කුලියකට ගොඩනැගිලි සොයාගත නොහැකිවීම නිසා බොහෝ උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට තම වැටුපෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත්;

(v) ඇතැම් ගොඩනැගිලිවල වැසිකිළි (සනීපාරක්ෂක) පහසුකම් පවා නොමැතිව සේවකයන් අතිශය දුෂ්කරතා මධ්‍යයේ සේවය කරන බවත්;

(vi) විශ්‍රාම වැටුප ලබා ගැනීමට පැමිණෙන වයෝවෘද්ධ විශ්‍රාමිකයන්ට අසුන් ගැනීමට තබා හිටගෙන සිටීමට පවා ප්‍රමාණවත් ඉඩක් නොමැති උප තැපැල් කාර්යාල පවතින බවත්,

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගෙන සේවකයන්ට මෙන්ම ජනතාවටද පහසුකම් සැලසෙන පරිදි උප තැපැල් කාර්යාල සඳහා ගොඩනැගිලි ඉදිකිරීමට පියවර ගන්නේද;

(ii) ගොඩනැගිලි පහසුකම් ලබා දෙන තෙක් දැනට ගෙවනු ලබන රුපියල් 250/- ක මාසික කුලිය වෙනුවට ප්‍රමාණවත් කුලියක් ගෙවීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-04

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)         දිවයින පුරා දැනට ඇති උප තැපැල් කාර්යාල සංඛ්‍යාව 3,410ක් බව සත්‍යයකි.

              (ii)         උප තැපැල් ස්ථානාධිපති ව්‍යවස්ථාව අනුව උප තැපැල් කාර්යාල පවත්වාගෙන යාම සඳහා සුදුසු ගොඩනැඟිල්ලක් සපයා ගැනීම තෝරා පත් කර ගන්නා උප තැපැල් ස්ථානාධිපති විසින් සිදු කළ යුතුය.

             (iii)        තක්සේරු දෙපාර්තමේන්තුවේ සා.ලේ. 13/26 හා 2009.09.05 දරන තක්සේරු වාර්තාව අනුව ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි උප තැපැල් කාර්යාල සඳහා රුපියල් 250/-ක් ද, නාගරික ප්‍රදේශවල පිහිටි උප තැපැල් කාර්යාල සඳහා ජලය හා විදුලිය පහසුකම් සහිත ගොඩනැඟිල්ලක් සඳහා රුපියල් 375/-ක් ද, ජලය හා විදුලිය රහිත ගොඩනැඟිල්ලක් සඳහා රුපියල් 325/-ක් ද දැනට ගෙවනු ලැබේ.

වර්තමානයට ගැළපෙන පරිදි මෙම මුදල වැඩි කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතී.

(iv) සත්‍යයකි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද පසුව යම් සහනයක් ලැබෙනු ඇත.

(v) උප තැපැල් කාර්යාල පවත්වා ගැනීම සඳහා ගොඩනැඟිලි තෝරා ගැනීමේදී සනීපාරක්ෂක පහසුකම් සහිත ගොඩනැඟිල්ලක් තෝරා ගැනීම උප තැපැල් ස්ථානාධිපතිගේ වගකීම වේ.

(vi) උප තැපැල් කාර්යාල පවත්වාගෙන යන සමහර ස්ථානවල එවැනි තත්ත්වයක් පවතින බව සත්‍යයකි. බොහෝ විට මෙවැනි තත්ත්වයක් පවතින්නේ නාගරික ප්‍රදේශවලය. නාගරික ප්‍රදේශවල පවතින අධික ගොඩනැඟිලි කුලිය හේතුවෙන් ගොඩනැඟිලි තෝරා ගැනීමේදී කුඩා ස්ථානයක් තෝරා ගැනීම නිසා මෙවැනි තත්ත්වයක් උදා වී තිබේ.

(ආ) (i) දැනටමත් සැලකිය යුතු උප තැපැල් කාර්යාල සංඛ්‍යාවක් රජයේ ගොඩනැඟිලි තුළ පවත්වාගෙන යනු ලැබේ. සමහර ප්‍රාදේශීය සභා, නගර සභා මඟින්ද උප තැපැල් කාර්යාල සඳහා ගොඩනැඟිලි පහසුකම් ලබා දී තිබේ. වාර්ෂික අය වැය ඇස්තමේන්තු මඟින් උප තැපැල් කාර්යාල ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරනු නොලැබේ.

(ii) ඉහත (අ) (iii) හා (iv) අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද පසුව මුදල වැඩි කිරීමට හැකි වනු ඇත.

(ඇ) පිළිතුරු සපයා ඇත.

 

පිළිතුරු දුන් දිනය

2017-05-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks