පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යුදමය තත්ත්වය හේතුවෙන්, රාජකාරියේ යෙදී සිටියදී මියගිය/ආබාධිත වූ නිලධාරින්ට වන්දි ගෙවීම සඳහා අංක 21/88 සහ 59/89 දරන චක්‍රලේඛ නිකුත් කළ බවත්;
(ii) ඉන් අනතුරුව, 2005.05.04 දිනැති අංක 22/93 (iii) දරන චක්‍රලේඛය මඟින් අවසන් වරට ලැබූ වැටුප පදනම් කරගෙන මාස 120ක වැටුප වන්දියක් ලෙස ගෙවීමට කටයුතු යෙදූ බවත්;
(iii) එසේ වුවද, අංක 21/88 සහ 59/89 දරන චක්‍රලේඛ යටතේ (REPPIA) සහන ලැබූවන්ට, ඉහත (ii) හි සඳහන් චක්‍රලේඛයන්හි විධිවිධාන අදාළ නොවීම හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් විශාල ප්‍රමාණයකට සැළකිය යුතු සහන හිමි නොවූ බවත්;
(iv) මේ වනවිට සහන ඉල්ලා සිටීමේදී ආරක්ෂක අංශවල ආරක්ෂක නිශ්කාෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසි ඉදිරිපත් කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) උක්ත කාරණය සම්බන්ධයෙන් අංක 21/88, 59/89, 22/93 හා 22/93 (iii) දරන චක්‍රලේඛ හා බැඳුනු නව චක්‍රලේඛයක් නිකුත් කිරීමටත්;
(ii) නිලධාරියාට වයස අවුරුදු 55 සම්පූර්ණ වනතුරු මියගිය නිලධාරියාගේ පවුලට වැටුප සහ වන්දි මුදලක් ගෙවීමටත්;
(iii) ආරක්ෂක අංශවලින් ලබාගත යුතු ආරක්ෂක නිශ්කාෂණ වාර්තාවලින් නිදහස් කිරීමටත්;
පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-01-25
අසන ලද්දේ
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 2005.05.04 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93(iii) නිකුත් කර ඇත්තේ රාජකාරියේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරුවලින් ආබාධයට ලක්වන හා හදිසි අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වන රාජ්‍ය නිලධාරින්ට 1993.09.21 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93හි 03 ඡේදයෙන් ගෙවනු ලබන මුල්‍යමය වන්දි ප්‍රමාණය 2005.01.01 දින සිට සියයට 100 ප්‍රතිශතයකින් වැඩිකර ගෙවීම සඳහා වේ. ඒ අනුව එම වන්දි ප්‍රමාණය නිලධාරියාගේ වෛද්‍ය වාර්තාවේ ඉපයීමේ ශක්තිය ක්ෂයවීමේ ප්‍රතිශතය මත තීරණය වන අතර, රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ නිලධරයෙකුගේ යැපෙන්නන් හට ඔහු/ඇය අනතුරට ලක්වන අවස්ථාවේ ලද දීමනා රහිත වැටුප මෙන් මාස එකසිය විස්සක (120) වැටුප වන්දියක් ලෙස ලැබීමට හිමිකම ඇත.
(iii) 1988.07.13 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88 නිකුත් කර ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත හා ජීවිතක්ෂයට පත්වන රාජ්‍ය සේවකයන්ට සහන සැලසීම සඳහා වන අතර, 1989.11.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 59/89 නිකුත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88න් ආවරණය නොවන කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් තුවාල ලබන හා මරණයට පත්වන රාජ්‍ය නිලධාරින් හට සහන ලබාදීම සඳහා වේ. 2005.05.04 දිනැතිව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 (iii) අනුව 2005.01.01 දිනෙන් පසුව රාජකාරියේ යෙදී සිටියදී රාජ්‍ය නිලධාරින්ට සිදුවන හදිසි අනතුරුවලදී නිලධාරියාට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 අනුව හිමි වන්දි මුදල සියයට 100 ප්‍රතිශතයකින් වැඩිකර ගෙවීමට විධිවිධාන සලසා ඇත. එසේ වුවද, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් විපතට පත්වූ රාජ්‍ය නිලධාරින් හට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 ප්‍රකාරවද සහන සැලසිය හැකි අතර, එවැනි අවස්ථාවකදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88 ප්‍රකාරව ලබාගත් වන්දි මුදල් නැවත රජයට ගෙවිය යුතු වේ. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 59/89 හි 03 ඡේදය අනුව අනතුරට පත් නිලධාරියෙකුට සහන ලබා ගැනීමට හිමිකම ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88 හා 22/93 යන චක්‍රලේඛ අතුරින් එක් චක්‍රලේඛයක් මඟින් පමණි.
(iv) ඔව්.
(ආ) (i) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88 හා 22/93, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 59/89 මඟින් බැඳී පවතින අතර, ඒ අනුව ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සිදුවන අනතුරු සඳහා ඉහත චක්‍රලේඛ දෙකෙන් නිලධාරියාට වඩා වාසිදායක එක් චක්‍රලේඛයක් මඟින් සහන ලබා ගැනීමට විධිවිධාන සලසා ඇත. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 (iii) මඟින් වන්දි ලබා ගැනීමට ප්‍රතිපාදන සලසා ඇත්තේ 2005.01.01 දිනෙන් පසුව රාජකාරියේ යෙදී සිටියදී සිදුවන අනතුරු සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 මඟින් ගෙවනු ලබන වන්දි ප්‍රමාණය සියයට 100 ප්‍රතිශතයකින් වැඩිකර ගෙවීමට වේ. එම චක්‍රලේඛය 2005.01.01 දින සිට ක්‍රියාත්මක වේ. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 59/89 සහ 21/88හි විධිවිධාන අනුව එම දිනයේ සිට සංශෝධිත වන්දි ලබා ගත හැකි බැවින්, එකී චක්‍රලේඛ සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැත.
(ii) ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන රාජ්‍ය නිලධාරින්ගේ යැපෙන්නන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88 ප්‍රකාරවද, රාජකාරියේ යෙදී සිටියදී පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන නිලධාරින් හට 2008.12.29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 (IV) ප්‍රකාරව ද, එකී නිලධරයාට හිමි දීමනා හා වැටුප් වැඩිවීම් ද ඇතුළත්ව නිලධරයාට වයස අවුරුදු 55 සපිරෙන තෙක් වැටුප් ගෙවීම මේ වන විටත් සිදු කරනු ලබයි. එසේ වුවද, එහිදී එම චක්‍රලේඛ දෙක අතුරින් නිලධාරියාට වඩාත් වාසිදායක එක් ක්‍රමවේදයක් යටතේ පමණක් සහන ලබා ගැනීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 59/89 ප්‍රකාරව විධිවිධාන සැලසී ඇත.
(iii) නැත.
(ඇ) ආරක්ෂක නිෂ්කාශන වාර්තාව නිලධරයා හට පෙර අවස්ථාවල වන්දි ලබා දීම පිළිබඳව හා නිලධාරියා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී වැදගත් වන තොරතුරු සඳහා වන මූලාශ්‍රයක් වන අතරම, සහන සැලසීමේදී අත්‍යවශ්‍ය ලේඛනයක් වන හෙයින්ද එය ලබා ගත යුතු වේ.
පිළිතුරු දුන් දිනය
2017-01-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks