01

E   |     |  

 දිනය: 2016-12-01   පිළිතුර ලබා දී ඇත 

1010/2016: හම්බන්තොට යෝජිත අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත් කරගැනීම: වන්දි

ගරු නාමල් රාජපක්ෂ මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       හම්බන්තොට දක්වා ඉදිකිරීමට යෝජිත අධිවේගී මාර්ගයේ ඉඩම් අත් කරගැනීම් අවසන්කර ති‍බේද;

             (ii)       එම ඉඩම් සඳහා වන්දි තක්සේරුකර තිබේද;

            (iii)       එසේ නම්,  වන්දි මුදල් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(i)හි සඳහන් ඉඩම් අයිතිකරුවන් වශයෙන් හඳුන්වනු ලබන, අනවසර පදිංචිකරුවන්, බලපත්‍රලාභීන් සහ සින්නක්කර ඔප්පුහිමියන් වෙන් වෙන් ව‍ශයෙන් ‍කොපමණද;

(ii) ඔවුන්ගේ නම් සහ ලිපිනයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරි වසම් අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත (ii)හි සඳහන් පුද්ගලයන් අතරින් මේ වනවිට වන්දි මුදල් ගෙවා ඇති සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

(iv) ඉහත (ii)හි සඳහන් පුද්ගලයන් අතරින් මේ වනවිට වන්දි මුදල් ගෙවා නොමැති සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

(v) ඉහත (iv)හි සඳහන් පුද්ගලයන්ට වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ඉවත් කරනු ලබන අනවසර පදිංචිකරුවන්ට ඉඩම් කොටසක් ලබා දෙන්නේද;

(ii) ඔවුන්ට නිවසක් ඉදිකර ගැනීමට සරිලන වන්දි මුදලක් ලබා දෙන්නේද;

(iii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-12-01

අසන ලද්දේ

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැත. එම කටයුතු සිදු කරමින් පවතී.

              (ii)      රජයට පවරා ගනු ලබන දේපළ සඳහා ඉඩම් අත්කර ගැනීමේ පනත ප්‍රකාර ඉදිරි කටයුතු කර තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලබන තක්සේරු මුදලට අදාළව වන්දි ගෙවීම් කටයුතු සිදු කරනු ලබන බැවින් එම කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින අතර, අවසන්ව නොමැත.

(iii) මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්වලට අදාළ විස්තර ඇමුණුමෙහි දැක්වේ. එම කටයුතු අවසන් නොමැති බැවින් සියලුම විස්තර ලබා දීමට අපහසුය. ඇමුණුම සභාගත* කරමි.

(ආ) (i) අනවසර පදිංචිකරුවන් - 639

බලපත්‍රලාභීන් - 908

සින්නක්කර ඔප්පු හිමියන් -  3239

(ii) මේ වනවිට ඉඩම් අත්කර ගැනීමේ පනත ප්‍රකාර 9(i) වගන්තිය යටතේ හිමිකම් පරීක්ෂණ පවත්වා අවසන් නොමැති බැවින් නිවැරැදි තොරතුරු ලබා දිය නොහැක. පරීක්ෂණ පවත්වා අවසන් පාර්ශ්වකරුවන්ගේ විස්තර ඇමුණුමෙහි දක්වා ඇත.

(iii) වන්දි මුදල් ගෙවා ඇති ඉඩම් කැබලි ගණන- 1210

(ඔවුන්ගේ නම් සහ ලිපිනයන් ඇමුණුමෙහි දක්වා ඇත.)

(iv) වන්දි මුදල් ගෙවා නොමැති ඉඩම් කැබලි ගණන - 3569

(ඔවුන්ගේ නම් සහ ලිපිනයන් ඇමුණුමෙහි දක්වා ඇත.)  ඇමුණුම සභාගත* කරමි.

(v) ඔව්.

(ඇ) (i) සමහර පාර්ශ්වකරුවන් ස්වයං ප්‍රතිෂ්ඨා‍පනගත ක්‍රියාමාර්ග අනුගමනය කරන අතර ඉඩම් කොටස් ඉල්ලා සිටින පාර්ශ්වකරුවන් වෙත ඉඩම් කොටස් ලබා දීමට වැඩ පිළිවෙළක් සකස් කර ඇත.

(ii) ඔව්. ‍

(iii) 2017 වර්ෂයේ මුල් කාර්තුව වනවිට සියලුම පාර්ශ්වකරුවන් වෙත වන්දි ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇත.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks