01

E   |     |  

 දිනය: 2016-11-29   පිළිතුර ලබා දී ඇත 

0984/2016: විදුලි පාරිභෝගිකයන්: විස්තර

984/’16

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයන් අතරින්, ලංකා විදුලිබල මණ්ඩලය මඟින් විදුලි සබඳතා ලබා දී ඇති පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;

(iii) ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් විදුලි සබඳතා ලබා දී ඇති පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවට මෑතකදී ප්‍රකාශ කරන ලද සුහුරු මාපක (Smart Meters)  මඟින් ඉටු කරගැනීමට අපේක්ෂිත අරමුණු කවරේද;

(ii) මේ වනවිට සවිකොට ඇති සුහුරු මාපක (Smart Meters) සංඛ්‍යාව කොපමණද;

 

 

 (iii) ඉහත (i)හි සඳහන් ‍යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ සියලු විදුලි පාරිභෝගිකයන්ට ඉහත සුහුරු මාපක සපයා අවසන් කිරීමට අපේක්ෂා කරන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-29

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 6,514,601කි.

                        සමහර වෙලාවට එක් පාරිභෝගිකයෙක් සතුව විදුලි සම්බන්ධතා කිහිපයක් තිබෙන්නත් පුළුවන්. නමුත් අපි 6,514,601 දෙනෙක් සඳහා meters සවි කරලා තිබෙනවා. මේ වනවිට  සෑම ගම්මානයකටම, සෑම දූපතකටම සියයට 100ක් අපි විදුලිය සපයලා තිබෙනවා. ඉතාම කලාතුරකින් යම් යම් සුවිශේෂී ප්‍රශ්න නිසා ගෙවල් කිහිපයක් ඉතුරු වෙලා තිබෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපට දැනුම් දෙනවා නම් අපි ඒවාත් කෙසේ හෝ විසඳන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි, හැම ප්‍රශ්නයක්ම තිබෙන්නේ අපි මුදල් වෙන් නොකිරීම නිසා නොව කඳු-හෙල් වැනි ජය ගැනීමට අපහසු යම් යම් භෞතික කාරණා නිසා පමණයි. සමස්තයක් විධියට ගත්තොත් සියයට 100ක්ම අපි විදුලිය සපයලා තිබෙනවා. මුළු රටේම 6,514,601 දෙනෙක් සඳහා විදුලිය ලබා දීලා තිබෙනවා.

අපි පසු ගිය 2015 වසරේ මේ රජය පිහිටුවීමෙන් පසුව ක්‍රියාත්මක කළ "සැමට විදුලිය" ව්‍යාපෘතිය යටතේ දෙලක්ෂ පනස්පන්දහසකට මූලික ගාස්තුවක් පවා නොමැතිව විදුලිය ලබා දුන්නා. තමන්ගේ ගෙදර wiring කර ගන්න බැරි පවුල්වලට ගෙවල් wiring කරලා දුන්නා. ඒ වාගේම  තනි පාරිභෝගිකයෙකුට පවා විදුලි කණු සවි කර දීම සඳහා රුපියල් ලක්ෂ තුනක් දක්වා අපි මුදල් වියදම් කළා. මේ ක්‍රමය හරහා උතුරු සහ නැ‍ඟෙනහිර පළාත් ඇතුළුව ඉතාම දුෂ්කර ප්‍රදේශවල පැවති විදුලිය ප්‍රශ්නය විසඳන්න අපට පුළුවන් වුණා, ගරු මන්ත්‍රීතුමනි.

(ii) ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් අතරින් ලංකා විදුලිබල මණ්ඩලය මඟින් මේ වනවිට විදුලි සබඳතා ලබා දී ඇති මුළු පාරිභෝගිකයින් සංඛ්‍යාව 5,964,194කි.

(iii) ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් මේ වනවිට විදුලි සබඳතා ලබා දී ඇති පාරිභෝගිකයින් සංඛ්‍යාව 550,407කි.

විශේෂයෙන්ම පසු ගිය දවස්වල Smart Meters පිළිබඳව සාකච්ඡා කළා. ඒ පිළිබඳව ලොකු උනන්දුවක් ඇති වුණා. Smart Meters නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශයේ ආරම්භ කළා. ඒ වාගේම අවස්ථා කිහිපයකදීම ගරු රංජිත් සියඹලාපිටිය ඇමතිතුමාත්, මමත් මේ ගැන සඳහන් කළා. ඒ නිසා මෙම ප්‍රශ්නය ඉතා වැදගත් එකක්.

(ආ) (i) ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවට ප්‍රකාශ කරන ලද සුහුරු මනු -Smart Meters- මඟින් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු -

a) හඳුන්වා දීමට නියමිත සුහුරු මනු දැනට භාවිතයේ පවතින මනුවලට වඩා නිරවද්‍යතාවයෙන් ඉහළ බැවින් ලැබෙන ආදායම ඉහළ නංවා ගන්න පුළුවන්. 

එහි දෙපැත්තක් තිබෙනවා. එකක් තමයි, පාරිභෝගිකයාට නිවැරදි විදුලි මනු කියැවීමක් ලැබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමා ඉංජිනේරුවරයෙක් වශයෙන් මේ කාරණය ගැන දන්නවා. නිවැරදි මනු කියැවීමක් තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායමත් ඉහළ යනවා. එතකොට දෙපැත්තටම සාධාරණ තත්ත්වයක් ඇති වනවා.

b) සුහුරු මනු සවි කිරීම මඟින් පාරිභෝගිකයාගේ විදුලි පරිභෝජනයේ තාක්ෂණික නොවන හානි අවම කර ගත හැකි වීම.

ඒ කියන්නේ, පරිභෝජනය තුළ විදුලිය නාස්තිවීම් සිදු වනවා. එම නාස්තිවීම් අවම කර ගැනීමට Smart Meters උපයෝගී කර ගන්න පුළුවන්.

c) සුහුරු මනු මඟින් පාරිභෝගිකයාගේ විදුලි පරිභෝජන රටාව හඳුනාගත හැකි වීම ලංකාවේ විදුලි ඉල්ලුම් කළමනාකරණය -Demand Side Management- පිළිබඳ කටයුතුවලට පහසුවක් වීම.

ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ විදුලි ඉල්ලුම කළමනාකරණය ඉතා වැදගත්ම කරුණක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ, නාස්තිය අවම කර ගන්න කියලායි. හැබැයි, නාස්තිය අවම කර ගැනීම කියන එකට වඩා එහි පුළුල් අර්ථයක් තිබෙනවා. එම නිසා අපේ රජය විදුලි ඉල්ලුම කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කරලා, ඒ සඳහා වෙනම කාර්යාලයක් ආරම්භ කරලා, ඒ පිළිබඳව විශේෂඥතාවක් ඇති ඉංජිනේරුවරුන්ගෙන් සමන්විතව වෙනම කාර්ය මණ්ඩලයක් බඳවාගෙන, මේ රටේ විදුලි ඉල්ලුම කළමනාකරණය සඳහා අවශ්‍ය විවිධ කටයුතු කරගෙන යනවා.

ඊළඟට, විදුලි පරිභෝජනය අවම කිරීමට LED බල්බ හඳුන්වා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. ඒ හරහා අපේ රටේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 28කට මූලික ගෙවීමක් නැතුව නොමිලේ LED බල්බ ලබා දෙනවා. පරිභෝජනය කරන විදුලි ඒකක ප්‍රමාණය 30ට අඩු නම්, LED බල්බ දෙකක්; ඒකක ප්‍රමාණය 30-60 අතර නම්, LED බල්බ තුනක්; ඒකක 60-90 අතර නම්, බල්බ හතරක් වශයෙන් ලබා දෙනවා. ගරු මන්ත්‍රීතුමනි,     එම LED බල්බ සඳහා වැය වන්නේ          දැනට වෙළෙඳ පොළේ ඇති LED      බල්බවල වටිනාකමෙන් හතරෙන් එකකටත් අඩු ප්‍රමාණයක්. උදාහරණයක් වශයෙන් කිව්වොත්, අද වෙළෙඳ පොළේ වොට් 9 LED බල්බයක් රුපියල් 550ක් කියලා කියනවා. දැන් අපට පෙනී ගිහිල්ලා තිබෙනවා, ඉතාම හොඳ වර්ගයේ LED බල්බ තොග වශයෙන් ලබා ගන්නකොට අපට එක බල්බයක් රුපියල් 160ක, 170ක වටිනාකමකට ලබා ගන්න පුළුවන් බව. වාරික 24කදී පාරිභෝගිකයාගෙන් විදුලි බිල සමඟ අපි අය කරන්නේ එම සත්‍ය වටිනාකම පමණයි.

ඉතිරි කිරීමෙන් මෙය පියවන්න පුළුවන්. එවැනි demand-side management පිළිබඳ ව්‍යාපෘති ගණනාවක්  ජනාධිපති කාර්ය සාධන බලකාය මඟින් අපි ඉෂ්ට කරගෙන යනවා. එවැනි බොහෝ කටයුතු කෙරෙනවා.

d) ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීමේ පාලන මධ්‍යස්ථාන - distribution control centres - සමඟ පාරිභෝගිකයන්ගේ සැපයුම ස්වයංක්‍රීයව පාලනය කිරීමේ හැකියාව.

අද තිබෙන පද්ධති කළමනාකරණය ඉතා පහළ මට්ටමින් සිදු වෙන්නේ.  නමුත් Smart Meters සහිත පද්ධතියකට ඉතා නවීන තාක්ෂණය ලැබෙනවා.  අපි කියනවා, ඒකට Smart Grid එකක් කියලා. ඒ නිසා සියයට 100ක්ම වාගේ ස්වයංක්‍රීය ආකාරයට පරිගණකගත පද්ධතියක් මඟින් අපේ රටේ විදුලි පද්ධතිය කළමනාකරණය කිරීමට අවශ්‍ය තොරතුරු ලැබෙන්නේ, Smart Metersවලින් ලබා ගන්නා තොරතුරු හරහායි. ඒ කියන්නේ, Smart Meters මඟින් තොරතුරු ලැබෙනවා. පරිගණකගත පද්ධතියක් හරහා සමස්ත පද්ධතිය කළමනාකරණය කිරීමක් කරනවා.

e) මනු කියවීමේ ක්‍රියාදාමය වඩා කාර්යක්ෂමව හා ඉහළ නිරවද්‍යතාවකින් පවත්වාගෙන යා හැකි වීම.

ගරු කථානායකතුමනි, මනු කියවන්නෙක් -meter reader- ගෙදරට ඇවිල්ලා ඒ වෙලාවේදී  මීටරය කියවලා ගණන් හදලා දීලා යනවා. අපි මේ Smart Meters ලංකාවේ පාරිභෝගිකයන් හැට පන් ලක්ෂයකට හඳුන්වා දීමෙන් පසුව, මනු කියවන්නන්ගේ වෘත්තීය අවශ්‍යතාව නැතිව යනවා. ඇත්තවශයෙන්ම අපට ඒ ගැන ගැටලුවක් නැහැ. දැනට ඉන්න මනු කියවන්නන්ගේ තනතුරු නාමය දැනටමත් පාරිභෝගික සම්බන්ධීකාරක වශයෙන් වෙනස් කරලා තිබෙනවා. ඔවුන්ට විදුලිබල මණ්ඩලය හා ආශ්‍රිතව තවත් වැදගත් රාජකාරී ගණනාවක් පැවරෙනවා. මහජන සම්බන්ධතා, තොරතුරු සොයා බැලීම්, පාරිභෝගිකයා සමඟ කටයුතු කිරීම් වැනි කටයුතු ඔවුන්ට පැවරෙනවා. ඒ නිසා මනු කියවන්නාට අනාගතයේ රැකියාව නැති වෙනවා. නමුත්, මේ හරහා වඩා හොඳින් අපේ පද්ධතිය කළමනාකරණය වෙලා ජංගම දුරකථන පද්ධතියක වාගේ බිල ස්වයංක්‍රීයව ගෙදරට ලැබෙනවා.

(ii) මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයින් 9,806කට දුරස්ථව මනුකියවීම් ලබාගත හැකි ක්‍රමිත මනුරු (Programmable meters with remote reading facility) සවි කර ඇත. මෙම පාරිභෝගිකයින් ලංකා විදුලිබල මණ්ඩලයේ තොග පාරිභෝගිකයින් (Bulk Supply Customers) වේ. ලංකා විදුලි පුද්ගලික සමාගම මේ වන විට සවි කර ඇති සුහුරු මාපක (Smart Meters) සංඛ්‍යාව 2,900කි.

මේ වෙන කොට ලංකා විදුලිබල මණ්ඩලය විසින් Smart Meters  9,806ක් සවි කර තිබෙනවා. ඒ වාගේම, ලංකා විදුලි පුද්ගලික සමාගම සුහුරු මාපක 2,900ක් සවි කරලා තිබෙනවා. මේවා pilot projects වශයෙන් සවි කර තිබෙන්නේ. අනාගතයේ මුළු ලංකාවටම Smart Meters සවි කරන්න අප බලාපොරොත්තු වනවා.

(iii) ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් (Domestic Customers) සඳහා සුහුරු මනු (Smart Meters) සවි කිරීමේ නියාමන ව්‍යාපෘතියක් දැනට විදුලිබල මණ්ඩලය මඟින් ස්ථාපිත කර ඇති අතර, තවත් එවැනි

ව්‍යාපෘතීන් ස්ථාපනය කරමින් පවතී. එම ව්‍යාපෘතිවල ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සියලු පාරිභෝගිකයින් සඳහා සුහුරු මනු සවි කිරීමේ ක්‍රියාදාමය ඉතාමත් ඉක්මනින් සිදු කිරීමට අපේක්ෂා කරමි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-03-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks