01

E   |     |  

 දිනය: 2016-01-26   පිළිතුර ලබා දී ඇත 

0258/2016: ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගත ණය කරුවන්: සහන ලබා දීම

258/’15

 

ගරු ජයන්ත සමරවීර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද “මෛත්‍රීපාලනයක් සිය දිනකින් අලුත් රටක්” නමැති වැඩසටහනේ අංක 35 යටතේ, ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) අසාධු ලේඛනයට ඇතුළත්ව ණය උගුලේ හිරවී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් ඉන් මුදවා ගෙන ලිහිල් කොන්දේසි සහිතව ණය ගෙවීමට අවස්ථාවක් සලසා දෙන බවට පොරොන්දුවක් ලබා දී තිබූ බව එතුමා දන්නෙහිද?

(ආ) 2015.11.01 දින වනවිට එම වැඩසටහන යටතේ සහන ලබා දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සංඛ්‍යාව, එක් එක් බැංකුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ඇ) එම වැඩසටහන යටතේ ලිහිල් කොන්දේසි මත ණය ගෙවීමට අවස්ථාව සලසා දුන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ නම්, ලිපිනය සහ ලබාගෙන තිබූ ණය මුදල පිළිබඳ විස්තර වාර්තාවක් සභාගත කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-01-26

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)     1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත, සංශෝධිත, අනුව ණය තොරතුරු කාර්යාංශයේ කර්තව්‍ය වන්නේ, ආර්ථිකයේ සියලු අංශයන්ට සහ විශේෂයෙන්ම අවිධිමත් අංශයට ණය බෙදී යාම පහසු කරවීමේ අදහසින් යුතුව, ණය දෙන ආයතනවල ණය ගැනුම්කරුවන්ට ලබා දී ඇති ණය තොරතුරු රැස් කිරීම සහ සැසඳීමද, ඉල්ලීම මත කාර්යාංශයේ ණය දෙන ආයතන වෙත තොරතුරු සැපයීමද වේ.

           ඒ අනුව, ණය තොරතුරු කාර්යාංශය ණය අසාධු ලේඛන ගතකිරීම සිදු කරනු නොලැබේ. තවද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ සහ ණයපත් (Credit Card) හිමියන්ට ලිහිල් කොන්දේසි සහිතව ණය ආපසු ගෙවීමේ කාර්යයන් ණය තොරතුරු කාර්යාංශය මඟින් සිදු නොකෙරේ.

එහෙත් දැනට රාජගිරියේ පිහිටි ණය උපදේශන කාර්යාංශය තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ට සහ ණයපත් හිමියන්ට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම (loan rescheduling) සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන අතර, 2015 වසර තුළදී පහත ආකාරයෙන් ණය උපදේශන සේවා ලබා දී ඇත.‍

ණය පත් (Credit Card)- කාඩ් හිමියන් -  165

අනෙකුත් ණය- ණයකරුවන් -  375

මූල්‍ය සමාගම් - ණයකරුවන් -  165

ණය උපදේශන සේවා තවදුරටත් දීපව්‍යාප්ත කිරීම සඳහා  ශ්‍රි ලංකා මහ බැංකුව විසින් සිය පළාත් කාර්යාලයන් හිදී (මේ වන විට පළාත් කාර්යාල 06ක් ස්ථාපනය කර ඇත) මෙම සේවය ලබා දීමට 2016 වසරේදී තවදුරටත් ක්‍රියාත්මක වනු ලැබේ.

මේ සඳහා දැනටමත් එම පළාත්වලින් ණය උපදේශකවරුන් 25ක පමණ පිරිසක් බඳවා ගෙන ඇත.

(ඇ) නැත‍.

ණය උපදේශන සේවය මඟින් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපදෙස් ලබාගත් ණය හිමියන්ගේ පුද්ගලිකත්වයට අගතියක් සිදුවිය හැකි බැවින්, එසේ එම ණය හිමියන්ගේ පුද්ගලික තොරතුරු ලබා දීම සුදුසු නොවේ.

(ඈ) ණය උපදේශන සේවය මඟින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපදෙස් ලබා දුන් ණය හිමියන්ගේ තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමට ණය උපදේශන සේවය බැඳී සිටී.

 

පිළිතුරු දුන් දිනය

2016-01-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks