පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
202/’15
ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, වලව විශේෂ කලාපයේ ජීවත්වන ජනතාවට ඔවුන් ජීවත්වන භූමියේ නිසි අයිතිය පැවරී නොමැති බවත්;
(ii) පසුගිය සමයේ දේශපාලන හිතවත්කම් මත හිමිකම් පත්‍ර ලබාදී ඇති බවත්;
(iii) දැනට මෙම ඉඩම් හිමියන් සඳහා ඔප්පු ලබා දීමට යැයි පවසා ඉඩම් ඇස්තමේන්තුවක් සිදුකර ගෙන යන බවත්;
(iv) මෙම ක්‍රමවේදය තුළ විනිවිදභාවයක් නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම කලාපයට අයත් ඉඩම් හිමියන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතරින් මේ වනවිට හිමිකම් ඔප්පු ලබාදී ඇති ඉඩම් හිමියන් සංඛ්‍යාව කොපමණද;
(iii) උක්ත (අ)(ii) හි සඳහන් හිමිකම් පත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iv) උක්ත (අ)(iii) හි සඳහන් ඇස්තමේන්තුව සිදු කරන පදනම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) මේ වනවිට හිමිකම් ඔප්පු ලබා දී නොමැති ඉඩම් හිමියන්ට විනිවිදභාවයකින් යුතුව හිමිකම් ඔප්පු ලබා දීම සඳහා යෝජිත වැඩපිළිවෙළක් තිබේ නම්, එය කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-02
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, වලව විශේෂ කලාපයේ ඉඩම් සංවර්ධන ආඥා පනත හා රජයේ ඉඩම් ආඥා පනත යටතේ තෝරා ගන්නා ලද අයවලුන්ට එම ආඥා පනත්වල ප්‍රතිපාදන මත ඔවුන් ජීවත්වන භූමියේ නිසි අයිතිය ප්‍රදාන පත්‍ර (ඔප්පු) මඟින් පැවරීමට කටයුතු කරනු ලැබේ.
(ii) පසු ගිය සමයේ දේශපාලන හිතවත්කම් මත හිමිකම් පත්‍ර ලබා දී නොමැත.
(iii) වාර්ෂික ඉලක්කගත ප්‍රදාන පත්‍ර ලබා දීමේ වැඩසටහනට පරිබාහිරව ඉඩම් හිමියන් සඳහා ඔප්පු ලබා දීමට යැයි පවසා විශේෂයෙන් කිසිදු ඇස්තමේන්තුවක් සිදු කර නොමැත.
(iv) ඉඩම් ඔප්පු ලබා දීමේ ක්‍රමවේදය නිසි පරිදි ආඥාපනත්වල දක්වා ඇති පියවර අනුගමනය කරමින් සිදු කර ඇත.
(ආ) (i) වලව කලාපයේ ඉඩම් හිමියන් සංඛ්‍යාව 49,194ක් වන අතර, ඔවුන් වෙත බැහැර කර ඇති ඉඩම් කට්ටි සංඛ්‍යාව 62,417කි.
(ii) ඒ අතරින් මේ වන විට ඔප්පු ලබා දී ඇති ඉඩම් හිමියන් සංඛ්‍යාව 43,634ක් වන අතර, ඔප්පු ලබා දී ඇති ඉඩම් කට්ටි සංඛ්‍යාව 46,133කි.
(iii) ගොඩ හා වාරි ඉඩම් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රදාන පත්‍ර ලබා දීම සඳහා තෝරාගනු ලබන පුද්ගලයින් වෙත ඉඩම්වල භුක්තිය විධිමත්ව භාර දීමෙන් පසු ඉඩම් සංවර්ධන ආඥා පනතේ විධිවිධාන අනුව ගොඩ ඉඩමක් නම් අවුරුද්දක් හා වාරි ඉඩමක් නම් අවුරුදු 3ක් සංවර්ධනය කිරීමෙන් පසු ප්‍රදාන පත්‍ර (ඔප්පු) නිකුත් කිරීමට පියවර ගනු ඇත.
මිනින්දෝරු නිලධාරින් මඟින් සකස් කරනු ලබන කට්ටි කැඩීමේ සැලසුම ආශ්‍රයෙන් පළමුව ඉඩම් භුක්තිය භාර දීමෙන් පසුව විධිමත්ව ප්‍රදාන පත්‍ර නිකුත් කිරීම සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් එක් එක් ඉඩම් මැන මායිම් ගල් යොදා මූලික පිඹුරුපත් සකස් කිරීමට කටයුතු කරන අතර, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරු නිලධාරින්ගේ හිඟය හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉඩම් මැන මායිම් ගල් යොදා පිඹුරු සකස් කිරීමේ කටයුතු බලයලත් මිනින්දෝරුවන් මඟින් සිදු කරනු ඇත.
එම පිඹුරු මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපාර කාර්යාල වෙත ලද පසු ක්ෂේත්‍ර වාර්තා ලබා ගෙන ඉඩම්ලාභීන් කැඳවා පරීක්ෂණයක් පවත්වා ප්‍රදාන පත්‍ර ලබා දීම පිළිබඳව එම පරීක්ෂණයේදී තහවුරු කර ගැනීමකින් පසුව ප්‍රදාන පත්‍ර ලබා දීමට කටයුතු කරනු ලැබේ.
(iv) උක්ත (අ)(iii) හි සඳහන් ඉඩම් ඇස්තමේන්තු සකස් කිරීමක් සිදු කර නොමැති බැවින්, එය සිදු කළ පදනමක් ඉස්මතු නොවේ.
(ඇ) මේ වන විට හිමිකම් ඔප්පු ලබා දී ඇති ලබා දී නොමැති ඉඩම් හිමියන්ට විනිවිදභාවයකින් යුතුව හිමිකම් ඔප්පු ලබා දීම සඳහා යෝජිත වැඩ පිළිවෙළක් සකස් කර ඇති අතර, හිමිකම් ඔප්පු ලබා දීම කඩිනම් කිරීම සඳහා එක් එක් මහවැලි කලාප මට්ටමෙන් විශේෂ කාර්ය සාධන කමිටු පිහිටුවා, එමඟින් 2016 වසර තුළ හිමිකම් ඔප්පු ලක්ෂයක් ලබා දීමට වැඩසටහනක් දියත් කරනු ලැබේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks