04

E   |     |  

 දිනය: 2015-12-15   පිළිතුර ලබා දී ඇත 

0143/2015: ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය : විස්තර

143/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉහළ යන බවත්;

            (ii)      ඉදිරියේදී මෙම තත්ත්වය සමාජයට විශාල බලපෑමක් සිදු කරන බවත්;

           එතුමා දන්නෙහිද? 

(ආ)        (i)      ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 70ට වැඩි ජනගහනය කොපමණද; 

(ii) එම ජනගහනය ගැහැණු හා පිරිමි ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වැඩිහිටි ජනගහනය සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) උක්ත ජනගහනයෙන් විශ‍්‍රාම වැටුපක් හිමි පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(ii) විශ‍්‍රාම වැටුපක් නොමැති පිරිසගේ සුභසාධනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) (i) වැඩිවන වැඩිහිටි ජනගහනයෙහි ජීවන තත්ත්වය කළමනාකරණය කිරීමට සැලසුම් සකස් කර තිබේද;

(ii) එසේ නම්, එම සැලසුම් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-15

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සහ      (ii)      ඔව්.

(ආ)         (i)      969,374

                         (නවලක්ෂ හැටනවදහස් තුන්සිය හැත්තෑ හතරයි)

              (ii)      පිරිමි - 406,459

                         (හාරලක්ෂ හයදහස් හාරසිය පනස් නවයයි)

                         ගැහැනු - 562,915

                         (පන්ලක්ෂ හැටදෙදහස් නවසිය පහළොවයි)

             (iii)      12.4%

(ඇ)         (i)      272,815

(දෙලක්ෂ හැත්තෑදෙදහස් අටසිය පහළොවයි)

(ii) වැඩිහිටි සවියට ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව

වයස අවුරුදු 70 සම්පූර්ණ වූ මාසික ආදායම රු.3,000/-ට අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රු.2,000/-ක දීමනාවක් වැඩිහිටි සවිබලගැන්වීම් උදෙසා ලබා දේ.

මෙවර ලැබී ඇති මුදල මේ වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නැත. එම නිසා වැඩි මුදලක් ඉල්ලුම් කර ඇත.

ස්වයං රැකියා උත්පාදන ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිපාදන

2000 අංක 09 දරන පනතට අනුව වැඩිහිටියන්ගේ සුබ සාධනය හා ඔවුන්ගේ දිරිගැන්වීම් යන කාරණය මුල් කර ගනිමින් වයස අවුරුදු 60ට වැඩි මාසික ආදායම රු.5,000/-ට අඩු ස්වයං රැකියාවන්හි නිරත පුද්ගලයන් සඳහා උපරිමය රු.20,000/-ක ආධාරයක් එක් අයෙකුට එක් වරක් පමණක් ලබා දීමට කටයුතු කරනු ලැබේ.

ලැබුණු මුදල මිලියන 2යි.

මෙයද කිසිසේත් ප්‍රමාණවත් නැත. වැඩිපුර මුදලක් ඉල්ලා ඇත.

වැඩිහිටි ආවරණ කැපකරු වැඩසටහන

අසරණභාවයට පත් වැඩිහිටි මව්පියන්ගේ දෛනික මූලික අවශ්‍යතා හැකිතාක් දුරට ඉටු කිරීමට කැමැත්ත හා හැකියාව සහිත ත්‍යාගශීලී පුද්ගලයන් හා රාජ්‍ය නොවන සංවිධාන වෙත ඒ සඳහා අවස්ථාව සලසා දෙමින් එක් ප්‍රතිලාභියෙකුට මාසිකව රුපියල් 500ක් ලැබෙන පරිදි පරිත්‍යාග ලබාදීමට අවස්ථාව සලසා දී ඇත.

මෙම වැඩ පිළිවෙළද එතරම් සාර්ථකව ක්‍රියාත්මක නොවේ. ඉදිරි කාලයේදී දිවිනැඟුම සංවර්ධන නිලධාරින් හා කළමනාකරුවන්ගේද ආධාර ඇතිව මෙය වඩාත් ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වෙමි.

(ඈ)  (i)  ඔව්.

        (ii)  විශ්වීය විශ්‍රාම වැටුපක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම.

වයස අවුරුදු 60ට වැඩි විශ්‍රාම වැටුපක් නොලබන වැඩිහිටියන් උදෙසා සෞඛ්‍ය රක්ෂණ ආවරණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සමාජ ආරක්ෂණ මණ්ඩලය හා ඒකාබද්ධ වී ලබාදීමට සැලසුම් කරමින් පවතී.

සමාජ ආරක්ෂණ මණ්ඩලයද දැනට අකාර්යක්ෂම හා අලාභදායී ආයතනයකි. එය ඉදිරියේදී දිවිනැඟුම සංවර්ධන නිලධාරින්, කළමනාකරුවන් හා සමාජ සේවා නිලධාරින් යොදවා දියුණු කිරීමට බලාපොරොත්තු වේ.

මේ යටතේ විශේෂ රක්ෂණාවරණයක් සැලසුම් කර ඇත.

(ඉ)  ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2016-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks