පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
86/’15
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) තේ දළු මිල සීඝ්‍රයෙන් පහත බැසීම නිසා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය බරපතල අර්බුදයක් කරා යොමු වීම හේතුවෙන් විශේෂයෙන් කුඩා තේ වතු හිමියන් දරුණු ආර්ථික අර්බුදයකට ලක් වී ඇති බවත්;
(ii) වර්තමානයේ අමු තේ දළු කිලෝවක් සඳහා ගෙවනු ලබන මිල රු.54/= දක්වා පහත බැස ඇති බවත්;
(iii) අමු තේ දළු කිලෝවක් සඳහා ගෙවන මිල රු.50/= දක්වා අඩු වුවහොත්, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්ත ශාලා සියල්ල වැසීයාමේ අවදානමක් පවතින බවත්; සහ
(iv) පසුගිය මැතිවරණ ප්‍රකාශනයෙන් අමු තේ දළු සඳහා රු.80/=ක සහතික මිලක් ලබා දෙන බව සඳහන් කළද දැනට එය ක්‍රියාත්මක නොවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මේ අර්බුදය නිසා පසුගිය මාසය ඇතුළත වසා දමා ඇති තේ කම්හල් පිළිබඳව වාර්තාවක් එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) මෙලෙස තේ කර්මාන්තය අනතුරක් වෙත ළඟා වීම සඳහා බලපෑ සහ මේ මොහොතේද බලපාන හේතු කවරේද; සහ
(ii) තේ වතු හිමියන්, කර්මාන්තශාලා හිමියන් සහ ඒ ආශ්‍රිත රැකියා කරනු ලබන දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකගැනීම සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේනම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-03
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝග්‍රෑමයක මිල 2014 ජනවාරි මාසයේ සිට 2015 ඔක්තෝබර් 08 දක්වා පහත බැස ඇති අතර, එදින සිට නැවත මිල ඉහළ යාමට පටන් ගෙන ඇත. 2015.10.28 දින වෙන්දේසියේදී පහත රට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 419.71 ක් වී ඇත. 2015 ඔක්තෝබර් මාසයේ තේ කිලෝවක් සඳහා ලැබී ඇති සාමාන්‍ය අගය රුපියල් 390.13කි. ඒ අනුව කුඩා තේ වතු හිමියා වෙත තේ දළු කිලෝවක් සඳහා ලැබෙන මිල රුපියල් 57.05ක් පමණ වේ. තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශයට අනුව අමු තේ දළු කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 54.54ක් පමණ වේ. 2015 මාර්තු සිට අගෝස්තු දක්වා සහතික මිලක් කුඩා තේ වතු හිමියන්ට ලබා දුන් නිසා මෙවැනි අර්බුදකාරි තත්ත්වයකට පත්ව නොමැත. ඔක්තෝබර් මස සිට තේ මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ඇත. එමෙන්ම තේ මිල යම් නිශ්චිත අවම මට්ටමක පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන්ද සැලසුම් කරමින් පවතී.
(ii) වර්තමානයේ අමු තේ දළු කිලෝවක් සඳහා ගෙවිය හැකි මිලෙහි සාමාන්‍ය අගය රුපියල් 54ක් දක්වා අඩු වී නොමැත. වර්තමානයේ අමු තේ දළු කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 57.05කි.
(iii) 2015 ඔක්තෝබර් මස 08වන දින සිට කොළඹ තේ වෙන්දේසියේ මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින්, අමු තේ දළු කිලෝවක් සඳහා ගෙවනු ලබන මිල රුපියල් 50 දක්වා අඩු වීමේ අවදානමක් නොපවතින බැවින් තේ කර්මාන්තශාලා සියල්ල වැසී යාමේ අවදානමක් නොපවතී.
(iv) ඔව්.
2015 අගෝස්තු මාසය දක්වා අමු තේ දළුවල ගුණාත්මක බව මත තේ දළු කිලෝවකට රුපියල් 73, රුපියල් 75 සහ රුපියල් 80 යන කාණ්ඩ යටතේ සහතික මිල ගෙවා ඇති අතර, 2015 මාර්තු සිට අගෝස්තු දක්වා රුපියල් බිලියන 6.64ක් වැය කර ඇත. තේ මිල යම් අවම මට්ටමක පවත්වා ගැනීමට විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතී.
(ආ) තේ මිල පහළ යාම හේතුවෙන් පසු ගිය මාසය ඇතුළත කිසිදු කම්හලක් වසා දමා නොමැත. තම නිෂ්පාදන වියදම අවම කර ගැනීමේ අරමුණින් වතු සමාගම් යටතේ පාලනය වන තේ කර්මාන්තශාලා කිහිපයක් එක්ව දළු මිලදී ගෙන තේ නිෂ්පාදනය සඳහා කටයුතු කර ඇත.
(ඇ) (i) රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක පැනවීම සහ රූබලයේ අගය අවප්‍රමාණය වීම නිසා රුසියාවෙන් තේ සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස පහත යාම හා රුසියාව සමඟ ඩොලර්වලින් ගනුදෙනු කිරීමට ඇති බාධාවන්;
ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක සම්පූර්ණයෙන් ඉවත් වී නොතිබීම නිසා ඉරානය සමඟ සෘජු වෙළෙඳ ගනුදෙනු අපහසු වීම;
සිරියාව සහ ඉරානය ඇතුළු මැද පෙරදිග රටවල යුදමය තත්ත්වය නිසා එම රටවල තේ අපනයනය කිරීමට බාධා ඇති වීම;
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යාම නිසා සමස්තයක් වශයෙන් මැද පෙරදිග සහ රුසියාවේ තේ මිලට ගැනීමේ හැකියාව අඩු වීම.
(ii) තේ කර්මාන්තශාලා සඳහා කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයක් දැනට ක්‍රියාත්මක කරමින් පවතී. මෙම ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් බිලියන 12.9ක් ඇස්තමේන්තු කර ඇති අතර, පොලී අනුපාතිකය සියයට 8කි. මේ යටතේ සියයට 2ක වාර්ෂික පොලී සහනාධාරයක් වසර දෙකක කාලයක් සඳහා ලබා දීමට නියමිත වේ. පොලී සහනාධාරය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව දැරීමට සිදු වන වියදම රුපියල් මිලියන 258කි. මේ යටතේ තේ කර්මාන්තශාලා 470කට රුපියල් බිලියන 10ක් පමණ ණය මුදලක් සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.
තවදුරටත් වෙන්දේසියේ තේ මිල පහළ යාම වැළැක්වීම සඳහා මැදිහත්වීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතී.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-11-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks