පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
67/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කෘෂිකර්මාන්තය සඳහා කෘෂි රසායන හා පොහොර භාවිතා කිරීම සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පරිසර විනාශය නිසා ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර අපවිත්‍ර වී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාව තුළ ජනතාවගේ පරිභෝජනයට නුසුදුසු ජලය සහිත ගංගා, වැව් හා අනෙකුත් ජල මූලාශ්‍ර පිළිබඳ සමීක්ෂණයක් කර තිබේද;
(ii) එසේ නම්, ජලය දූෂණය වී ඇති ප්‍රධාන ජල මූලාශ්‍ර කවරේද;
(iii) එම ස්ථාන පරිභෝජනයට සුදුසු පරිදි පිරිසිදු කිරීමට ගෙන ඇති පියවර කවරේද;
(iv) ඉදිරි කාලයේදී ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-10
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) කෘෂි කර්මාන්තයේදී විශාල ලෙස රසායනික පොහොර භාවිත කරනු ලබයි. විශේෂයෙන්ම, මධ්‍යම කඳුකරයේ තේ හා අනෙකුත් වගාවන් සඳහා සහ වී වගා කටයුතු සඳහා, පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය විශාල ලෙස භාවිත කරන අතර, ඒවා වර්ෂා ජලය සමඟ ජල මූලාශ්‍ර වෙත පැමිණේ. ඒ හේතුවෙන් ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමේ හැකියාව පවතී.
(ආ) (i) හා (ii) මේ දක්වා මධ්‍යම පරිසර අධිකාරිය මඟින් පානීය ජලය සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නොමැති අතර, තොරතුරු අවශ්‍ය අවස්ථාවන්හිදී ඒ සඳහා වගකීම දරන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සම්බන්ධ කර ගනී.
එහෙත් දැනට මධ්‍යම පරිසර අධිකාරිය මඟින් පහත සඳහන් කර ඇති රට අභ්‍යන්තර ජලාශ සම්බන්ධව ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ නිරන්තර පසුවිපරම් කටයුතු සිදුකරමින් පවතී.
* කැලණි ගඟෙහි ජල නියැදි විශ්ලේෂණය 1994 වර්ෂයේ සිට මේ දක්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේද සහාය ඇතිව තෝරා ගත් ස්ථාන 12ක් ආශ්‍රිතව මාසිකව සිදු කරන අතර, 2016 වර්ෂයේ සිට මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගඟෙහි ඉහළ ජලාධාර ප්‍රදේශ දක්වා විශ්ලේෂණ කටයුතු ව්‍යාප්ත කරමින්, දැනට ස්ථාන 17ක් ආශ්‍රිතව ජල නියැදි විශ්ලේෂණයන් මාසිකව සිදු කරයි.
* මීට අමරතව බෙන්තොට ගඟෙහි ස්ථාන 06ක්, මා ඔයෙහි ස්ථාන 08ක් හා මහවැලි ගඟේ තෝරා ගත් ස්ථානවල ජල නියැදි විශ්ලේෂණ සිදුකරයි. තවද, බදුල්ල දිස්ත්‍රික්කයේ බදුලු ඔය හා මොණරාගල දිස්ත්‍රික්කයේ මැණික් ගඟෙහිද ජල නියැදි විශ්ලේෂණය සිදු කරනු ලබයි.
* දියවන්නා ඔයෙහි ඇති පාරිසරික සංවේදීතාව සැලකිල්ලට ගෙන 2017 වර්ෂයේ සිට එම ජලාශයේ ජලයේ තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා දියවන්නාවේ ස්ථාන 08ක ජල තත්ත්ව විශ්ලේෂණ ආරම්භ කර ඇත.
ඉහත දත්ත අනුව, විශ්ලේෂණ කටයුතු සිදු කරනු ලබන ජලාශවල රසායනික පරාමිතීන් නියමිත ප්‍රමිතීන්ගේ පැවතියද එම ජලාශ මල අපද්‍රව්‍ය මඟින් අපවිත්‍ර වී ඇති බව සනාථ වේ.
(iii) ජලාශ පිරිසිදු කිරීම මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකර නොමැති අතර, දූෂකාරක එකතුවීම පාලනය කිරීම සඳහා ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව අවශ්‍ය පියවර ගෙන ඇත. ඒ අනුව බොල්ගොඩ ගඟ, ග්‍රෙගරි වැව, තලංගම වැව සහ මහවැලි ගඟෙහි වරාතැන්න/හක්කිඳ ප්‍රදේශය පරිසර ආරක්ෂණ ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීම මඟින් එම ප්‍රදේශයන්හි සංවර්ධන ක්‍රියාකාරකම් පාලනය කර ජලාශ ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කර ඇත.
තවද, කාර්මික කටයුතුවලින් බැහැර කරනු ලබන අපජලය ප්‍රමිතීන්ට අනුකූලව පිරිපහදු කර මුදා හැරීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාකාරකමක් ලෙස පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලබයි.
එසේම ගෘහාශ්‍රිත අපජලය කළමනාකරණය කිරීම සඳහා අදාළ පළාත් පාලන ආයතනවලට දන්වා යවා ඇති අතර, අවශ්‍ය පසුවිපරම් කටයුතු සිදු කරනු ලබයි.
(iv) ඉදිරි කාලයේදී ජල මූලාශ්‍ර අපවිත්‍රවීම වැළැක්වීමට ගෙන ඇති පියවර.
* මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනටමත් කෙටුම්පත් සකස් කර ඇති සංරක්ෂණ ජල තත්ත්ව රෙගුලාසි මඟින් පවතින ජල ප්‍රභවයන් ප්‍රයෝජනයට ගනු ලබන අවශ්‍යතාව (එනම්, බීමට, නෑමට, ජල ජීවීන්ගේ පැවැත්මට) අනුව වර්ග කරනු ලබන අතර, ඉදිරියේදී එම රෙගුලාසි මත පදනම්ව ශ්‍රී ලංකාවේ ගංගා ජලය හැකිතාක් දුරට විශ්ලේෂණය කිරීමත් ඊට සමගාමීව දූෂණයට ලක් වී ඇති ගංගා හා ජල ප්‍රභව, පළාත් පාලන ආයතන හා අනෙකුත් අදාළ ආයතන හා එක්ව ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
* කර්මාන්ත ස්ථානගත කිරීමේදී පාරිසරික නිර්දේශය අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කිරීම මඟින් ජල මූලාශ්‍ර ආශ්‍රිතව හා අනෙකුත් නුසුදුසු ස්ථානවල කර්මාන්ත ස්ථානගත කිරීම වළක්වාලීම.
* බදුල්ල දිස්ත්‍රික්කයේ තේ වතු ඉඩම්වල පිහිටි ජල මූලාශ්‍ර සහ ජල පෝෂක ප්‍රදේශ පරිසර ආරක්ෂණ ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීම.
ඉහත සඳහන් කර ඇති ක්‍රියාමාර්ග සහ නිරන්තර පසුවිපරම් කටයුතු මඟින් සියලු ජල දේහයන් ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනු ලැබේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2018-08-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks