01

E   |     |  

 දිනය: 2015-04-23   පිළිතුර ලබා දී ඇත 

5932/2015: සංස්කෘතික නිලධාරින් සහ සංස්කෘතික සංවර්ධන සහකාරවරුන් : විස්තර

5932/’15

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      දැනට ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංස්කෘතික නිලධාරීන් සහ සංස්කෘතික සංවර්ධන සහකාරවරුන් සංඛ්‍යාව කොපමණද;

(ii) රාජ්‍ය සේවයේ අනෙකුත් නිලධාරීන්ට හිමි උසස්වීම් එම පිරිසට ද අදාළ වන්නේද;

(iii) එසේ නම්, උසස්වීම් ලබාදීමට අදාළ සේවා කොන්දේසි කවරේද;

(iv) එම නිලධාරීන්ට උසස්වීම් ලබාදීම අදාළ නොවන්නේ නම්, ඔවුන් විශ්‍රාම යන අවස්ථාවේ දරනු ලබන තනතුර දැනට දරන තනතුරම වන්නේද;

(v) එම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අදාළ කැබිනට් අනුමතිය මීට පෙර ලැබී තිබේද;

(vi) එසේ නම්, එම අනුමතිය ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;

(vii) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 6/2006 යටතේ සහකාර සංස්කෘතික නිලධාරී තනතුරු මේ වන විට අහෝසි කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-23

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(ආ)         (i)      සංස්කෘතික නිලධාරින් 70ක් හා සංස්කෘතික සංවර්ධන සහකාරවරුන් 225ක් සේවයේ නිරතව සිටී.

              (ii)      ඔව්.

            (iii)      සංවර්ධන නිලධාරි සේවය සඳහා අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ කරන ලද නිලධාරින් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබන එම අන්තර්ග්‍රහණ ක්‍රියාවලියෙන් පසු iii ශ්‍රේණියේ වසර 10ක සතුටුදායක සේවා කාලය මත ii ශ්‍රේණිය සඳහාද,  ii ශ්‍රේණියේ වසර 10ක සතුටුදායක සේවා කාලය මත i ශ්‍රේණිය සඳහා ද උසස්වීම් ලැබේ.

සංවර්ධන නිලධාරි සේවය සඳහා අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ නොකරන ලද නිලධාරින් සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සකස් කරනු ලබන උසස්වීමේ පටිපාටියකට අදාළව ද, iii ශ්‍රේණියේ වසර 10ක සතුටුදායක සේවා කාලය මත ii ශ්‍රේණිය සඳහා ද, ii ශ්‍රේණියේ වසර 10ක සතුටුදායක සේවා කාලය මත i ශ්‍රේණිය සඳහා ද උසස්වීම් ලැබේ.

(iv) උසස්වීම් අදාළ වේ.

(v) කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

(vi) සංවර්ධන නිලධාරි සේවය සඳහා අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ කරන ලද නිලධාරින් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන එම අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය අවසන් නොවීම.

එම සේවය සඳහා අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ නොකරන ලද නිලධාරින් සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සකස් කරන ලද උසස් වීමේ පටිපාටිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් අනුමත කර ගැනීමේ කටයුතු මෙතෙක් අවසන් නොවීම.

(vii) සහකාර සංස්කෘතික නිලධාරි නමින් තනතුරක් මෙම අමාත්‍යාංශයේ නොමැත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks