01

E   |     |  

 දිනය: 2015-04-21   පිළිතුර ලබා දී ඇත 

5913/2015: සංවර්ධන නිලධාරින් : රාජකාරිය අත්හිටුවීම

5913/’15

 

ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික                   කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)       ආර්ථික සංවර්ධන, ඵලදායිතා ප්‍රවර්ධන ඇතුළු එවකට පැවති අමාත්‍යාංශ කිහිපයක් අහෝසි කර එම අමාත්‍යාංශයන්ට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරීන් ඉටු කළ කාර්යයන් අත්හිටුවා ඇති බවත්;

(ii) එබැවින් එම නිලධාරීන් දහස් ගණනක් මේ වන විට කිසිදු රාජකාරියක් නොමැතිව සිටින බවත්;

  (iii) ඔවුන්ට කාර්යාල පවත්වාගෙන යෑමට  රජයෙන් ලබා දී තිබූ දීමනාවද මේ වන විට අහෝසිකර ඇති බවත්;

(​iv) එම හේතුවෙන් බදු පදනම මත භාවිතා කළ කාර්යාල ගොඩනැගිලිවලින්   ඉවත්වීමට සිදුවී ඇති බවත්;

(​v) එබැවින් එම කාර්යාලවලට ලබා දී තිබූ රජයේ දේපළ අනාරක්ෂිත තත්ත්වයකට පත්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත (අ) හි සඳහන් කරුණු සම්බන්ධයෙන් ගනු ලබන  පියවර කවරේද;

(​ii) ඉහත සඳහන් අමාත්‍යාංශයන්හි දැනට සේවය කරන සංවර්ධන නිලධාරීන් සහ බඳවා ගත් උපාධිධාරීන් විධිමත් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කොට උසස්වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බවට දින 100 වැඩසටහනෙහි සඳහන් පොරොන්දුව පරිදි එම නිලධාරීන් දින 100 ඇතුළතදී  ඵලදායී කාර්යයක යොදවන්නේද;

(​iii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-21

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         සංවර්ධන නිලධාරින්ගේ කාර්යයන් අත්හිටුවා නැත.

             (ii)        දැනටමත් නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය යටතේ  දිවයිනේ ගම්මාන 36,822 ක  දොරින් දොරට, ගමින් ගමට ගම් නඟා සි‍ටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු වෙමින් පවතිනවා. එහිදී වසමේ ආගමික නායකයින්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්, ප්‍රජාමූල සංවිධාන නායකයින්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත  කමිටුවක් ග්‍රාම සේවා වසමේ  රාජකාරි කරනු ලබන සංවර්ධන නිලධාරි ලේකම්  තනතුර දරමින් මෙම සංවර්ධන ව්‍යාපෘති තෝරා ගෙන ප්‍රමුඛතාගත කිරීමේ සම්බන්ධීකරණ කටයුත්තක් කර ගෙන යනවා.

ඒ අනුව මෙම වැඩසටහන  යටතේ  වසම තුළ ක්‍රියාත්මක කිරීම සඳහා  හඳුනා ගනු ලබන ව්‍යාපෘති නිර්දේශ කිරීමේ ප්‍රධාන වගකීම සංවර්ධන නිලධාරියාට පැවරී තිබෙනවා.

එමෙන්ම මෙම ව්‍යාපෘති හා දේශීය අරමුදල් මෙන්ම විදේශ අරමුදල් යටතේ වසම තුළ ක්‍රියාත්මක වන සියලු සංවර්ධන වැඩසටහන් පිළිබඳව අධීක්ෂණය සහ පසුවිපරම සංවර්ධන නිලධාරියාට පැවරේ.

(iii), (iv) සංවර්ධන නිලධාරින් සඳහා වැටුප් සහ අනෙකුත් දීමනාවලට අදාළ ප්‍රතිපාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ 2015 වර්ෂයට අය වැයෙන් වෙන් වූ අතර එම වැය ශීර්ෂ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පවරා ඇති බැවින් ඊට අදාළ ප්‍රතිපාදන එම අමාත්‍යාංශය මඟින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දෙනු ඇත.

(v) සංවර්ධන නිලධාරින්ගේ කාර්යාලවලට ලබා දී තිබූ භාණ්ඩ ප්‍රාදේශීය ලේකම්ගේ භාණ්ඩ ලේඛනයට ඇතුළත් වී ඇති අතර ස්ථාන මාරුවීම් ලබන නිලධාරින් එම භාණ්ඩ ප්‍රාදේශීය ලේකම් වෙත සුරක්ෂිතව භාර දීමත්, දැනට වසම්වල සේවය කරනු ලබන සංවර්ධන නිලධාරින් ඒවා ආරක්ෂිතව පරිහරණය කිරීමත් සිදු වේ.

(ආ) (i) ඉහත (අ) (i) සහ (ii) කරුණු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පහත පරිදි වේ.

ග්‍රාමීය මට්ටමේ, බිම් මට්ටමේ රාජකාරි කටයුතු ඉටු කරන රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු සිටී. දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ කටයුතු සෘජුවම දිවි නැඟුම සංවර්ධන නිලධාරියාට පැවරෙන අතර, නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ අරමුණ අනුව ග්‍රාමීය හා ප්‍රාදේශීය සංවර්ධන නව වැඩ පිළිවෙළක් හා කාර්යභාරයක් සැලසුම් කර ඇත.

මෙහිදී මෙම අමාත්‍යාංශයේ සෘජු නිලධාරියා ලෙස සංවර්ධන නිලධාරින් හට වගකීම් පැවරේ. මෙමඟින් පෙර පැවැති තත්ත්වයට වඩා ඉහළ තෘප්තිකර මෙන්ම ගෞරවනීය තත්ත්වයක් මෙම නිලධාරින්ට ලබා දීම අපේක්ෂා කෙරේ.

ඒ අනුව සංවර්ධන නිලධාරින්ගෙන් අපේක්ෂා කරනු ලබන රාජකාරින්:

1. ග්‍රාමීය සංවර්ධනයට අදාළ ව්‍යාපෘති හඳුනා ගැනීම, සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය, පසු විපරම, කළමනාකරණය හා නඩත්තුව සඳහා ජනතා සහභාගීත්වය ලබා ගැනීමට කටයුතු කිරීම හා ව්‍යාපෘති යෝජනා නිර්දේශ කිරීමේ නියමුවා ලෙස කටයුතු කිරීම.

2. ගම සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළේදී සියලුම දේශීය හා විදේශීය ව්‍යාපෘතිවල සම්බන්ධීකරණ කාර්යන් සිදු කිරීම.

3. සංවර්ධන වැඩසටහනට අදාළ ගැටලු හඳුනා ගැනීම හා ඒවාට විසඳුම් ලබා දීම සඳහා අදාළ ආයතන සමග සම්බන්ධීකරණය කිරීම.

4 .රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණයේ දී එම ආයතනවලින් සපයන සේවාවන් වසමට / ප්‍රතිලාභින්ට ලබා ගැනීම.

5. ප්‍රජා මූල සංවිධාන විසින් කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සඳහා මාර්ගෝපදේශ සැපයීම.

6. ප්‍රජා මූල සංවිධාන සමග ඒකාබද්ධව වැඩසටහන් සැකසීම, ක්‍රියාත්මක කිරීම හා ඒ සඳහා අවශ්‍ය කටයුතු අදාළ ආයතන සමග සම්බන්ධව කටයුතු කිරීම.

7. ගැටලු හඳුනා ගැනීම හා වසමේ පොදු කටයුතුවලදී නායකත්වය ගෙන කටයුතු කිරීම.

8. හදිසි ආපදා අවස්ථාවලදී අවශ්‍ය සේවාවන් ලබා දීම.

9. ඉදිරියේදී සිදු විය හැකි ගැටලු හෝ ආපදා තත්ත්වයන් හඳුනා ගෙන ඒවා වළක්වා ගැනීමට සුදුසු වැඩ පිළිවෙළක් යෙදීම.

 10. ගමේ ප්‍රශ්න හඳුනාගෙන එම ගැටලු ජනතාව සමග සහයෝගයෙන් සහ සහජීවනයෙන් සාකච්ඡා කර විසඳුම් ලබා දීම.

 11. දිළිදු හා අසරණ ප්‍රජාව හඳුනා ගැනීම හා ඒ අය සමාජ සුභසාධක වැඩසටහන්වලට සම්බන්ධ කිරීම.

 12. සමාජ හා ආර්ථික විෂමතාවන්වලට ලක්ව ඇති ජන සමූහ හඳුනා ගැනීම, ඔවුන් සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම හා ඔවුන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ සැලසීම.

 13. ආගමික හා සංස්කෘතික කටයුතුවලට සම්බන්ධ වීම හා සහාය වීම, නායකත්වය ලබා දීම, මඟ පෙන්වීම හා එම කටයුතු ක්‍රියාත්මක කිරීමට දායක වීම.

(ආ) (ii), (iii)

මෙම කාර්ය මෙම අමාත්‍යාංශයට අදාළ නොවන අතර, එය රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශයට අදාළ කාර්ය භාරයක් වේ. එසේ වුවද අදාළ වෘත්තීය සමිති සමග මෙම අමාත්‍යාංශයේ මැදිහත් වීම යටතේ සාකච්ඡා පවත්වා නිර්දේශ ඉදිරිපත් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks