01

E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

4823/2015: නාවික හමුදාව කුලී පදනම මත ලබා ගත් වාහන: පෞද්ගලික පරිහරණය

4823/’14

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කුලී පදනම මත ලබා ගත් වායු සමනය කළ සුඛෝපභෝගී වාහන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා  යොදා ගන්නා බවත්;

(ii) එම වාහන සඳහා ඉන්ධන රජයෙන් ලබා ගන්නා බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) කුලී පදනම මත ලබා ගත් සුඛෝපභෝගී වාහන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ එකඟතාවය ලබා දී තිබේද;

(ii) නොඑසේ නම්, එම වාහන පරිහරණය පිළිබඳව පරීක්ෂණයක් සිදු කර තිබේද;

(iii) එම පරීක්ෂණයේ ප්‍රතිඵල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී  වාහන  ලෙස  සැලකිය යුතු වාහන නොමැත. නමුත්  ශ්‍රී ලංකාව  නාවික  හමුදාව විසින්  වායු සමනය කළ වාහන  නාවික හමුදා රාජකාරි සඳහා යොදා ගන්නා අතර, මෙම වාහන  රාජ්‍ය පරිපාලන  චක්‍රලේඛ 22/99 හා 22/99 (VIII)  අනුව සුදුසුකම්  ලබන  නිලයන් දරන නිලධාරින්  සඳහා  පමණක් පෞද්ගලික පරිහරණය සඳහා අවසර ලබා දී ඇත.

  (ii)   මෙම වාහන පෞද්ගලික  පරිහරණය සඳහා යොදා ගැනීමේදී අවශ්‍ය ඉන්ධන නාවික හමුදා අභ්‍යන්තර විධිවිධාන යටතේ සපයනු ලබන අතර, ඒ වෙනුවෙන් වෙනත් දීමනාවක් ලබා නොදෙයි.  ඊට වැඩි වන සෑම කිලෝමීටරයක් සඳහාම රජයේ අනුමත  ගාස්තු  අනුව කරන ලද ගණනය කිරීමට  අනුව  අදාළ නිලධාරින්ගෙන්  ඉන්ධන වියදම අය කර ගනු ලැබේ.

(ආ) (i)    කුලී පදනම මත ලබා ගෙන ඇති වාහන සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පෞද්ගලික පරිහරණය සඳහා ‍ලබා දෙනුයේ ඉහත (අ)(i)  හා   (ii) හි සඳහන්  චක්‍රලේඛ හා  අභ්‍යන්තර  විධිවිධාන අනුව වේ.

(ii)   අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2015-06-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks