01

E   |     |  

 දිනය: 2015-03-06   පිළිතුර ලබා දී ඇත 

4589/2015: රට විරුවන්ට විශ්‍රාම වැටුප්: ක්‍රමවේදය

4589/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)      විදේශීය රටවල රැකියා සඳහා ගොස් සිටින රට විරුවන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා 2010 ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ බව එතුමිය දන්නෙහිද?

(ආ)        (i)       එසේ නම්, රට විරුවන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

(ii) රට විරුවන් සඳහා විශ්‍රාම වැටුප ලබාදීමේදී රට විරුවන්ගෙන්, රැකියා ආයතනයෙන් සහ රජය මඟින් දායකත්වය දරනු ලබන ආකාරය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම විශ්‍රාම වැටුප ලෙස මාසිකව ලබාදීමට අපේක්ෂිත මුදල ‍කොපමණද;

(iv) විදේශ රැකියාවල නියුතුවූවන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෝකයේ වෙනත් රටවල් කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)        (i)      විගමනික ශ්‍රමිකයින් සඳහා 2010 ජනාධිපතිවරණයේදී දීපු පොරොන්දුව ගැන මට කිසි දෙයක් කියන්න බැහැ. නමුත් 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දින සියයේ වැඩ පිළිවෙළ යටතේ විගමනික ශ්‍රමිකයින් සඳහා යෝජිත මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය දැන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

ඒ සඳහා මූලික වූ සමාජ ආරක්ෂණ අරමුදලක් හාම්පුතුන් සහ විගමනික සේවක දායකත්වයෙන් හා රජයේ දායකත්වය මත ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති අතර, දැනට කාර්යාංශයේ ලියා පදිංචි වී රැකියා සඳහා පිටව ගොස් ඇති බෙහෙවින්ම අවදානම් සහගත තත්ත්වයට පත් කාන්තා ගෘහ සේවිකාවන් සහ නුපුහුණු සේවකයන් සියයට 55ක් පමණ මීට අනුගත කර ගැනීමට  අපේක්ෂිතය.

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රමවේදය නිර්ණය කිරීම සඳහා සහ අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පහත සඳහන් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

- විදේශ රැකියා අමාත්‍යාංශයේ නියෝජිතයෙකු

- මහා භාණ්ඩාගාර නියෝජිතයෙකු

- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු

- ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයෙකු

- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජිතයෙකු

- බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්සිකරුවන්ගේ සංගමයේ නියෝජිතයෙකු

- රටවිරුවෝ සංවිධානයේ නියෝජිතයෙකු

(ii) මේ සම්බන්ධව යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුව වෙත ඉදිරිපත් කරන අතර, කමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩල‍යේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ප්‍රකාශයට පත් කරනු ඇත.

(iii) මෙම මුදල පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් පසු ප්‍රකාශ කළ හැක.

(iv) ඉන්දියාව සහ පාකිස්තානය

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-06-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks