04

E   |     |  

 දිනය: 2014-03-04   පිළිතුර ලබා දී ඇත 

4220/2014: ශ්‍රී ලංකා විනිශ්චයකරුවන්ගේ ආයතනය : විස්තර

4220/’13

 

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)        (i)      ශ්‍රී ලංකා විනිශ්චයකරුවන්ගේ ආයතනයේ පූර්ණකාලීනව සේවයේ යෙදෙන සංඛ්‍යාව කොපමණද;

            (ii)      2010, 2011 සහ 2012 යන එක් එක් වර්ෂයේ දී එම ආයතනය විසින් වැයකළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  ශ්‍රී ලංකාව තුළ විනිශ්චයකරුවන්ගේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් ආයෝජනයක් සිදුකර තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ඉන්දියාව, මලයාසියාව වැනි රටවල පවතින ආකාරයේ විශ්වවිද්‍යාල මට්ටමේ විනිශ්චයකරුවන් පුහුණු කිරීමේ ආයතනයක් ආරම්භ කිරීමට ගරු අතාවුද සෙනෙවිරත්න අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යධූරය දරන කාලයේ තීරණයක් ගෙන තිබු බව දන්නේද;

  (ii)  විශ්වවිද්‍යාල මට්ටමේ විනිශ්චයකරුවන් පුහුණු කිරීමේ ආයතනයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම සඳහා වන අදහස පිළිබඳව එකඟ වන්නේද;

  (iii)  එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)    නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-04

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය 1985 අංක 46 දරන පනතින් පිහිටුවන ලදී. එම පනතට අනුව මෙම ආයතනය, ගරු අග්‍රවිනිශ්චයකාරතුමා සහ අතිගරු ජනාධිපතිතුමා විසින් පත්                  කරන ශ්‍රේෂ්ඨාධිකරණ ගරු විනිශ්චයකාරවරයන් දෙදෙනෙකු ඇතුළත් සාමාජිකයන් තිදෙනෙකුගෙන් සැදුම් ලත් කළමනාකරණ මණ්ඩලයක් මගින් පාලනය වේ. ගරු අග්‍රවිනිශ්චයකාරතුමා මණ්ඩලයේ සභාපති ධුරය දරන අතර, ආයතනයේ පරිපාලනය සහ කළමනාකරණය, කළමනාකරණ මණ්ඩලයට පවරා තිබේ. අධ්‍යක්ෂවරයා, අධ්‍යයන සම්බන්ධීකාරකවරයා සහ උපදේශකවරයා මෙම ආයතනයේ පූර්ණ කාලීනව සේවයේ නිරතව සිටිති. මෙම තැනැත්තන් තිදෙනාට අමතරව කළමනාකාර සහකාරවරුන් සිව් දෙනෙක්, සුළු සේවකයන් දෙදෙනෙක් සහ රියැදුරුවරයෙක් ද සේවය කරති.  මේ අනුව ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලය දසදෙනෙකි.

(ii) වියදම

වර්ෂය

  වියදම රුපියල්වලින්

2010

  6,549,446.15

2011

  5,450,783.12

2012

  6,714,874.85

 

(iii) ඔව්.

අධිකරණ  නිලධාරින් අතර අධිකරණමය සහ නීතිමය ගැටලු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම, අධිකරණ  නිලධාරින්ගේ දැනුම, කුසලතාව, වෘත්තිමය අත්දැකීම්  වැඩිදියුණු කිරීමට දේශන, වැඩමුළු සහ  සම්මන්ත්‍රණ සංවිධානය කිරීම. යුක්තිය, පරිපාලනය සම්බන්ධ විවිධ තේමා ඔස්සේ පර්යේෂණාත්මක පාඨමාලා සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධිකරණ නිලධාරින්ට පුස්තකාල පහසුකම් සහ වෙනත් අධ්‍යාපනික ආධාර සැපයීම මෙම ආයතනයේ විෂයයන් හා  කාර්යයන් වේ. 

මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ, අධිකරණ නිලධාරින්ගේ (දිසා සහ මහෙස්ත්‍රාත්) කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ, පුහුණු වන අධිකරණ නිලධාරින්ගේ සහ පුහුණු වන අධිකරණ නිලධාරින්ගේ සහ පුහුණු වන කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා පුහුණු වැඩසටහන් සහ වැඩමුළු (දේශීය සහ  විදේශීය) ගණනාවක් පවත්වා තිබේ.

(ආ) (i) ඔව්.

(ii) ඔව්.

(iii) ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ උපදෙස් අනුව, එම ආයතනයේ අධ්‍යක්ෂවරයා, විශ්වවිද්‍යාල මට්ටමට සමගාමීව පුහුණු  වැඩසටහන් පැවැත්වීම පිණිස නවීන අංගෝපාංග සහ තාක්ෂණික පහසුකම්වලින් යුක්ත නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වන ව්‍යෘපෘති යෝජනාවක්  අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත භාර දී ඇත. ඒ අනුව සියලුම පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා සුදුසු භූමි භාගයක් සොයමින් පවතී.

(ඇ) පැන නොනගී.

 

 

පිළිතුරු දුන් දිනය

2014-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks