01

E   |     |  

 දිනය: 2013-10-09   පිළිතුර ලබා දී ඇත 

3912/2013: ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වූ වෛද්‍යවරුන්: රජයේ වෛද්‍ය සේවයට බඳවා ගැනීම

3912/’13

 

ගරු රුවන් රණතුංග මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් වූ වෛද්‍යවරුන් නැවත රජයේ වෛද්‍ය සේවයට බඳවා ගැනීමේදී සේවා පළපුරුද්ද, ශ්‍රේණිය හා ජ්‍යෙෂ්ඨත්වය නොසලකා ඔවුන් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය තනතුරේ පිහිටුවාලීමේ අසාධාරණ ක්‍රමවේදයක් පවතින බවත්;

  (ii)  හමුදා සේවයෙන් ඉවත්ව තවදුරටත් රටට සේවය කිරීමට කැමති බොහෝමයක් වෛද්‍යවරුන්ගේ රට හැර යෑමට එම තත්ත්වය හේතුවී ඇති බවත්;

 

  (iii)  එවැනි තත්ත්වයක් යටතේ වුවද, රජයේ වෛද්‍ය සේවයට ඇතුළත් වූ වෛද්‍ය එම්. ඩී. ඩබ්ලිව්. ලොකුගේ ඇතුළු වෛද්‍යවරුන් ගණනාවක් මේ වන විට බලවත් අසාධාරණයකට ලක් වෙමින් ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  ශ්‍රේණිය පහත හෙළා එම වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය සේවයට බඳවා ගැනීම හමුදා සේවය යටතේ ඔවුන් රටට කළ සේවය වරදක් සේ සලකා  කරනු ලබන දඩුවම් දීමක් නොවන්නේද;

  (ii)  යුද්ධය පැවති අවධියේ ඔවුන් ස්ව කැමැත්තෙන් ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය බලකායට එක් වී සිදු කළ සේවය ඇගයීමට ලක් නොකිරීමට හේතු කවරේද;

  (iii)  එම වෛද්‍යවරුන් බඳවා ගැනීමේදී ආයතන සංග්‍රහයේ II පරිච්ඡේදයේ 17 වැනි වගන්තිය යටතේ දැක්වෙන අනු වගන්තීන් හා 14.4 සහ VII වැනි පරිච්ඡේදයේ 9.3 හා 9.4 වගන්තීන්ට අනුවත් දිය හැකි අනුග්‍රහ ලබා නොදීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?         

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-09

අසන ලද්දේ

ගරු ගරු රුවන් රණතුංග මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)         හමුදා සේවයෙන් හා විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වන ඇතැම් නිලධාරින් ඔවුන්ගේ අවශ්‍යතාව මත සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රාජ්‍ය සේවයට එක් වීමට ඉල්ලුම් කිරීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටි රීති සංග්‍රහය හා සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය සේවා ව්‍යවස්ථාවට අනුකුලව රාජ්‍ය සේවා කොමිෂන් සභා අනුමැතිය හා නියෝග මත එම නිලධාරින් බඳවා ගැනීම සිදු  කරයි.

              (ii)         හමුදා සේවයේ සිටින නිලධාරින්ට තව දුරටත් රටට සේවයක් කිරීමට අවශ්‍ය නම් විශ්‍රාම යෑමට තවත් වයස තිබේ නම් ඔහුට හෝ ඇයට තවදුරටත් අදාළ වෛද්‍ය බලකාවල හෝ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල හෝ විජය කුමාරතුංග  අනුස්මරණ රෝහල ආදියෙහි සේවය කළ හැකිය.

 (iii) වෛද්‍ය ලොකුගේ මහත්මියගේ ඉල්ලීම මෙන්ම අනෙකුත් නිලධාරින්ගේ ඉල්ලීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ අතර එම කොමිෂන් සභාව විසින් පවතින නීති රීති යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරි තනතුරට පත් කිරීමට නියෝග කර ඇති බැවින් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරිනියක ලෙස බඳවා ගෙන එම අවස්ථාවේ පැවති ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ අගට තබා පත්වීම් ලබා දෙන ලදී. එහිදී ඔවුන්ට දුෂ්කර සේවා ස්ථාන ලැබුණද එහි කෙටි සේවා කාලයකට පසු පහසු සේවා ස්ථානයක් සඳහා තාවකාලික අනුයුක්තියක් ලබා දෙන ලදී.

(ආ)  (i) මෙම වෛද්‍ය නිලධාරින් විසින් හමුදා සේවයෙහි කරන ලද කාර්ය භාරය ඉතා අගය කොට සලකන අතර පවතින නීති රීති හා රෙගුලාසි උල්ලංඝනය කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හෝ සෞඛය අමාත්‍යාංශයට එම නිලධාරින්ට විශේෂ කොට සැලකිය නොහැක.

(ii) ඔවුන් විසින් සිදු කළ සේවය ඇගයීමට ලක් කිරීමට පහසු සේවා ස්ථානවලට තාවකාලික අනුයුක්තීන් ලබා දී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන නිලධාරින්ට මෙවැනි තාවකාලික අනුයුක්තීන් උපරිමය මාස 06කට යටත්ව වෛද්‍ය හේතූන් මත ලබා දෙන අතර මෙම නිලධාරින්ට විශේෂ සැලකිල්ලක් දක්වා ඔවුන්ගේ සේවය අගය කර ඇත.

(iii) ආයතන සංග්‍රහයේ II වන පරිච්ඡේදයෙහි 17 හා එහි අනු වගන්තීන් යටතේ දක්වා ඇත්තේ සේවා මුක්ත භටයන්ට දෙන අනුග්‍රහ වේ. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටි රීති සංග්‍රහයේ  95 වගන්තිය අනුව මෙවැනි නිලධාරින්ට ආයතන සංග්‍රහයේ 17,  එහි අනු වගන්ති හා 14.4 වැනි වගන්තිය යටතේ වන වරප්‍රසාද හිමි නොවේ.

ආයතන සංග්‍රහයේ VII වන පරිච්ඡේදයේ 9‍‍.3 හා 9.4 වගන්තීන්හි වැටුප් සම්බන්ධයෙන් දැක්වුවද එය අදාළ වන්නේ රාජ්‍ය සේවාවකට අයත් සේවාවකින් පැමිණෙන නිලධාරියෙකුට වන අතර හමුදා සේවය ඒ යටතට නොගැනෙන නිසා එම වරප්‍රසාද හිමි නොවේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර්  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks