01

E   |     |  

 දිනය: 2013-08-08   පිළිතුර ලබා දී ඇත 

3579/2013: විශ්‍රාමික ශ්‍රීලංගම සේවකයන් : පාරිතෝෂික

3579/’13

ගරු සුජීව සේනසිංහ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

 (අ)        (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්‍රාම යන සේවකයන්ට 2009 සිට පාරිතෝෂික මුදල් ගෙවා නොමැති බව දන්නේද;

            (ii)       එම වර්ෂයේ සිට පාරිතෝෂික මුදල් ගෙවීමට ඇති ශ්‍රී ලංගම සේවක / සේවිකාවන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

(iii) ඉහත නම් සඳහන් සමස්ත සේවකයන්ට ගෙවීමට ඇති පාරිතෝෂික මුදලේ මුළු වටිනාකම  කොපමණද;

(iv) ඔවුන්ට පාරිතෝෂික මුදල් ගෙවීමට කටයුතු කරන ආකාරය දින වකවානු  සහිතව ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2012 වර්ෂයේ සිට විශ්‍රාම ගිය ශ්‍රී ලංගම සේවකයින්ගේ  පාරිතෝෂික මුදල් ගෙවීම ඔවුන් විශ්‍රාම ගෙන කොපමණ කලකින් සිදුකරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-08

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කුමාර වෙල්ගම මහතා (ප්‍රවාහන අමාත්‍යතුමා)

(மாண்புமிகு குமார வெல்கம - போக்குவரத்து அமைச்சர்)

(The Hon. Kumara Welgama - Minister of Transport)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      ඔව්.

              (ii)      සේවකයින් 10,130යි. එම නම් ලැයිස්තුව කම්කරු දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.

             (iii)      රුපියල් මිලියන 3,600ක් පමණ වේ.

             (iv)      එම සේවකයින් සඳහා ගෙවිය යුතු පාරිතෝෂික මුදල් ශ්‍රී ලංගම පෞද්ගලික අර්ථසාධක මුදල කම්කරු දෙපාර්තමේන්තුව‍ට පැවරීම මඟින් එහි අතිරික්ත මුදල් උපයෝගී කොට ගෙවීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මෙහිදී කොටස් 3ක් යටතේ ගෙවීම් කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

  • · පළමුව අධිකරණයේ පාරිතෝෂික වෙනුවෙන් පවරා ඇති නඩු සඳහා මුදල් ගෙවීම. (සියලුම නඩු කටයුතු සඳහා මුදල් ගෙවා ඇත.)
  • · කම්කරු දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි දමා ඇති සේවකයින්ට පාරිතෝෂික මුදල් ගෙවීම. (ඒ අනුව ශ්‍රී ලංගම විසින් අදාළ සියලුම සේවකයින්ගේ නම් ලැයිස්තු කම්කරු දෙපාර්තමේන්තුව වෙත යවා ඇති අතර, මේ වන විට අදාළ සේවකයින් සඳහා වන ගෙවීම් කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල මඟින් කර ගෙන යනු ලබයි.)
  • · දැනට කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි දමා නොමැති සේවකයින්ගේ ලැයිස්තු ඩිපෝ මට්ටමින් සකසමින් පවතින අතර, ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය මඟින් එම ශේෂයන් විගණනය කොට කම්කරු දෙපාර්තමේන්තුව වෙත 2013 අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම යැවීමට නියමිතය.

(ආ) 2012 දෙසැම්බර් මස 31වන දින දක්වාම විශ්‍රාම ගිය සියලුම සේවකයින්ට ඉහත සඳහන් කර ඇති ආකාරයට කම්කරු දෙපාර්තමේන්තුව මඟින් පාරිතෝෂික මුදල් ගෙවීම් සිදු කරනු ලබයි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2013-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks