01

E   |     |  

 දිනය: 2013-06-20   පිළිතුර ලබා දී ඇත 

3253/2013: වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම: වන්දි

3253/’12

 

ගරු පී. හැරිසන් මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)          (i)      2012 නොවැම්බර් මස 09 වැනි දින වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමට මුල් වූ හේතුව කුමක්ද;

            (ii)      එදින බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ සෝදිසි කිරීම් ප්‍රමාණවත් නොවූ  නිසාද;

(iii) ඒ සඳහා එම බලකාය යෙදවීමට නියෝග ලබා දුන් අය කවුරුන්ද;

(iv) බන්ධනාගාර පරීක්ෂාවට සහභාගීවු පොලිස් විශේෂ කාර්ය බලකායේ  නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

(v) ඔවුන් බන්ධනාගාරය තුළට ආයුධ සන්නද්ධව ඇතුල් වී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ඉහත සඳහන් ගැටුමේදී, 

(i) රැඳවියන්හට අවි ගබඩාවට ඇතුල්වී අවි ලබා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහය ලැබුණු බවත්;

(ii) සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරියෙකුගේ පෞද්ගලික අවශ්‍යතාව මත රැඳවියන්ට වෙඩි තැබීම සිදුවී ඇති බවත්;

(iii) බන්ධනාගාර රැඳවියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) (i) බන්ධනාගාර අවි ගබඩාවෙන් අවි ලබා ගැනීමට රැඳවියන්ට සහයෝගය ලබාදී ඇති නිලධාරින් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

(ii) මියගිය රැඳවියන් වෙනුවෙන් රජය වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන්නේද;

(iii) මෙවැනි සිද්ධීන් නැවත ඇති නොවීමට ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-20

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      බන්ධනාගාරය තුළ නීති විරෝධී ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීම සඳහා නිරන්තරව සෝදිසි කිරීම් සිදු වේ. එහෙත් මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම්වලට ලක් වූවන් මෙන්ම බරපතළ ගණයේ අපරාධවලට ලක් වූවන්ගේ වාට්ටු සෝදිසි කිරීමට ඇතැම් අවස්ථාවල ඉඩ නොදේ.

                         එවැනි තත්ත්වයක් යටතේ මෙම වාට්ටුවල රැඳවියන් සතුව නීති විරෝධී උපකරණ ඇති බවටත්, අපරාධ මෙහෙයවීමට ඒවා යොදා ගන්නා බවටත් ලැබී ඇති තොරතුරු අනුව මෙම අංශ විශේෂ සෝදිසි කිරීම්වලට ලක් කළ යුතු යැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එම සෝදිසි කිරීම් බන්ධනාගාර බුද්ධි අංශය විසින් මෙහෙය වූ අතර, බන්ධනාගාර අනෙකුත් නිලධාරින්ගේ විශේෂ සහාය ද ලබා ගෙන ඇත. එම සෝදිසි කිරීමට ලක් කිරීම ගැටුමට හේතුවයි.

(ii) බන්ධනාගාර බුද්ධි අංශ විශේෂ කාර්ය බලකායේ සහාය සෝදිසි කිරීම් සඳහා ලබා ගත් පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර මෙවැනි සෝදිසි කිරීම් සිදුව ඇති අතර, CRP තුළද මීට ආසන්නයෙහිම මෙවැනි වැටලීමක් සිදු කොට ඇත. අවශ්‍ය නව තාක්ෂණික උපකරණ බන්ධනාගාරය තුළ නොමැති හෙයින් සහ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතු නිසා එම කටයුත්ත මෙහෙය විය හැකි විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ‍ගැනීමට තීරණය කර ඇත.

(iii) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම මත.

(iv) 400ක් පමණ.

(v) සෝදිසි උපකරණ හා බුද්ධි අංශයේ ආරක්ෂාවට කිහිප දෙනෙකු අවි ආයුධවලින් සමන්විතව සිට ඇත. වැඩි ප්‍රමාණයක් බන්ධනාගාර භූමියෙන් පිටත ආරක්ෂාවට රඳවා තිබුණි.

(ආ) (i) එවැන්නක් අනාවරණය වී නොමැත.

(ii) වාර්තා වී නැත.

(iii) නැත.

(ඇ) (i) ඉහත (ආ) (i) අනුව අදාළ නොවේ.

(ii) බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් එවැනි වන්දි මුදල් ගෙවීමක් සිදු නොකරයි.

(iii) ප්‍රමාණවත් නිලධාරින් බඳවා ගැනීම, බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීම, තහනම් ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ නව තාක්ෂණික උපකරණ  ලබා ගැනීමට කටයුතු කිරීම, තදබදය අවම කිරීමට බන්ධනාගාර විතැන් කිරීමේ ක්‍රියාවලිය සක්‍රිය කිරීම, පුනරුත්ථාපන ක්‍රියාවලිය සවිමත් කිරීම, මෙවැනි ක්‍රියාවන්ට සහයෝගය ලබා දෙන නිලධාරින් ඇත්නම් ඔවුන්ට  විරුද්ධව නීතිමය පියවර ගැනීම.

(ඈ) අදාළ නොවේ. 

 

පිළිතුරු දුන් දිනය

2013-10-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks