01

E   |     |  

 දිනය: 2013-04-23   පිළිතුර ලබා දී ඇත 

3196/2013: සෞදි අරාබියේ අතරමංවී සිටින ශ්‍රී ලාංකිකයින් : ක්‍රියා මාර්ග

3196/’12

 

ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් වශයෙන් සහ වෙනත් රැකියා සඳහා ගොස් ඇති ශ්‍රී ලාංකික කාන්තාවන් සහ පිරිමින් විශාල සංඛ්‍යාවක් ඉතා දුක් විඳිමින් දැනට එම රටේ “ඔලායා” රැඳවුම් කඳවුරේ සහ “ජෙඩා” පාලම යට රැඳී සිටින බවත්;

(ii) අදාළ ගිවිසුම් පරිදි සුදුසු රැකියා ස්ථාන නොලැබීම, හිංසනය සහ වැටුප් නොගෙවීම වැනි විවිධ කරුණු ඒ සඳහා හේතු වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එම ශ්‍රී ලාංකික පිරිස වහාම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේද;

(ii) ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව, සුභසාධනය සහ ආර්ථිකය නංවාලීම සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි, ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-04-23

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        කාර්යාංශයේ ලියා පදිංචිය ලබා විදේශගත වන විගමනික සේවක සේවිකාවන් සේවා ස්ථානවල දී හා ඉන් බැහැර අවස්ථාවන්හි දී ඔවුන් මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් අදාළ දූත මණ්ඩල නිලධාරින් හා එම රටවල පාර්ශ්වකරුවන් හා සම්බන්ධ වී එම ගැටලු සමථයකට පත් කිරීමට අවශ්‍ය කටයුතු කාර්යාංශය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ. ඒ අනුව කාර්යාංශය විසින් 2012 වර්ෂය සඳහා සවුදි අරාබියේ රියාද් සිට සේවක සේවිකාවන් 960ක් මෙරටට ගෙන්වා ගැනීමට රුපියල් මිලියන 29.01 සහ ජෙඩා සිට සේවක සේවිකාවන් 129ක් නැවත ගෙන්වා ගැනීම සඳහා රුපියල් මිලියන 5.9 ගුවන් ටිකට්පත් ගාස්තු වශයෙන් කාර්යාංශය විසින් වියදම් කර ඇත.

ඒ වාගේම ගරු කථානායකතුමනි,  2013 ජූලි මාසය වන විට සෞදි අරාබියාවේ රියාද් හි සිට විගමනික සේවක සේවිකාවන් 540ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් සහ ජෙඩාහි සිට සේවක සේවිකාවන් 65ක් නැවත ගෙන්වා ගැනීම සඳහා රුපියල් මිලියන 2ක් ගුවන් ටිකට් පත් ගාස්තු වශයෙන් කාර්යාංශය විසින් වියදම් කර තිබෙනවා.

තානාපති කාර්යාල නිලධාරින් විසින් දැනුම් දී ඇති පරිදි,  විවිධ හේතු නිසා තම සේවා ස්ථානයෙන් පැන ගිය සේවක සේවිකාවන් 120ක් පමණ නැවත ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් රියාද් හි සෞදි අරාබියාවේ රජය විසින් පවත්වාගෙන යනු ලබන ඔලෙයියා සුභසාධන කඳවුරෙහි සිටින බව වාර්තා වන අතර, එම කඳවුරෙහි ස්ථාපිත කර ඇති පොලීසි  මඟින් අදාළ ශ්‍රමිකයින්ගේ ගැටලු විසඳීමේදී  අපේ තානාපති කාර්යාලයද ඒ කටයුතුවලට   සම්බන්ධීකරණය කරනු ලැබේ. 

ජෙඩා හි කොන්සල් කාර්යාලයේ වාර්තා අනුව ජෙඩා පාලම යට මේ වන විට සිටින්නේ                       ශ්‍රී ලාංකිකයන් 30ක් පමණයි.

ගරු රන්ජන් රාමනායක මන්ත්‍රීතුමනි, ඊයේ වන කොට අපි සෞදි අරාබියාවේ තානාපති කාර්යාලයෙන් ගත්ත විස්තර අනුව දැනට ජෙඩා පාලම යට ඉන්නේ 30යි.

(ii)    සේවා යෝජකයාගෙන් සිදු වන හිංසා, වැටුප් නොලැබීම් සහ පෞද්ගලික හේතූන් නිසා සමහර සේවක සේවිකාවන් තම සේවා ස්ථානවලින් පැන යනු ලබන අතර, එම තත්ත්වයන් විසඳීම සඳහාඅදාළ දූත මණ්ඩල නිලධාරින්ගේ මැදිහත් වීමද සහිතව කාර්යාංශය විසින් එම ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබේ.

ගරු මන්ත්‍රීතුමනි, මෙවැනි සිද්ධීන්ට අදාළව ඒ සේවා ස්ථානවලින් පැන ගිය සහ ඒ රටේ තිබෙන වීසා නීති රීතිවලට පරිබාහිරව කටයුතු කරපු                   ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සඳහා පොදු සමා කාලයක් ලැබුණා. ඒ පොදු සමා කාලය තුළත් ඒ අය විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවස්ථාව අපට ලැබුණා.

2013.11.22 වන විට රියාද්හි පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විවිධ හේතූන් නිසා සේවා ස්ථානයෙන් පැන ආ, -පොදු සමා කාලයට අදාළ නොවන අය- සේවිකාවන් 700ක්ද, ජෙඩාහි කොන්සල් කාර්යාලයේ රැඳැවියන් 34ක්ද රැදී සිටින බව අප වෙත වාර්තා වී තිබෙනවා. මෙසේ රැඳැවියන් ප්‍රමාණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තිබෙන්නේ, මේ කාලය තුළ සාමාන්‍යයෙන් 300ක් 400ක් තමයි ඉන්නේ ගරු මන්ත්‍රීතුමා. පොදු සමා කාලය තුළදී සමාව ලබා දුන් 16,000කට දැන් ඒ රටින් පිටවීමට වීසා බලපත්‍ර ලැබී තිබෙනවා. ඒ අයට ගුවන් ටිකට් පත් ලබා දීමේ කටයුතුවලට මැදිහත් වීම සිදු කරනවා. පොදු සමා කාලයේ දිනයෙන් පසුව තවත් 1,000ක්, 1,500ක් පමණ නැවත තමන් ඉන්න නිවාසවලින් වෙනත් නිවාසවලට ගියා. ඒ සම්බන්ධව කටයුතු කිරීමට තිබෙන නිසා තමයි මේ ප්‍රමාණය 700 දක්වා ඉහළ ගිහින් තිබෙන්නේ.

(ආ) (i) ඔව්.

සේවා ස්ථානයෙන් නොයෙකුත් හේතූන් මත නීත්‍යනුකූල නොවන ලෙස ඉවත් වූ ශ්‍රී ලාංකික සේවක සේවිකාවන්ගේ ගැටලු විසඳීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ සේවයක් රියාද් සහ ජෙඩා දූත මණ්ඩලයේ ක්‍රියාත්මක වේ. මෙයට අමතරව තානාපති කාර්යාලය පිහිටා ඇති නගරයට දුර බැහැර ප්‍රදේශයන්හි සේවය කරන ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳීම සඳහා ජංගම සේවාවක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම පසු ගිය මාස 06 තුළ අපි ඒ රටේ ඉන්න පුද්ගලයනුත් තාවකාලික පදනමක් මත සේවයට බඳවා ගත්තා. ඒ, ජෙඩා සහ රියාද්වල පොදු සමා කාලය තුළ ඇති වෙලා තිබුණු සේවා අවශ්‍යතාවන් නිසා. සෞදි ආරාබි රජය විසින් එරට නීති විරෝධීව සිටින විදේශික ශ්‍රමිකයන් හට තම තත්ත්වය නීත්‍යානුකූල කර ගැනීමට ලබා දී ඇති පොදු සමා කාලය 2013 අප්‍රේල් 06 සිට නොවැම්බර් දක්වා ලබා දීලා තිබුණා.

පොදු සමා කාලය ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණීම සඳහා සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ලියා පදිංචි වූ සංඛ්‍යාව ආසන්න වශයෙන් 17,000ක් පමණ වේ. එම පිරිස අතරින‍් 16,000කට පමණ ආපසු පැමිණීම සඳහා අවශ්‍ය තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කර ඇත. එමෙන්ම 5,500කට ආසන්න පිරිසක් මේ පොදු සමා කාලය තුළ ලැබුණු දෙවැනි විකල්පය වුණු තමන්ගේ නීත්‍යනුකූල නොවන රැකියා තත්ත්වය නීත්‍යනුකූල කර ගෙන තවදුරටත් නීත්‍යනුකූලව ඒ ‍රටේ රැකියා කිරීමට පටන් ගත්තා. ඉතිරි 1,000ක පිරිස ඔවුන්ගේ පිටත් වීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබමින් සිටී.

ඉහත සඳහන් දත්ත සියල්ලම ලබා ගත්තේ 2013.11.22 "රියාද්" හා "ජෙඩා" තානාපති කාර්යාල මඟින්.

අප දැන් දිනපතාම "ජෙඩා" සහ "රියාද්"වලින් ඒ වාගේ දත්ත ලබා ගන්නවා.

(ii) විගමණික සේවකයින්ගේ පවුල්වල ආරක්ෂාව, සුභසාධනය සහ ආර්ථිකය නංවාලීම සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කරන ප්‍රායෝගික වැඩ පිළිවෙළවල් රාශියක් තිබෙනවා. ඉන් එකක් තමයි, මේ වෙලාව වෙන කොට යම් කිසි විදේශයක සේවය කරන අපේ සහෝදර සහෝදරියකට ප්‍රශ්නයක් වුණාම ඔහුගේ හෝ ඇයගේ පවුලේ අය ඒ පැමිණිල්ල දැමීම සඳහා අනිවාර්යයෙන්ම කොළඹ එන්න ඕනෑ. ගරු කථානායකතුමනි, පසු ගිය මාස තුනක් වනකම්ම තිබුණේ එහෙමයි. හැබැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් මධ්‍යස්ථාන විසි ගණනක් තිබෙනවා. අපි දැන් ඒ සඳහා අලුත් නීතියක් ගෙනැල්ලා තිබෙනවා. දැන් ඔවුන්ට ඒ සඳහා කොළඹ එන්න ඕනෑ නැහැ. දැන් ඔවුන්ට ඒ දිස්ත්‍රික් මධ්‍යස්ථානවලට පැමිණිලි කරන්න පුළුවන්. ඒ පැමිණිල්ල ලැබී තත්පර 50ක් ඇතුළත ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි බලපත්‍රලාභියාට අපි දැනුම් දෙනවා. ඒ අනුව පැය 48ක් ඇතුළත ඒ බලපත්‍රලාභියා අනිවාර්යයෙන්ම එයට පිළිතුරක් එවන්න ඕනෑ. එව්වේ නැත්නම් අපි ඔහුට විරුද්ධව නීත්‍යනුකූලව කටයුතු කරනවා. ඒ නීතිය ගෙනාවා කියලා දැනට ඒකට විරුද්ධව බලපත්‍රලා‍භින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දමා තිබෙනවා.ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව අවසාන වන තෙක් අපි බලා ගෙන ඉන්නවා. ඒ නීතිය වෙනස් කිරීමට අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.

ගරු කථානායකතුමනි, අද ගරු රෝසි සේනානායක මන්ත්‍රීතුමිය විසින් ගරු තිස්ස කරල්ලියද්ද ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය තුළින් මතු වුණු අම්මලා පිට රට ගියාම දරුවන් අපයෝජනයට ලක් වෙනවාය කියන කාරණය සැලකිල්ලට අර ගෙන අපි දැන් පිට රට යන කාන්තාවන්ගේ පවුල් පසු බිම් වාර්තාවක් අනිවාර්ය කර තිබෙනවා. ඒකට විරුද්ධව බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්සිකරුවන්  ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. හැබැයි, ශ්‍රේෂ්ඨාධිකරණයත් අපි ඒ පවුල් පසු බිම් වාර්තාව ඉල්ලන  එක ඉතාම නිවැරදියි කියලා තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ යොවුන් කාන්තා සංවිධානයේ සභාපතිතුමිය වන ගරු තලතා අතුකෝරල මැතිනියත් මේ පවුල් පසු බිම් වාර්තාව ලබා ගැනීම පිළිබඳව අපි ගෙනා වැඩ පිළිවෙළ අගය කිරීමට ලක් කර තිබුණා. අපි පවුල් පසු බිම් වාර්තාව හරහා කරන්නේ දරුවෝ ඉන්නවා ද, ඒ දරුවන්ගේ වයස කීය ද, ඒ කාන්තාව පිට රට ගියාට පස්සේ  දරුවන් බලා ගැනීමට හැකියාවක් තිබෙනවා ද, ආච්චි අම්මා ඉන්නවා ද, -ආත්තම්මා කෙනෙක් ඉන්නවා ද,- ලොකු අම්මා කෙනෙක්  ඉන්නවා ද කියන සියලු කාරණා සැලකිල්ලට ගැනීමයි. ඒ නිසා මේ තත්ත්වය තුළ මේ අවුරුද්දේ පිට රට ගිය ගෘහ සේවිකාවන් ප්‍රමාණය සියයට 37 දක්වා අඩු වෙලා තිබෙනවා. ඉතිහාසයේ හැම දාම ගෘහ සේවය සඳහා විදේශගත වුණු කාන්තාවන්ගේ ප්‍රමාණය සියයට 50ට වැඩියි. නමුත් අද වන විට ඒ ප්‍රමාණය සියයට 37 දක්වා අඩු වෙලා තිබෙනවා. ඒ අනුව මතු වෙලා තිබෙන බොහෝ කරුණුවලට අවශ්‍ය කරන පියවර අර ගෙන තිබෙනවා.

ගරු කථානායකතුමනි, ඒ එක්කම අපි ක්‍රියා මාර්ගයක් අර ගෙන තිබෙනවා, අපේ රටින් පිට වෙලා යන ගෘහ සේවිකාවන් මට්ටමේ ඉන්න අයගේ සුබසාධනය සඳහා ආර්ථික කටයුතු අමාත්‍යාංශයත් එක්ක මැදිහත් වෙලා ඒ අයට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න.  මේ වන විට නිවාස 280ක් හදන්න පටන් ගෙන තිබෙනවා. මේ වර්ෂය අග වන විට නිවාස 500ක් හදන්න පටන් ගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

(ඇ)          පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2013-11-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks