01

E   |     |  

 දිනය: 2012-12-04   පිළිතුර ලබා දී ඇත 

3139/2012: උදකුක්ඛේප සීමා මාලකය පූජනීය ස්ථානය : ‍විදුලි බලාගාරයක්

3139/’12

 

ගරු අබ්දුල් හලීම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       හාරිස්පත්තුව සංවර්ධන පදනම නමැති ආයතනය මගින් 1994 වර්ෂයේදී  හල්ලොලුව, වරාතැන්න මහවැලි ගඟ මැද පිහිටි  ‍ඓතිහාසික ස්ථානයක ඉදිකර, සංඝ රත්නයට පූජාකළ උදකුක්ඛේප සීමාමාලකය උඩරට අමරපුර සංඝ නිකායේ උපසම්පදා විනය කර්ම සිදු කරන ස්ථානය බවත්;

(ii) මේ වන විට එකී පූජනීය ස්ථානය ඉවත් කර එම ස්ථානයේ පෞද්ගලික ‍විදුලි බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුවන බවත්;

(iii) ඓතිහාසික වැදගත්කමක් ඇති එම පූජනීය ස්ථානය විනාශ කිරීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව ඇති අමරපුර නිකායට අදාළ දිවයින පුරා සිටින ගිහි, පැවිදි බොහෝ පිරිසක් ඊට එරෙහිව විරෝධතාවයකට සූදානම් වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) උඩරට අමරපුර නිකායේ පරිහානියට තුඩු දෙන එම පෞද්ගලික විදුලි බලාගාරය ඉදි කිරීමේ කටයුතු වහාම නතර කිරීමට කටයුතු කරන්නේද;

 (ii) ඓතිහාසික හා පාරම්පරික වටිනාකමක් ඇති උදකුක්ඛේප සීමාමාලකය තුළ ඉදිරියටත් බාධාවකින් තොරව එකී නිකායේ විනය කර්ම සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-12-04

අසන ලද්දේ

ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා (බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன - பெளத்த சாசன, மத அலுவல்கள் பிரதி அமைச்சர்)

(The Hon. M.K.A.D.S. Gunawardana - Deputy Minister of Buddha Sasana and Religious Affairs)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ) (i) ඔව්.

(ii) ඔව්.

(iii) ඔව්.

(ආ) (i) පෞද්ගලික විදුලි බලාගාර ඉදි කිරීමේ කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ විදුලිබල හා බලශක්ති විෂයය භාර අමාත්‍යතුමා විසිනි. විදුලි බලාගාරයේ කටයුතු කිරීමේදී මෙම ඓතිහාසික උදකුක්ඛේප සීමා මාලකය ආරක්ෂා වන පරිදි එය ඉවත් නොකර ඉදි කිරීම් කටයුතු කළ හැකි නම් වඩාත් සුදුසුය. මේ සම්බන්ධයෙන් උඩ රට අමරපුර නිකායේ ලේඛකාධිකාරි පූජ්‍ය වත්තේගම ධම්මාවාස නායක මහා ස්ථවිරයන් වහන්සේ විසින් දක්වා ඇත්තේ රටේ පවතින තත්ත්වය අනුව යම් ආකාරයකින් නොවැළැක්විය හැකි හේතුන් මත ජල විදුලි බලාගාරය නිශ්චිත වශයෙන් ඉදි කළහොත් දැනට පවතින ආකාරයටම සීමා මාලකයක් ඉදි කර දිය යුතු බවට උඩ රට අමරපුර නිකායේ ශාසනජෝතිකා කාරක සංඝ සභාව විසින් යෝජනා කර ඇති බවයි. මේ වන විට අදාළ බලාගාරයේ ඉදි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පරිසර සංවිධාන විසින් අධිකරණයේ නඩු පවරා ඇති බැවින් එහි කටයුතු තාවකාලිකව නවතා ඇත.

(ii) ඔව්.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-02-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks