01

E   |     |  

 දිනය: 2013-03-19   පිළිතුර ලබා දී ඇත 

2987/2013: SRI LANKA STANDARDS INSTITUTION : COMPLAINT ON ASBESTOS ROOFING SHEETS

2987/’12

 

ගරු අජිත් පී. පෙරේරා මහතා,— තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ප්‍රමිතිය සහතික කළ භාණ්ඩයක ප්‍රමිතිය අඛණ්ඩව සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ගන්නා පියවර කවරේද;

             (ii)       ඊට අදාළ චක්‍රලේඛ, රෙගුලාසි හෝ නියමයන් තිබේ නම්, ඒවා කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) වෙළඳපලේ ඇති S.L.S ප්‍රමිති සහතිකය ‍සහිත ඇස්බැස්ටස් සෙවිලි තහඩු වර්ගයක ප්‍රමිතිය අඩුවීම පිළිබඳ පරීක්‍ෂණ පවත්වන ලෙස බණ්ඩාරගම ජගත් චන්ද්‍ර පෙරේරා සහ  බුද්ධි ජයවික්‍රම පෙරේරා යන අය විසින් 2011.09.23 දින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණිලිකර ඇති බව එතුමා දන්නෙහිද?

(ඇ) (i) ඉහත පැමිණිල්ලට අදාළව පරීක්‍ෂණයක් නොපැවැත්වීමට හේතුව කවරේද;

(ii) ඉහත සඳහන් සෙවිලි තහඩු සඳහා S.L.S ප්‍රමිතිය පිරිනැමූ දිනය කවරේද;

(iii) එම සෙවිලි තහඩුවල ප්‍රමිතිය අඛණ්ඩව පවත්වාගෙනයෑම සහතික කිරීමට  ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) (i) ඉහත පැමිණිල්ලෙහි සඳහන් සෙවිලි තහඩු නිෂ්පාදන සමාගම විසින් තම නිෂ්පාදනවල S.L.S   ප්‍රමිතිය පවත්වාගෙන යන්නේද පිළිබඳව පරීක්‍ෂා කිරීමට 2011 වර්ෂය තුළ   සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයන් කවරේද;

(ii) එම පර්යේෂණ සිදු කළ දින කවරේද;

(iii) ඊට  අදාළ වාර්තා ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-19

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු පාඨලී චම්පික රණවක මහතා (තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යතුමා)

(மாண்புமிகு பாட்டளி சம்பிக ரணவக்க - தொழில்நுட்ப, ஆராய்ச்சி, அணுசக்தி அமைச்சர்)

(The Hon. Patali Champika Ranawaka - Minister of Technology, Research and Atomic Energy)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.

(අ)            (i)             ප්‍රමිති සහතිකය ලබා ගත් භාණ්ඩයක ප්‍රමිතිය අඛණ්ඩව පවත්වා ගැනීම තහවුරු කිරීමට පහත සඳහන් පියවර ගෙන ඇත. භාණ්ඩයක ප්‍රමිතිය සහතික කිරීමේදී ඇගයීමට ලක් කරන තත්ත්ව කළමනාකරණ පද්ධතියේ සෑම අංගයක්ම පසු විපරම් ක්‍රියාවලියකට භාජනය කරනු ලැබේ. එසේ කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව විගණන කණ්ඩායම් විසිනි. ISO 9001 සහතිකය ලබා ගත් නිෂ්පාදකයන් - මේ ආයතනය ISO 9001 සහතිකය ලබාගෙන තිබෙනවා.-සම්බන්ධයෙන් වසරකට වරක් කරනු ලබන අතර, අනෙක් නිෂ්පාදකයන් සම්බන්ධයෙන් වසරකට දෙවරක් තත්ත්ව විගණනයන් සිදු කරනු ලැබේ.

              (ii)       (1) තත්ත්ව කළමනාකරණ ඇගයීමට ලක් කිරීමට අදාළ වනුයේ, "තත්ත්ව පද්ධතිය සඳහා අවශ්‍යතා පිළිබඳ මාර්ගෝපදේශයයි. (GL-CP-01)".

                         මේ ප්‍රශ්නයෙන්  අහලා තිබෙනවා, චක්‍රලේඛ, රෙගුලාසි ගැන. ඇත්තටම චක්‍රලේඛ, රෙගුලාසියකට  වඩා මාර්ගෝපදේශයක්  - guideline එකක් - තමයි මේ සම්බන්ධයෙන් තිබෙන්නේ.

මෙම ලේඛනය SLS සහතිකය ලබා ගැනීම සඳහා වන අයදුම්පත් කට්ටලය සමඟ ඉල්ලුම්කරුවන්ට ලබා දෙනු ඇත.

(2) පසු විපරම් ක්‍රියාවලිය/ තත්ත්ව විගණනයට අදාළ වනුයේ "සමාගම් ඇගයීම ((GL-CP-01)"  පිළිබඳ ලේඛනයයි. මෙය අභ්‍යන්තර ලේඛනයකි.

(ආ) ඔව්.

(ඇ) (i) පහත සඳහන් පරිදි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන විසින් පරීක්ෂණයක් පවත්වා ඇත.

තත්ත්ව වාර්තා ඇගයීමකට ලක් කිරීම:

පැමිණිල්ල ලැබීමෙන් පසු මෙම ඇගයීම කර ඇත. ප්‍රමිතිවලට අනුකූලව මෙම සමාගම විසින් භාණ්ඩය නිෂ්පාදනය කර ඇති බව ඇගයීමේදී තහවුරු වී තිබේ. 

සිද්ධිය පිළිබඳ කරුණු සොයා ගැනීම:

පැමිණිල්ල පිළිබඳව කරුණු දක්වන ලෙස අදාළ සමාගමට දන්වන ලදි. පරීක්ෂණයකින් පසුව සමාගම විසින් වාර්තා කරන ලද්දේ පැමිණිල්ලට අදාළ සිද්ධියට හේතු වී ඇත්තේ, නිෂ්පාදන භාණ්ඩයේ තත්ත්වයේ අඩුපාඩුවක් නොවන බවත් වෙනත් හේතූන් බවත්ය.

භාණ්ඩයේ තත්ත්වය පරීක්ෂාවට ලක් කිරීම:

රසායනාගාරයේ පරීක්ෂාවට ලක් කිරීම සඳහා පැමිණිල්ලට හේතු වූ තහඩුවට අදාළ තොගයෙන්ම තවත් තහඩුවක් ලබා ගැනීමට උත්සාහ කරන ලදි. පරීක්ෂා කිරීම සඳහා අතුරන නොලද තහඩු නිෂ්පාදකයා වෙත හෝ පැමිණිලිකරු වෙත නොතිබුණි. පැමිණිල්ල ලැබී තිබුණේ අදාළ තොගය නිෂ්පාදනයෙන් මාස 05කට පසුවය. භාවිත කරන ලද තහඩුවක් රසායනාගාර පරීක්ෂාවට ලක් කිරීමෙන් නිවැරදි ප්‍රතිඵල ලබා ගත නොහැකි බව වාර්තා වී තිබේ. 

(ii) මෙම සමාගමේ නිෂ්පාදනය කරන ලද මෙම භාණ්ඩ වර්ගය සඳහා 1993 දී ප්‍රමිති සහතිකය ලබා දී ඇත.  පැමිණිල්ලට අදාළ තහඩුව නිෂ්පාදනය කර ඇත්තේ මෙම සමාගමේ නව නිෂ්පාදනාගාරයක වන අතර, එයට ප්‍රමිති සහතිකය ප්‍රදානය කර ඇත්තේ 2010.10.15 වන දින දීය.

(iii) ඉහත සඳහන් පරිදි,  සහතික කළ භාණ්ඩයේ ප්‍රමිතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා තත්ත්ව විගණන පවත්වන ලදි. 2011.11.24 සහ 2012.07.20 යන දිනයන්හිදී එවැනි තත්ත්ව විගණනයන් අදාළ සමාගම සම්බන්ධයෙන් සිදු කර ඇත. භාණ්ඩ නිෂ්පාදනය ප්‍රමිතියට අනුව සිදු කර ගෙන යන බව එම විගණන තුළින් තහවුරු විය.

 

(ඈ)         (i)      සමාගම විසින් 2011 වසර තුළදී සිදු කළ විද්‍යාත්මක පර්යේෂණයන් පිළිබඳව නොදනී. සමාගමක් විසින් සිදු කරන ලද පර්යේෂණ පිළිබඳව තත්ත්ව කළමනාකරණ පද්ධතියේදී හෝ තත්ත්ව විගණනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පරීක්ෂා කරනු නොලැබේ.

                     තත්ත්ව කළමනාකරණ පද්ධතියට හා තත්ත්ව විගණනයන්ට අදාළ වනුයේ භාණ්ඩයේ ප්‍රමිතිය සහතික කිරීමට අදාළ වන පරාමිතීන් නිර්ණය කිරීමට සිදු කරන විද්‍යාත්මක පරීක්ෂණ වේ. මෙම පරාමිතීන් නම් උස, දිග, පළල, ගනකම, බිඳුම්බර, තෙතමනය උරා ගැනීම, ඝනත්වය යන ඒවා වේ. මෙම පරාමිතීන් තහවුරු කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ, 2011 වසර තුළ සමාගම විසින් සිදු කර ඇති බව තත්ත්ව විගණනවලින් පැහැදිලි විය.

(ii) එම පරීක්ෂණ සමාගම විසින් අඛණ්ඩව සිදු කරන ලද බව 2011 වසර තුළ සිදු කළ තත්ත්ව විගණනයේදී තහවුරු විය.

(iii) සමාගමේ පරීක්ෂණ සැලසුම හා සමාගම විසින් කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබා ගත් පරීක්ෂණ වාර්තා සභාගත* කරනු ලැබේ.

(ඉ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks