E   |   த   |  

 දිනය: 2026-10-20   පිළිතුර ලබා දී ඇත 

2328/2026: කිරි ගොවීන් සහ කුකුළු පාලනයේ නිරත ගොවීන්: නුවරඑළිය දිස්ත්‍රික්කය

2328/2026

ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ශ්‍රී ලංකාවේ සමස්ත කිරි නිෂ්පාදනයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට හිමිවන ස්ථානය කවරේද;

            (ii)       එම දිස්ත්‍රික්කයේ කිරි ගොවියන්ගේ සහ කුකුළු පාලනයේ නිරත ගොවීන්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) නුවරඑළිය දිස්ත්‍රික්කයේ පශු වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පවතින බවත්;

(ii) එම කාර්යාල සඳහා වාහන අවශ්‍යතා පවතින බවත්;

(iii) දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්වූ පූඩළුඔය පශු වෛද්‍ය කාර්යාලය මේ දක්වා වසා දමා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) ඉහත (ආ) (i), (ii) සහ (iii) සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-10-20

අසන ලද්දේ

ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ සමස්ත කිරි නිෂ්පාදනයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට හිමි වන්නේ පළමුවන ස්ථානයයි. 

              (ii)      නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගව පාලනයේ නියුතු ගොවීන් සංඛ්‍යාව 12,152කි.

                        නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුකුළු පාලනයේ නිරත ගොවීන් සංඛ්‍යාව 3,900කි.

(ආ)         (i)      ඔව්.

(ii) ඔව්.

(iii) ඔව්.

(ඇ) නුවරඑළිය දිස්ත්‍රික්කයේ පශු වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පැවතීම සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති පියවර පහත පරිදි වේ.

මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර පශු වෛද්‍ය කාර්යාල 12ක් සහ පශු රෝහල් 1ක් ක්‍රියාත්මක වේ. ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළව 2026.10.01 දිනට සේවයේ නිරත පශු වෛද්‍ය නිලධා‍රින් සංඛ්‍යාව සහ පවතින පුරප්පාඩු සංඛ්‍යාව පහත පරිදි වේ.

තනතුර

අත්‍යවශ්‍ය නිලධාරි සංඛ්‍යාව

දැනට සිටින නිලධාරි සංඛ්‍යාව

පුරප්පාඩු සංඛ්‍යාව

පශු වෛද්‍ය නිලධාරී

30

09

21

මෙම පුරප්පාඩු සඳහා නවක පශු වෛද්‍ය නිලධාරින් බඳවා ගැනීමට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

පශු වෛද්‍ය කාර්යාල සඳහා වාහන අවශ්‍යතා සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති පියවර පහත පරිදි වේ.

මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයක් සහ පශු වෛද්‍ය කාර්යාල 12ක් පවතී. මේවායෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සහ පශු වෛද්‍ය කාර්යාල 1ක් සඳහා දැනට වාහන නොමැත. අනෙකුත් පශු වෛද්‍ය කාර්යාල 11 සඳහා වාහන 11ක් තිබේ. එම වාහන අතුරින් වාහන 2ක් ඉතා අබලන් තත්ත්වයේ පවතින අතර, තවත් වාහනයකට අලුත්වැඩියා කටයුතු සඳහා අමතර කොටස් සොයා ගැනීමට අපහසු වී පවතී. ඒ අනුව දැනට වාහන නොමැති කාර්යාල දෙක සඳහා අලුතින් වාහන 2ක් ලබා දීමට අවශ්‍යතාවක් පවතී. තවද, ඉතා අබලන් තත්ත්වයේ පවතින සහ අලුත්වැඩියා කටයුතු සඳහා අමතර කොටස් සොයා ගැනීමට අපහසු වී ඇති වාහන තුන සඳහා ද අලුතින් වාහන 3ක් ලබා දීමේ අවශ්‍යතාවක් පවතී.

රාජ්‍ය ආයතනවල භාවිතය සඳහා ඉදිරි කාලයේදී වාහන ආනයනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සලකා බලමින් පවතී.

"දිට්වා" සුළි කුණාටුවෙන් පූඩළුඔය පශු වෛද්‍ය කාර්යාලයට හානි සිද්ධ වුණා. එම කාර්යාලය දැන් වෙනත් තැනකට අරගෙන ගිහින් තිබෙනවා.

ඒ අනුව පූඩළුඔය පශු වෛද්‍ය කාර්යාලය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලබා ගන්නා තෙක් තාවකාලිකව කොත්මලේ පශු වෛද්‍ය කාර්යාලයීය ගොඩනැඟිල්ලෙහි පවත්වාගෙන යෑමට කටයුතු කර තිබෙනවා.

පූඩළුඔය පශු වෛද්‍ය කොට්ඨාසය සඳහා ස්ථිර කාර්යාල ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට පූඩළුඔය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයට යාබද හිස් ඉඩමින් කොටසක් මැනුම් කර, මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමටත්, අනතුරුව නව කාර්යාල ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත් අවශ්‍ය කටයුතු මේ වනකොට සිදු කරමින් පවතිනවා.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks