පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ධනුෂ්ක රංගනාත් මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වැඩිහිටි පුරවැසියෙක් ලෙස සලකනු ලබන වයස් සීමාව කවරේද;
(ii) වර්තමානය වනවිට මෙරට වැඩිහිටි පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iii) වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය පිහිටුවන ලද දිනය කවරේද;
(iv) එම ආයතනය පිහිටුවීමේ අරමුණ කවරේද;
(v) ආයතනය මඟින් ඉටුකරනු ලබන සේවාවන් කවරේද;
(vi) එම සේවාවන් ලබා ගන්නා වැඩිහිටි පුද්ගලයන් සංඛ්‍යාව සේවාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-06
අසන ලද්දේ
ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2011 අංක 5 දරන පනතින් සංශෝධිත, 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව "වැඩිහිටි තැනැත්තා" යන්නෙන්, වයස අවුරුදු 60 ඉක්මවූ යම් තැනැත්තෙක් අදහස් වේ.
(ii) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂයේ ජන හා නිවාස සංගණනයට අනුව,
• වැඩිහිටි ජනගහනය - මිලියන 3.9 (3,921,124) - සියයට 18.002
• පුරුෂ - මිලියන 1.7 (1,712,535) - සියයට 43.67
• ස්ත්‍රී - මිලියන 2.2 (2,208,589) - සියයට 56.33
(iii) 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව 2002 වර්ෂයේ ජුනි මස පිහිටුවන ලදී.
(iv) වැඩිහිටි තැනැත්තන් පිළිබඳ ජාතික සභාවේ අරමුණ වන්නේ, වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය, ආරක්ෂා කිරීම සහ වැඩිහිටි තැනැත්තන් සඳහා සුබසාධන කටයුතු ඉටු කිරීමයි. ඒ සභාවේ කටයුතු සහ කර්තව්‍යයන් ඉටු කිරීමේදී එයට සහාය වීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. එය පිහිටුවා තිබෙන්නේ, 2011 අංක 5 දරන පනතින් සංශෝධිත, 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරවයි.
(v) මේ සඳහා අනුමාතෘකා කිහිපයක් යටතේ පිළිතුර ලබා දෙනවා, ගරු කථානායකතුමනි.
1. නීති හා ප්‍රතිපත්ති
2011 අංක 5 දරන පනතින් සංශෝධිත 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වර්තමානයට ගැළපෙන විධියට සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා සංශෝධනය කරනු ලැබූ පනත් කෙටුම්පත අපි පසුගිය වර්ෂයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා නීති සම්පාදක වෙත යොමු කර තිබෙනවා.
2025 වර්ෂයේ ඔක්තෝබර් 01වන දිනට යෙදුණු ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී අප විසින් වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය සකස් කරලා එළි දක්වනු ලැබුවා.
ඊළඟට, වැඩිහිටියන් සඳහා ආයතනික රැකවරණය සපයනු ලබන මධ්‍යස්ථාන නියාමනයට අදාළ නියෝග සහ මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර 2026 වර්ෂයේ ජාත්‍යන්තර වැඩිහිටි දිනය යෙදුණු ඔක්තෝබර් 01වන දින - ඒ කියන්නේ, පසුගිය සතියේ - අපි ප්‍රකාශයට පත් කළා.
ඒ වාගේම, 2011 අංක 5 දරන පනතින් සංශෝධිත 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව වැඩිහිටි නඩත්තු මණ්ඩලයක් පිහිටුවා තිබෙනවා. ඒ වැඩිහිටි නඩත්තු මණ්ඩලය මඟින්, වැඩිහිටියන්ට නොසලකනු ලබන පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කර අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනවා; දරුවන්ගෙන් නඩත්තු ඉල්ලීමට පහසුකම් සලසනවා.
2. වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම හා නඩත්තුව
වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ ඊට අදාළ කටයුතු.
ලංකාව පුරා පවත්වාගෙන යනු ලබන සියලු වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීම හා දිවයින පුරා පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවස්නයන්හි පවතින යටිතල පහසුකම් වැඩි දියුණු කරමින් ඒවා ප්‍රමිතියට ගෙන ඒම සඳහා ආධාර උපකාර කිරීම කරනවා.
වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ඉදි කිරීම සහ පවත්වාගෙන යාම, ඒ සඳහා උපකරණ මිල දී ගැනීමට ආධාර ලබා දීම.
වැඩිහිටි ප්‍රජාවගේ විවේක කාලය වඩාත් ඵලදායී ලෙස ගත කිරීම සඳහා දිවා මධ්‍යස්ථාන ඉදි කිරීම හා ඒ සඳහා උපකරණ ලබා ගැනීම වෙනුවෙන් ආධාර ලබා දීම.
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන 3ක් මධ්‍යම රජය විසින් පවත්වාගෙන යෑම.
මොනරාගල දිස්ත්‍රික්කයේ, කතරගම Silver Age Centre වැඩිහිටි රැකවරණ, පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය
ගම්පහ දිස්ත්‍රික්කයේ, මාළිගාතැන්න දෝන එවුජින් නෝනා අනුස්මරණ වැඩිහිටි නිවාසය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පන්නල නෙදර්ලන්ත වෙල්කම් විලේජ් වැඩිහිටි නිවාසය
3. වැඩිහිටි කමිටු පිහිටුවීම හා සවිබලගැන්වීම
වැඩිහිටි කමිටු පිහිටුවීම හා සවිබලගැන්වීම.
ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමෙන් වැඩිහිටි කමිටු පිහිටුවීම සඳහා සහ සවිබලගැන්වීම සඳහා ආධාර ලබා දීම.
සංස්කෘතික හා ආගමික කටයුතුවලට උදව් උපකාර කිරීම.
ස්වයං රැකියා ආධාර ලබා දීම
අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම හා රටේ ආර්ථිකයට සවියක් වීම සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම.
4. සුබසාධන කාර්යයන්
වයස අවුරුදු 60 සම්පූර්ණ වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂිත වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම.
අඩු ආදායම්ලාභි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා ශ්‍රවණ උපකරණ, ඇස් කණ්ණාඩි වැනි උපකරණ ලබා දීම.
වෛද්‍ය කඳවුරු සංවිධානය කිරීම හා වැඩිහිටි මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම.
"ආරෝග්‍යා" වැඩිහිටි රෝගාධාර වැඩසටහන.
බෝ නොවන රෝගවලින් පීඩා විඳින අඩු ආදායම්ලාභි අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා රෝගාධාර ලබා දීම. (පිළිකා රෝගය, වකුගඩු ආශ්රිත රෝග, හෘද රෝග, ස්නායු රෝග, පෙනහලු ආශ්රිත රෝග, අක්මාව, අන්ත්රය ආශ්රිත රෝග, පූර්ණ අන්ධභාවය, පේශි හා හන්දි රෝග, අංශභාගය, පාද කපා ඉවත් කිරීම ආදිය)
දීමනා ගෙවීම්.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය හා එක්ව වයස අවුරුදු 70 ඉක්මවූ සහ වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් සඳහා දීමනා ගෙවීම සහ ඒ සම්බන්ධ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
අප බලයට එනකොට රුපියල් 3,000ක දීමනාවක් තමයි ලබා දුන්නේ. අපි එය රුපියල් 5,000 දක්වා වැඩි කර ලබා දෙනවා.
"දිරිය පියස" නිවාස යෝජනා ක්‍රමය.
වයස අවුරුදු 60ට වැඩි අඩු ආදායම්ලාභින් සඳහා අලුතින් නිවසක් ඉදි කිරීම හෝ පවතින නිවස අලුත්වැඩියා කර සංවර්ධනය කර ගැනීම වෙනුවෙන් ආධාර ලබා දීම.
"සුවපහසු" මූල්‍යාධාර යෝජනා ක්‍රමය.
අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා තම නිවාසයන්හි ජීවත් වීමේදී අවශ්‍ය කරනු ලබන අවම පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සලසා ගැනීම සඳහා ආධාර ලබා දීම.
විශේෂයෙන්ම අඩු ආදායම්ලාභි වැඩිහිටියන් සඳහා එක් වරක් පමණක් ගෙවන රුපියල් 100,000ක ආධාර මුදලක් ලබා දීම සිදු කරනවා.
(vi) වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මඟින් සිදු කරනු ලබන සේවාවන් හා ප්‍රතිලාභින් පිළිබඳ තොරතුරු ඇතුළත් වගුව මා සභාගත* කරනවා.
පිළිතුරු දුන් දිනය
2026-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks