01

E   |   த   |  

 දිනය: 2026-09-24   පිළිතුර ලබා දී ඇත 

2190/2026: බස්නාහිර පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්: සමාජගත කිරීම

ගරු දේවානන්ද සුරවීර මහතා,— කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)       (i)       බස්නාහිර පළාත තුළ ලියාපදිංචි කර ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම මධ්‍යස්ථාන අතරින් රජයේ සහ ස්වේච්ඡා මධ්‍යස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම මධ්‍යස්ථාන තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කර ඇති ළමයින් සංඛ්‍යාව කොපමණද;

(iv)    වයස සම්පූර්ණ කළ ළමයින් සමාජගත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් තිබේද;

(v)    එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

 (vi)    එසේ සමාජගත කරනු ලබන එම ළමයින් සම්බන්ධයෙන් පසුවිපරම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන්නේද;

(vii) එසේ නම්, එම ක්‍රියාවලිය කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද‍?

(ආ) (i) මේ වනවිට ක්‍රියාත්මක වන සමාජගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් පිටව යන පිරිමි ළමුන් අපචාර ක්‍රියාවලට හෝ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට යොමුවීම සම්බන්ධයෙන් වාර්තාවී තිබේද;

  (ii) ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් පිටව යන ගැහැණු ළමුන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් පසුවිපරම් ක්‍රියාවලියක් නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ දරුවන්ද පසුව ළමා සංවර්ධන මධ්‍යස්ථානවලට යොමු වන තත්ත්වයක් තිබේද;

      (iii) එවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද‍?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-09-24

අසන ලද්දේ

ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා සහ ළමා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      106කි. මෙම තොරතුරු ලබා දෙන්නේ 2026, එනම් මෙම වර්ෂයේ 06 වැනි මාසයේ 30 වැනි දිනට අදාළවයි.

              (ii)      රජයේ මැදිහත්වීමෙන් පවත්වාගෙන    -                05

                        යන මධ්‍යස්ථාන ගණන

                        ස්වේච්ඡාවෙන් පවත්වාගෙන    -                101

                        යන මධ්‍යස්ථාන ගණන         

(iii) එම මධ්‍යස්ථාන තුළ වයස 18 සම්පූර්ණ කර ඇති ළමුන් සංඛ්‍යාව 77යි. ඒවායේ ස්ත්‍රී 54ක් සහ පුරුෂ 23ක් ලෙස ළමයින් රැඳී සිටිනවා.

(iv) වයස සම්පූර්ණ කළ ළමයින් සමාජගත කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක් තිබෙනවා.

(v) ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ඉන්නා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ළමයින් දීර්ඝ කාලීනව රඳවා තැබීම සිදු නොකරන අතර ළමයාගේ පවුල් පසුබිම හඳුනා ගෙන ළමයින් සමාජගත කිරීමට පෙර, ළමයින් අදාළ පවුල්වලට භාර දීමට හැකියාව තිබෙනවාද කියන එක පිළිබඳව අපි සොයා බලනවා. ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් එම ගැටලු හඳුනා ගෙන ඒවාට අපේ පාර්ශ්වයෙන්; රජය හැටියට ඒ වාගේම පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හැටියට ලබා දිය හැකි විසඳුම් වෙනුවෙන් අපි කටයුතු කරනවා.

එම ගැටලු හඳුනා ගනිමින් පිළියම් සෙවීමට පරිවාස නිලධාරින් ඇතුළු පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් නිලධාරින් සේවය කරනු ලබයි. මේ වනවිට ජාතික යොවුන් සේනාංකයේ මූලිකත්වයෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වයෙන් වයස අවුරුදු 18 සම්පූර්ණ කර ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින තරුණ තරුණියන් රැකියාගත කිරීම මඟින් කඩිනමින් සමාජගත කිරීමට නියමු වැඩ සටහනක් සැලසුම් කර තිබෙනවා.

ඒ වාගේම, වයස සම්පූර්ණ වීමත් සමඟ කඩිනමින් සමාජගත කිරීමට අපහසු ළමුන්ට ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැකවරණය යටතේ රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන අතර, එම ළමුන්ට වෘත්තීය පුහුණුව ලබා දී රැකියා සඳහා යොමු කිරීම, නිසි වයසේදී විවාහ කර දීම වැනි ක්‍රමවේද හරහා ඔවුන් සමාජගත කිරීමට කටයුතු කරනවා. මෙතෙක් වයස අවුරුදු 18 හැටියට තිබුණු එම වයස තුළ සමාජගත වීමට අවස්ථාවක් නැත්නම් ඔවුන් වයස අවුරුදු 21 දක්වා රැකබලා ගැනීම සඳහා අපි ඒ වයස ඉහළ දැමීමකුත් සිදු කර තිබෙනවා.

මේ වනවිටත් රජය මඟින් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින ළමුන්ට මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදෙන අතර, ළමා සංවර්ධන මධ්‍යස්ථානයෙන් පිටව යන අවස්ථාවේ ඔවුන්ට ස්වාධීන පුද්ගලයන් ලෙස සමාජයේ යම් ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට එය අඩිතාලමක් සපයනු ලබනවා.

එමෙන්ම, ජීවිතයේ ඕනෑම අවධියක, ළමා සංවර්ධන මධ්‍යස්ථාවල ජීවත් වී සමාජගත වූවන්ට සහ අවදානමට ලක් වී ඇති දරුවන් සිටින පවුල්වලට   ඉඩමක් මිලදීගෙන නිවසක් ඉදිකිරීමට හෝ තමන් සතු ඉඩමක නිවසක් ඉදිකිරීමට, පවතින නිවස ප්‍රතිසංස්කරණය කිරීමට, එක් ප්‍රතිලාභියෙකුට රුපියල් මිලියන 2ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දීමේ 2026 අය වැය යෝජනාව ක්‍රියාත්මක කරමින් "දිවියට සවියක්" නිවාස වැඩසටහන යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානගතව සිටි ළමයෙකුට ජීවත් වීමට සුදුසු නිවසක් ඉදිකර දීම මේ වන විට ක්‍රියාත්මක කරන අතර, මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරනවා.

(vi) එසේ සමාජගත කරනු ලබන ළමුන් සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාවලියක් සිදු වෙනවා.

(vii) එම ක්‍රියාවලිය මෙසේයි. ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සිට සමාජගත කරනු ලබන ළමුන් සම්බන්ධයෙන් සහ සහතික කළ පාසලකින් සමාජගත කරනු ලබන ළමුන් සම්බන්ධයෙන් පසු විපරම් කටයුතු පළාත් පරිවාස නිලධාරින් විසින් සිදු කරනු ලබනවා. සහතික කළ පාසලකින් සමාජගත කරනු ලබන ළමුන් සම්බන්ධයෙන් පසු විපරම් කර අධිකරණයට ප්‍රගතිය වාර්තා කිරීම ද එම නිලධාරින් විසින්ම සිදු කරනු ලබනවා.

(ආ) (i) පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ විෂය පථය සහ නීතිමය රාමුවට අනුව ඍජුවම මැදිහත්වීම් සහ වගකීම් දරනු ලබන්නේ වයස අවුරුදු 18ට අඩු අනාථ, අත්හළ සහ අසරණ දරුවන්ගේ ආරක්ෂාව, සුබසාධනය හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්.

ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් වයස අවුරුදු 18 සම්පූර්ණ වී සමාජගත වන තරුණයන් යම් අපචාර ක්‍රියාවකට හෝ නීති විරෝධී ක්‍රියාකාරකමකට යොමු වුවහොත් ඔවුන් වයස අවුරුදු 18 ඉක්ම වූ වැඩිහිටි පුද්ගලයන් ලෙස සලකනු ලබන අතර, ඒ පිළිබඳව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට ඍජුව තොරතුරු වාර්තා වීමක් සිදු නොවුණත්, අපි ඒ පිළිබඳව සොයා බැලීමක් කරනවා. ඔවුන්ට සාමාන්‍ය නීතිය යටතේ මැදිහත් වීමේ බලයක් තමයි තිබෙන්නේ; සාමාන්‍ය නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ.

එසේම, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිවිල් සහ අපරාධ නීතිය යටතේ වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුරවැසියෙකු විසින් සිදු කරනු ලබන නීති විරෝධී අපචාර හෝ අපරාධමය ක්‍රියාවක් සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය වෙතයි තිබෙන්නේ. ඒ නිසා අපට ලැබෙන තොරතුරු අපි පොලීසියට ලබා දෙනවා.

(ii) ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් සමාජගත වන ගැහැනු ළමයින් සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාවලියක් තිබෙනවා. ළමා නිවාසගත වූ ඉතා සීමිත ළමුන් ප්‍රමාණයකගේ දරුවන් නැවතත් ළමා නිවාසගත වීමේ අවදානමක් තිබුණත්, සෑම ළමයෙකුගේම දරුවන් නැවත ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත යොමු වීමක් සිද්ධ වන්නේ නැහැ.

මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා තමයි අපි නිවාස වැඩසටහන් ආරම්භ කරලා තිබෙන්නේ. බොහෝ වෙලාවට අවදානම් හෝ අනාරක්ෂිත තත්ත්වයට නැවත පත්වීම මත ගැහැනු දරුවන්ගේ ළමයිනුත් නැවත වතාවක් ළමා සංවර්ධන මධ්‍යස්ථානවලට ඒමේ අවස්ථාවක් තිබෙනවා. ඒක වළක්වා ගැනීම සඳහා තමයි අපි මේ නිවාස ආධාර වැඩසටහන ආරම්භ කරලා තිබෙන්නේ.

(iii) එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ළමුන් නැවත ළමා නිවාසගත වීම මඟ හැර ගැනීමට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වඩා එම ළමුන් සමාජගත කිරීම විධිමත් කිරීම සහ පසු විපරම් ක්‍රියාවලින් ශක්තිමත් කිරීම සිදු කරන්න ඕනෑ. ඒ සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු කර ඇති අතර, එහිදී ළමා නිවාසගතව සිටින වයස අවුරුදු 16 සම්පූර්ණ කළ විධිමත් අධ්‍යාපනය නොලබන දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කරමින් තිබෙනවා.

ඒ වාගේම, වයස අවුරුදු 18 සම්පූර්ණ කළ දරුවන් මනා සැලසුමක් හා අවබෝධයක් සහිතව සමාජගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තවදුරටත් සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් රැකියාගත කරවීම, වෘත්තීය පුහුණුව හෝ උසස් අධ්‍යාපනය ලබා දීම මඟින් එම දරුවන්ගේ අනාගතය ස්ථාවර කිරීමට කටයුතු කරනු ලබනවා.

(ඇ) අදාළ නොවේ. 

පිළිතුරු දුන් දිනය

2026-09-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks