පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්රාමික) ප්රගීත් මධුරංග මහතා,— ආරක්ෂක අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ‘ජාතික ආරක්ෂක අරමුදල’ පිහිටුවීමේ අරමුණු, නීතිමය පදනම සහ සංයුතිය කවරේද;
(ii) අරමුදලට සාමාජිකයින් පත් කර ගනු ලබන ආකාරය සහ අවශ්ය සුදුසුකම් කවරේද;
(iii) අරමුදලට මුදල් ලැබෙන ආකාරය සහ එහි වර්තමාන සාමාජිකයින් කවරේද;
(iv) නව සාමාජිකයින් පත් කරනු ලබන ආකාරය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) පසුගිය දශකය තුළ ලබාදී ඇති සේවාවන් කවරේද;
(ii) අරමුදල අභ්යන්තර/රාජ්ය විගණනයකට ලක්වන්නේද;
(iii) 2025 වාර්ෂික වාර්තාව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේද;
(iv) නොඑසේ නම්, අවසාන වරට ඉදිරිපත් කර ඇති වර්ෂය කවරේද;
(v) වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරිමේ ප්රමාදයන් සිදුවී තිබේ නම්, ඊට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) 2026 වර්ෂය සඳහා ක්රියාකාරි සැලැස්මක් සහ ඒ සඳහා අමාත්යාංශයේ පරිපාලන නිලධාරියෙකු ස්ථිරව පත්කර තිබේද;
(ii) මෙම අරමුදල තවදුරටත් පවත්වාගෙන යා යුතු වන්නේ නම්, එ් සඳහා හේතු කවරේද;
(iii) ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්රියාමාර්ග කවරේද;
යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-10
අසන ලද්දේ
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්රාමික) ප්රගීත් මධුරංග මහතා, පා.ම.
අමාත්යාංශය
ආරක්ෂක
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පිහිටුවීමේ අරමුණු
ජාතික ආරක්ෂක අරමුදල් පනතේ 9වන වගන්තියට අනුව එකී අරමුදල පිහිටුවීමේ අරමුණ වන්නේ, තම රාජකාරි කටයුතු ඉටු කරන අතරතුරදී තුවාල ලද හෝ මියගිය, පොලිස් බලකායේ හෝ සන්නද්ධ හමුදාවල හෝ යම් සාමාජිකයෙකුගේ පවුල්වලට යම් ප්රතිලාභ ගෙවීම ඇතුළුව ජාතික ආරක්ෂාව ප්රවර්ධනය කිරීමට සහ සහතික කිරීමට වඩාත්ම හේතු වන්නේ යැයි මණ්ඩලය අදහස් කරන ආකාරයට සහ කාර්යයන්ට, අරමුදලට අයත් මුදල් ජනාධිපතිවරයාගේ විධානවලට යටත්ව යොදා ගැනීමයි.
නීතිමය පදනම
1985 අංක 9 දරන ජාතික ආරක්ෂක අරමුදල් පනත මඟින් ජාතික ආරක්ෂක අරමුදල සංස්ථාපනය කර ඇති අතර, 1991 අංක 10 දරන සංශෝධන පනත මඟින් සහ 2018 අංක 16 දරන සංශෝධන පනත මඟින් මෙම අරමුදලට අදාළ නෛතික ප්රතිපාදන සංශෝධනය කර ඇත.
සංයුතිය
අ. සභාපති - ජනරජයේ ජනාධිපති ලේකම්වරයා (ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් පැවති සභාපති ධුරය 2018 අංක 16 සංශෝධන පනත මඟින් ජනරජයේ ජනාධිපති ලේකම්වරයා ලෙස සංශෝධනය කර ඇත.)
ආ. සාමාජික - ආරක්ෂක විෂයය භාර අමාත්යවරයාගේ අමාත්යාංශයේ ලේකම්වරයා (ජාතික ආරක්ෂක විෂයය භාර අමාත්යවරයා වශයෙන් පැවති සාමාජිකත්වය 2018 අංක 16 සංශෝධන පනත මඟින් ආරක්ෂක විෂයය භාර අමාත්යවරයාගේ අමාත්යාංශයේ ලේකම්වරයා වශයෙන් සංශෝධනය කර ඇත.)
ඇ. සාමාජික - ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකු
(ii) අ. සභාපති - ජනරජයේ ජනාධිපති ලේකම්වරයා නිල බලයෙන් පත් වේ.
ආ. සාමාජික - ආරක්ෂක විෂයය භාර අමාත්යවරයාගේ අමාත්යාංශයේ ලේකම්වරයා නිල බලයෙන් පත් වේ.
ඇ. සාමාජික - ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයා.
(iii) අරමුදලට මුදල් ලැබෙන ආකාරය
ස්ථාවර තැන්පත් පොලී ආදායම
ජාතික ආරක්ෂක අරමුදලට අයත් කොහුවල නිවාස 03ක කුලී ආදායම
වර්තමාන සාමාජිකයන්
සභාපති - ආචාර්ය එන්.එස්. කුමානායක මහතා
සාමාජික - එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) - (ආරක්ෂක ලේකම්)
සාමාජික - මහාචාර්ය පූජ්යපාද අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේ
(iv) සභාපති - ජනරජයේ ජනාධිපති ලේකම්වරයා නිල බලයෙන් පත් වේ.
සාමාජික - ආරක්ෂක විෂයය භාර අමාත්යවරයාගේ අමාත්යාංශයේ ලේකම්වරයා නිල බලයෙන් පත් වේ.
සාමාජික - ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයා.
(ආ) (i) "විරුසිසු ප්රදීප" ශිෂ්යත්ව ලබා දීමේ ව්යාපෘතිය
5 වසර ශිෂ්යත්ව විභාගය සමත් රණවිරු දූ දරුවන් සඳහා ක්රියාත්මක "විරුසිසු ප්රදීප" ශිෂ්යත්ව ලබා දීමේ ව්යාපෘතිය. එක් ප්රතිලාභී දරුවෙක් සඳහා රුපියල් 25,000ක් ළමා ඉතිරි කිරීමේ ගිණුමක් මඟින් ප්රදානය කිරීම මේ යටතේ සිදු කරයි.
"මෙත් සෙවණ" අර්ධ නිවාස ව්යාපෘතිය
රණ විරුවන්ගේ අඩක් ඉදි කරගත් නිවාස සඳහා රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව පිරිනමන මූල්යාධාරයක් මත නිවසේ ඉදිකිරීම් සම්පූර්ණ කර දීම.
(ii) ඔව්.
(iii) නැත.
(iv) 2016 වර්ෂයේදී.
(v) මුදල් අමාත්යාංශය යටතේ පැවති ජාතික ආරක්ෂක අරමුදල 2018 අංක 16 දරන සංශෝධන පනත මඟින් ආරක්ෂක අමාත්යාංශය විෂය පථයට ඇතුළත් කිරීමෙන් පසු මුදල් අමාත්යාංශය යටතේ පැවති 2017 කාර්ය සාධන වාර්තාවද සමඟ මේ දක්වා කාර්ය සාධන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස මුදල් අමාත්යාංශය මඟින් ලද උපදෙස් අනුව මේ වනවිට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී.
(ඇ) (i) 2026 වර්ෂය සඳහා ක්රියාකාරී සැලැස්මක් සකස් කර ඇත. අමාත්යාංශයේ පරිපාලන අංශය යටතේ විෂයයක් වශයෙන් අරමුදලේ පරිපාලන කටයුතු සිදු කරනු ලබයි.
(ii) රාජකාරී කටයුතු ඉටු කරන අතරතුරදී තුවාල ලද හෝ මිය ගිය සන්නද්ධ හමුදාවල හෝ පොලිස් බලකායේ යම් සාමාජිකයෙකුට හෝ සාමාජිකයින්ගේ පවුල්වලට සුබසාධන ප්රතිලාභ ලබාදීම සහ ජාතික ආරක්ෂාව ප්රවර්ධනය කිරීමට සහ සහතික කිරීමට අරමුදල තවදුරටත් පවත්වාගෙන යාම සුදුසු බව නිරීක්ෂණය කෙරේ.
(iii) ජාතික ආරක්ෂක අරමුදල සහ "අපි වෙනුවෙන් අපි" අරමුදල ඒකාබද්ධ කර තනි අරමුදලක් වශයෙන් පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳව විද්වත් කමිටුවක් පත් කර සොයා බලන ලෙස ජාතික ආරක්ෂක අරමුදලේ 15 වන පාලක මණ්ඩල රැස්වීමේදී සිදු කරන ලද සාකච්ඡාවට අදාළව විද්වත් කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ කටයුතු සිදු කරමින් පවතී.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-09-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks