පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි පුද්ගලයන්, රජයේ හෝ අනුමත පුනරුත්ථාපන මධ්‍යස්ථාන මඟින් සාර්ථකව පුනරුත්ථාපනය කරනු ලැබුවද, රැකියා නොලැබීම, විදේශ රැකියා සඳහා යාමේදී බාධා ඇතිවීම, පොලිස් නිශ්කාෂණ වාර්තා ලබාගැනීමේ ගැටලු, සමාජයෙන් ප්‍රතික්ෂේපවීම සහ ආරක්ෂක අංශ මඟින් සැක සහිත පුද්ගලයන් ලෙස සැලකීම වැනි හේතු නිසා නැවත මත්ද්‍රව්‍ය භාවිතයට හෝ අපරාධ ජාල වෙත යොමුවීමේ නැඹුරුතාවක් පවතින බව එතුමා පිළිගන්නෙහිද;
(ආ) (i) මේ වනවිට ක්‍රියාත්මක වන පිළිගත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම මධ්‍යස්ථාන මඟින් සාමාන්‍යයෙන් වාර්ෂිකව පුනරුත්ථාපනය කරනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iii) පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා පුද්ගලයන් යොමු කිරීමේ ක්‍රමවේද කවරේද;
(iv) පුනරුත්ථාපනය කිරීමෙන් පසු නැවත මත්ද්‍රව්‍ය භාවිතයට සහ අපරාධ වෙත යොමුවීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) නිසි පුනරුත්ථාපන ක්‍රියාවලියක් සම්පූර්ණ කිරීමෙන් සහ යම් පරිවාස කාලයකින් අනතුරුව, සුළු චෝදනා සහිත පුද්ගලයන් අපරාධමය චෝදනාවලින් නිදහස් කර පොලිස් නිශ්කාෂණ වාර්තා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ හැකියාව තිබේද;
(vi) නොඑසේ නම්, ඒ සඳහා හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සමීක්ෂණවලට අනුව පුනරුත්ථාපනය කර නැවත මුදාහරින පුද්ගලයන් අතරින් සියයට 40ක් ද පුනරුත්ථාපන කාර්යාංශයට අනුව සියයට 70ක් ද නැවත මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන බව පෙනී යයි. ඒ අනුව පුනරුත්ථාපනයට යොමු කරන පිරිස අතරින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් ඇසුරු කරනු ලබන පුද්ගලයන් හා ජීවත්වන පරිසරය වැනි සාධක මත නැවත මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන බව අධ්‍යයනවලින් පැහැදිලි වේ.
(ආ) (i) දැනට ක්‍රියාත්මක වන පිළිගත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගණන 41කි.
පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන - 03
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන - 09
බලපත්‍රලාභි පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන - 22
නාමෝද්දිෂ්ට පුනරුත්ථාපන මධ්‍යස්ථාන (බන්ධනාගාර) - 07
ඒ සම්බන්ධ සවිස්තර වාර්තාව ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ii) වාර්ෂිකව ආසන්න වශයෙන් පුද්ගලයන් 10,808ක පමණ පිරිසක් පුනරුත්ථාපනය අවසන් කරනු ලබනවා.
(iii) 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනතෙහි 9 (1) වගන්තියේ නෛතික ප්‍රතිපාදනවලට අනුව අන්තරාදායක ඖෂධවලට ඇබ්බැහිවීම සම්බන්ධ ප්‍රතිකාර ලැබීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන තැනැත්තෙකුට ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කළ හැකි ය. එම ඉල්ලුම්කරු බාල වයස්කරුවෙකු වුවහොත් දෙමාපියන් හෝ භාරකරු විසින් එම බාලවයස්කරු වෙනුවෙන් ඇතුළත්වීම සඳහා ඉල්ලීමක් කළ හැකි ය.
මේ සම්බන්ධව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංවර්ධන නිලධාරියෙකු ස්ථානගතව ඇති අතර, ඔහු හා සම්බන්ධව වී පුනරුත්ථාපනයට යොමු වීමට හැකියාව පවතී.
පනතේ 10 (1), (2), (3), (4) වගන්ති හි නෛතික ප්‍රතිපාදන අනුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට අනිවාර්යයෙන් ඇතුළත් කිරීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පහත පරිදි ය.
• යම් තැනැත්තෙක් අන්තරායකර ඖෂධ පුරුද්දක් වශයෙන් පාවිච්චි කරන්නෙකු බව හා එයට ඇබ්බැහි වූවකු බව පොලිස් ස්ථානයේ ස්ථානභාර නිලධාරියෙකුට තොරතුරු ලැබුණු අවස්ථාවක රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලවා ඒ තැනැත්තා පරීක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබේ.
• රජයේ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව අනුව ඔහු විසින් පරීක්ෂා කරනු ලැබූ තැනැත්තා අන්තරායදායක ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තෙක් නම්, පොලිස් ස්ථානයේ ස්ථාන භාර නිලධාරියා විසින් එම තැනැත්තා මහෙස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු හෝ ඉදිරිපත් කිරීමට සැලැස්විය යුතු අතර, ඒ තැනැත්තා මහෙස්ත්‍රාත්වරයා විසින් තීරණය කරනු ලබන මෙම පනත යටතේ නාමෝද්දිෂ්ට හෝ බලපත්‍රලත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක දී අනිවාර්ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා යවන ලෙස ඒ මහෙස්ත්‍රාත්වරයා විසින් ආඥා කළ යුතුය.
• 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග පිළිබඳ සංශෝධන පනතේ 86 සහ 87 වගන්ති මඟින්ද පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන දක්වා ඇති අතර ඇබ්බැහි වීමේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන තීරණය කරනු ලබන යම් කාල සීමාවකට අධිකරණය විසින් ඒ තැනැත්තා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට භාර දිය හැක. එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත එම රඳවා තබාගන්නා කාලසීමාව දීර්ඝ කරනු ලැබිය හැක.
• පුනරුත්ථාපන කාර්යාංශය යටතේ ඇති පුනරුත්ථාපන මධ්‍යස්ථාන සඳහාද,
Ø අධිකරණ නියෝග මත ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා ඇතුළත් කර ගැනීම හා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා ඇතුළත් කර ගැනීම යන ක්‍රම යටතේ ඉහත ආකාරයෙන්ම පුනරුත්ථාපනය සඳහා යොමු වීමේ හැකියාව පවතිනවා. එසේම 1927 කෙටි දුකරථන අංකය ඔස්සේ මේ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.
(iv) මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමෙන් පසු නැවත මත්ද්‍රව්‍ය භාවිතයට සහ අපරාධ වෙත යොමු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පුනරුත්ථාපන කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පහත පරිදි වේ.
• පුනරුත්ථාපනලාභියා නැවත සමාජගත වීමේදී මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීම තුළින් ඔවුන්ට නිවැරදි මඟපෙන්වීම ලබා දීම.
• පුද්ගලයාගේ අවශ්‍යතාව මත අවශ්‍ය අවස්ථාවලදී තනි පුද්ගල, පවුල් උපදේශන සේවා ලබාදෙමින් පවුල් සංස්ථාවේ වැදගත්කම අවබෝධ කරවීම තුළින් පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම.
• ස්වයං රැකියාවක නිරතව සිටින හා ඒ සඳහා කැමැත්තක් දක්වන සමාජගත පුනරුත්ථාපනලාභීන්ට ස්වයං රැකියා උපකරණ කට්ටල ලබා දීම.
• මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.
• මත්ද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි පරිසරයක ඔවුන් ජීවත් වන්නේ නම් එම පරිසරයෙන් ඔවුන් වෙනත් ස්ථාන කරා යොමු කිරීමට ඇති හැකියාව සොයා බැලීම.
• වෘත්තීය පුහුණු අවස්ථා, දේශීය හා විදේශීය රැකියාගත කිරීමේ වැඩසටහන් සඳහා මඟපෙන්වීම.
• සමාජගත පුනරුත්ථාපනලාභීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා ආගමික වැඩසටහන් හා ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ උපදේශන සේවා පැවැත්වීම.
• සමාජගත පුනරුත්ථාපනලාභීන් සම්බන්ධව කාලීන පසුවිපරම් සිදු කිරීම.
(v) පුනරුත්ථාපනය සඳහා ස්වෙච්ඡාවෙන් හෝ නීතිමය ක්‍රියාමාර්ගවලින් යොමු වන පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රෝගීන් ලෙස සලකනු විනා අපරාධකරුවන් ලෙස නොසලකන අතර යම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක යම් කාලසීමාවක් පුනරුත්ථාපනයට ලක් වීමෙන් පසු යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත වන පුද්ගලයෙකුට පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීමේදී කිසිදු ගැටලුවක් පැනනඟින්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතිමය රාමුව තුළ නිසි පුනරුත්ථාපන ක්‍රියාවලියක් සම්පූර්ණ කිරීම හෝ පරිවාස කාලසීමාවක් ගත කිරීම පමණක් පදනම් කරගෙන පුද්ගලයෙකුට එරෙහිව නීත්‍යනුකූලව වාර්තා වී ඇති අපරාධ චෝදනා හෝ අපරාධ වාර්තා පොලිස් වාර්තා පද්ධතියෙන් ඉවත් කිරීමට හෝ ඒවා නොසලකා පොලිස් නිෂ්කාශන වාර්තාවක් නිකුත් කිරීමට නීතිමය ප්‍රතිපාදනයක් නැහැ.
එසේ වුවත්, අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා පුනරුත්ථාපනය සඳහා යොමු වන අයට අදාළ වන සේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන සුළු වැරදි සඳහා නිශ්චිත කාලයකින් අනතුරුව එම වැරදි සාමාන්‍ය පසුබිම් පරීක්ෂණවලදී අනාවරණ නොවන පරිදි සලකා ඒ සම්බන්ධයෙන් පොලිස් වාර්තා නිකුත් කිරීමට ඇති හැකියාව පිළිබඳ මේ වෙනකොට අධ්‍යයනය කරමින් තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී එම අධ්‍යයනවලින් පසුව නීති පද්ධතියට හා මහජන ආරක්ෂාවට අනුකූල වන පරිදි ප්‍රතිපත්තිමය හා නීතිමය වශයෙන් එම කරුණු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තිබෙනවා.
(vi) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks