E   |     |  

 දිනය: 2026-07-24   පිළිතුර ලබා දී ඇත 

2093/2026: මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ අවුරුදු 18 ට අඩු දරුවන්: පුනරුත්ථාපනය

ගරු දේවානන්ද සුරවීර මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      2025 වර්ෂයේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් කොළඹ   දිස්ත්‍රික්කය තුළ පොලිස් භාරයේ සිටින වයස අවුරුදු 18ට අඩු ළමයින් සංඛ්‍යාව කොපමණද;

(ii) මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ ළමයින් පුනරුත්ථාපනය කිරීමේ  ක්‍රමවේදයක් තිබේද;

 (iii) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

 (iv) මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූ ළමයින් පුනරුත්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති ආයතන සංඛ්‍යාව කොපමණද;

 (v) එම ආයතනවල නම් කවරේද;

 (vi) මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූ ළමයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පුනරුත්ථාපන ආයතන වෙත යොමු කරන තෙක් දිගු කාලයක් ළමා රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තබන බව දන්නේද;

(vii) එසේ නම්, ඔවුන් කඩිනමින් පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-24

අසන ලද්දේ

ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නොමැත.

              (ii)      ඔව්.

                        2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනතෙහි 02 වන වගන්තිය අනුව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිර්දේශ මත යම් ස්ථානයක්, ගොඩනැඟිල්ලක් හෝ ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් රැකබලා ගැනීමට හා පුනරුත්ථාපනය සඳහා වූ මධ්‍යස්ථාන වශයෙන් නම් කිරීමට අමාත්‍යවරයාට බලය පැවරී තිබේ. දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති පල්ලේකැලේ, වටරැක, තල්දෙන, වීරවිල, අනුරාධපුර, පල්ලන්සේන, කන්දවත්ත හා මීතිරිගල යන ස්ථාන අටක නාමෝද්දිෂ්ට ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැසට් කර ඇත.

(iii) • 2007 අංන 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනතෙහි 9(1) වගන්තියේ නෛතික ප්‍රතිපාදනවලට අනුව අන්තරායදායක ඖෂධවලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ප්‍රතිකාර ලැබීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන තැනැත්තෙකුට ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කළ හැකිය.

බාල වයස්කරුවන් පුනරුත්ථාපනය හා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමේදී දෙමාපියන් හෝ භාරකරු විසින් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතුය.

මේ සම්බන්ධව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංවර්ධන නිලධාරියෙකු ස්ථානගතව ඇති අතර, ඔහු හා සම්බන්ධ වී පුනරුත්ථාපනයට යොමු විය හැකිය.

• පනතේ 10(1), (2), (3), (4) වගන්තීන්හි නෛතික ප්‍රතිපාදන අනුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට අනිවාර්යයෙන් ඇතුළත් කිරීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පහත පරිදිය.

යම් තැනැත්තෙක් අන්තරායදායක ඖෂධ පුරුද්දක් වශයෙන් පාවිච්චි කරන්නෙකු බව හා එයට ඇබ්බැහි වූවකු බව පොලිස් ස්ථානයේ ස්ථානභාර නිලධාරියෙකුට තොරතුරු ලැබුණ අවස්ථාවක රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලවා ඒ තැනැත්තා පරීක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබේ.

රජයේ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව අනුව ඔහු විසින් පරීක්ෂා කරනු ලැබූ තැනැත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැත්තෙක් නම්, පොලිස් ස්ථානයේ ස්ථාන භාර නිලධාරියා විසින් එම තැනැත්තා මහෙස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කර ඔහුගේ නියෝගය අනුව අදාළ මධ්‍යස්ථානයට ඇතුළත් කළ හැකිය.

• 2022 අංක 41 දරන විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනතේ 86 සහ 87 වගන්ති මඟින්ද පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන දක්වා ඇති අතර, ඇබ්බැහි වීමේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන තීරණය කරන යම් කාලසීමාවකට අධිකරණය විසින් ඒ තැනැත්තා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට භාර දිය හැකිය.

(iv) මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ ළමයින් පුනරුත්ථාපනය සඳහාම වූ මධ්‍යස්ථාන තුනක් තිබෙනවා, ගරු කථානායකතුමනි.

එම මධ්‍යස්ථාන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අතර, ඒවා පහත පරිදි වේ.

අනු අංකය

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නම හා පිහිටි ස්ථානය

පුනරුත්ථාපනයට යොමු කළ හැකි සංඛ්‍යාව

වර්තමානයේ සිටින සංඛ්‍යාව

01

මධ්‍යම පළාත් නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, හන්දෙස්ස, මහනුවර (මාස 03කි)

25

25

02

බස්නාහිර පළාත් කාන්තා නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, තලංගම (මාස 03කි)

25

03

03

නාමෝද්දිෂ්ට මධ්‍යස්ථානයක් වන වටරැක බන්ධනාගාරය, වටරැක

පුනරුත්ථාපනය කළ සංඛ්‍යාව (2026.01.01 සිට 2026.07.10 දක්වා) 1,459

 

 

 

 

 

ගරු කථානායකතුමනි, මම කලින් කිව්වේ නාමෝද්දිෂ්ට ප්‍රතිකාර මධ්‍යස්ථානවල ස්වභාවය. පල්ලෙකැලේ, වටරැක, තල්දෙන, වීරවිල, අනුරාධපුර, පල්ලන්සේන, කන්දවත්ත, මීතිරිගල යන ස්ථාන 8ක ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථාන තිබෙනවා.

(v) අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ වන,

  * මධ්‍යම පළාත් නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, හන්දෙස්ස, මහනුවර.

මෙහි වයස අවුරුදු 21ට අඩු පිරිමි දරුවන් පුනරුත්ථාපනය කරනු ලබයි.

විශේෂයෙන්ම බාලවයස්කාර දරුවන් වෙනුවෙන් තමයි අපි ඒ මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ, ගරු කථානායකතුමනි. වයස අවුරුදු 21ට අඩු පිරිමි දරුවන් තමයි පුනරුත්ථාපනය කරන්නේ.

* බස්නාහිර පළාත් කාන්තා නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, තලංගම.

ඒක මේ පාර්ලිමේන්තුව ආසන්නයේ තිබෙන්නේ. එහි වයස අවුරුදු 21ට අඩු ගැහැනු දරුවන් සහ කාන්තාවන් පමණක් පුනරුත්ථාපනය කරනු ලබනවා.

* නාමෝද්දිෂ්ට මධ්‍යස්ථානයක් වන වටරැක බන්ධනාගාරය, වටරැක.

2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත යටතේ ස්ථාපිත කර ඇති නාමෝද්දිෂ්ට ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් ළමුන් සඳහා වටරැක බන්ධනාගාරය පමණක් ක්‍රියාත්මක වන අතර, එහි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ළමුන් පමණක් නොව‍ සෙසු වැරදි සඳහා යොමු කළ ළමුන්ද ප්‍රතිකාර ලබයි.

(vi) ඔව්.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අවස්ථාව ලැබෙන තුරු පරිවාස නිලධාරින් මඟින් පරිවාස භාරයේ රඳවා තබා ගැනීම  සිදු කරනවා, ගරු කථානායකතුමනි.

(vii) පුනරුත්ථාපන කටයුතු සඳහා යම්කිසි නිශ්චිත කාල සීමාවකට යටත්ව යොමු කරනු ලබන අතර එම කාර්යය අවසන් වනතුරු වෙනත් පිරිසක් යොමු කිරීමට හැකියාවක් නොමැති බැවින්, කෙටි කාලීන විසඳුමක් ලෙස පවතින මධ්‍යස්ථානවල ඇති ඉඩකඩ පුළුල් කිරීමද, දීර්ඝ කාලීන විසඳුමක් ලෙස නව මධ්‍යස්ථාන ගොඩනැඟීමද හඳුනාගෙන ඇත.

  • අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ වන මධ්‍යම පළාත් නිවාරණ මධ්‍යස්ථානයේ ධාරිතාව තුන් ගුණයකින් පුළුල් කිරීම සඳහා තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කරමින් පවතින අතර එහි ඉදි කිරීම් කටයුතු අවසන් අදියරේ පවතී. මීට අමතරව, ළමුන් සඳහා මධ්‍යස්ථාන කිහිපයක් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගනු ලැබේ.
  • වයස අවුරුදු 21 අඩු ගැහැනු දරුවන් සඳහා තලංගම ප්‍රතිකාර මධ්‍යස්ථානය පූර්ණ වශයෙන් කාන්තා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා, ගරු කථානායකතුමනි.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks