E   |   த   |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

2062/2026: ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින්: බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය සහ තනතුරු නාම

ගරු ජේ.සී. අලවතුවල මහතා,—  රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් කවරේද;

            (ii)       එම සේවයට නිලධාරින් බඳවා ගනු ලබන ක්‍රමවේදය කවරේද;

(iii) එම සේවයට අයත් තනතුරු නාම කවරේද;

(iv) පරිපාලන සේවයට අයත් වුවද, දැනට වෙනත් සේවාවන්ට අයත් නිලධාරින් විසින් දරන තනතුරු හෝ වැඩ බලන තනතුරු නාම සහ සේවා ස්ථාන කවරේද;

(v) පරිපාලන සේවය විධිමත් රාජ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා, එම නිලධාරින් සුදුසු ස්ථානවල ස්ථානගත කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත ධාරාව සඳහා බඳවා ගැනීමේ සුදුසුකම්:-

                        පොදු සුදුසුකම්:

i.      ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම.

ii.     විශ්ෂ්ට චරිතයකින් යුක්ත වීම.

iii.    දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත වීම.

                        අධ්‍යාපන/වෘත්තීය සුදුසුකම් හා වයස් සීමාව:

 

සේවය

වයස

අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්

 

 

අධ්‍යාපන

වෘත්තීය

ශ්‍රී ලංකා පරිපාලන සේවය

අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන දිනට හෝ එදිනට පෙර වයස අවුරුදු විසිදෙකට (22ට) නොඅඩු විය යුතු අතර, අවුරුදු විසිඅටට (28ට) නොවැඩි විය යුතුය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විදේශීය හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පිරිනමනු ලබන උපාධියක් / ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත විශ්වවිද්‍යාලයකින් පිරිනමනු ලබන උපාධියක් හෝ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25A වගන්තිය යටතේ පිළිගත් උපාධියක් ලබා තිබීම.

අදාළ නැත.

 

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත ධාරාව සඳහා බඳවා ගැනීමේ සුදුසුකම්.

පොදු සුදුසුකම්

i. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම.

ii. විශිෂ්ට චරිතයකින් යුක්ත වීම.

iii. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත වීම.

අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද

i. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විදේශීය හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පිරිනමනු ලබන උපාධියක්

හෝ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත විශ්වවිද්‍යාලයකින් පිරිනමනු ලබන උපාධියක්

හෝ

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25A වගන්තිය යටතේ පිළිගත් උපාධියක්

සහ

රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයක හෝ ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 හි වැටුප් කේත අංක MN 2-2025 හෝ ඊට ඉහළ MN වැටුප් කේත අංකයක් යටතේ වැටුප් ලබන SL 1-2025 වැටුප් කේත අංකය යටතේ වැටුප් ලබන හෝ සේවයක / තනතුරක අවම වශයෙන් වසර 5ක සක්‍රිය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරියකු වීම.

හෝ

ii. රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයක හෝ ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 හි වැටුප් කේත අංක MN 2-2025 හෝ ඊට ඉහළ MN වැටුප් කේත අංකයක් යටතේ වැටුප් ලබන SL 1-2025 වැටුප් කේත අංකය යටතේ වැටුප් ලබන හෝ සේවයක / තනතුරක අවම වශයෙන් වසර 10ක සක්‍රිය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරියකු වීම.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ කුසලතා ධාරාව සඳහා බඳවා ගැනීමේ සුදුසුකම්.

අදාළ සුදුසුකම් සහ පළපුරුද්ද:

i. කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධි පන්තියේ හෝ පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයක අධි පන්තියේ ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත තනතුරක නිලධාරියකු වීම.

හෝ

ii. කළමනාකරණ සේවා නිලධාරි සේවයේ හෝ පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයක හෝ පළමුවන ශ්‍රේණියේ (I ශ්‍රේණියේ) වසර දහයක (10ක) සක්‍රිය හා සතුටුදායක සේවා කාලයක් සහිත එම සේවයක වසර විස්සකට (20කට) නොඅඩු සක්‍රිය හා සතුටුදායක සේවා කාලයක් ඇති නිලධාරියකු වීම.

සටහන:

මෙහිදී සේවා කාලය ගණනය කිරීමේදී රාජ්‍ය සේවයේ සහ / හෝ පළාත් රාජ්‍ය සේවයන්හි අදාළ අඛණ්ඩ සේවා කාලයන්හි එකතුව ගණන් ගනු ලැබේ. අධි සේවක පදනම මත කිසියම් තනතුරකට පත් කරනු ලැබූ අවස්ථාවන් හෝ පත්වීම් පෙරදාතම් කරනු ලැබූ අවස්ථාවන් හෝ තනතුරක වැඩ බැලීමක් / රාජකාරි ඉටු කිරීමක් සිදු කරනු ලැබූ අවස්ථාවන් හෝ ජ්‍යෙෂ්ඨතා ලකුණු ගණනය කිරීමේදී සලකා නොබලන අතර, ඒ සඳහා නිත්‍ය තනතුර පමණක් පදනම් කරගනු ලැබේ.

අංක 1842/2 දරන 2013.12.23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවේ අංක 10 යටතේ සඳහන් පරිදි විවෘත / සීමිත / කුසලතා පදනමින් බඳවා ගැනීමට අදාළ සුදුසුකම් වැඩිදුරටත් සඳහන් කර ඇත.  (ඇමුණුම 01**). 

(ii) අංක 1842/2 දරන 2013.12.23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවේ අංක 10.2.6 යටතේ සඳහන් පරිදි විවෘත / සීමිත / කුසලතා යන පදනමින් තරග විභාගය හා සම්මුඛ පරීක්ෂණය මඟින් බඳවාගනු ලැබේ. (ඇමුණුම 02**) 

තවද, අංක අමප/23/0160/605/012 හා 2023.02.07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව විවෘත තරග විභාගය දීපව්‍යාප්ත සේවාවන් සඳහා පොදු තරග විභාගයක් ලෙස 2021 වර්ෂයේ සිට පැවැත්වීමට කටයුතු කර ඇත.

(iii) ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ / I/II/III ශ්‍රේණියේ තනතුරු පිළිබඳ සේවා ව්‍යවස්ථාවේ "අ" උපලේඛනයේ ඇතුළත් වේ. (ඇමුණුම 03**) 

මෙම තනතුරු උපලේඛනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක SC FR 23/2014 හි තීන්දුවට අදාළව ක්‍රියා කිරීමට යටත් වේ.

(iv) අමාත්‍ය මණ්ඩලය පත් කිරීම් බලධරයා වශයෙන් ක්‍රියා කරනු ලබන දෙපාර්තමේන්තු ප්‍රධානී වැනි තනතුරු ශ්‍රී ලංකා පරිපාලන සේවා තනතුරු උපලේඛනයට අයත් තනතුරු වුවද, වෙනත් සේවාවන්ට අයත් නිලධාරින් පත් කර ඇත. එලෙස පත් කරන ලදුව, මෙම අමාත්‍යාංශයට වාර්තා වී ඇති තනතුරු පහත දක්වා ඇත.

සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් - සුරාබදු දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ ජනරාල් - මූල්‍ය ප්‍රතිපත්තිදෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ ජනරාල් - විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ ජනරාල් - රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව

කොමසාරිස් ජනරාල් - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

නාගරික කොමසාරිස් - කොළඹ මහ නගර සභාව

(v) ශ්‍රී ලංකා පරිපාලන සේවය, අනෙකුත් දීප ව්‍යාප්ත සේවාවල මෙන්ම III, II, I හා විශේෂ ශ්‍රේණි ලෙස ශ්‍රේණිගත කර ඇත. ඒ අනුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති තනතුරු සැලකිල්ලට ගෙන සේවාවේ අවශ්‍යතාවන්ද පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති ප්‍රතිපාදන ප්‍රකාරව ස්ථාන මාරු කිරීම් මත කරනු ලබන පත්වීම් ලෙස උසස් කිරීම් මඟින් කරනු ලබන පත් කිරීම් ලෙස හා නවක පත්වීම් මඟින් කරනු ලබන පත් කිරීම් ලෙස නිලධාරින් ස්ථානගත කිරීමට විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මකව ඇත. තවද, 2021 වර්ෂයේ තරග විභාග පැවැත්වීමෙන් පසු මෙම සේවාවට අදාළ බඳවා ගැනීමේ කටයුතු සිදුවී නොමැති වීම මත සේවා ස්ථානවල III ශ්‍රේණියේ පුරප්පාඩු පවතින අතර, මෙම වසරේ නව බඳවා ගැනීම් තුළින් එම තත්ත්වයන් අවම කිරීමට පියවර ගනිමින් පවතී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks