E   |     |  

 දිනය: 2026-07-21   පිළිතුර ලබා දී ඇත 

2060/2026: කොටියාකුඹුර ප්‍රදේශයේ පානීය ජල හිඟය: ව්‍යාපෘති ‍යෝජනා

ගරු කංචන වැලිපිටිය මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      කෑගල්ල දිස්ත්‍රික්කයේ, කොටියාකුඹුර ප්‍රදේශයේ දෙදහසකට අධික ජනතාවක් උග්‍ර පානීය ජල ගැටලුවකින් පීඩා විඳින බව දන්නේද;

         (ii) 2023 වර්ෂයේ සිට එම ගැටලුව විසඳීම සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා 02 කවරේද;

(iii) එම යෝජිත ව්‍යාපෘති අනුමත කර, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

        (iv) එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් කොටියාකුඹුර ප්‍රදේශයේ ජල ගැටලුවට විසඳුමක් ලැබෙන ආකාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-21

අසන ලද්දේ

ගරු කංචන වැලිපිටිය මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      1.     කොටියාකුඹුර ග්‍රාමීය ජල සම්පාදන        ව්‍යාපෘතිය මඟින් සපයනු ලබන ජලයේ        ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා            පිරිපහදු පද්ධතියක් ලබා දීම.

                        2.     ගලිගමුව, රුක්ගහතැන්න ග්‍රාම නිලධාරි        වසමේ රුක්ගහතැන්න, දෙමටගොල්ල,        වෙරළුගස්තැන්න, ගලඋඩහේන,        හැරමන්නාව, බෝහින්න හා අම්පේ උතුර යන පානීය ජල දුෂ්කරතා පවතින ප්‍රදේශ තුළ පවුල් 582කට පානීය ජලය ලබාදීම.

(iii) උක්ත යෝජනා 02 ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර, කොටියාකුඹුර ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා පිරිපහදු පද්ධතියක් ලබාදීම සඳහා ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (WASSIP) මඟින් ද, පානීය ජල දුෂ්කරතා පවතින ගලිගමුව - රුක්ගහතැන්න ග්‍රාම නිලධාරි වසම් සඳහා පානීය ජලය ලබාදීමට අදාළව දෙපාර්තමේන්තුව මඟින් ද වෙන් වෙන්ව ඇස්තමේන්තු 02ක් සකස් කර ඇත. එම ව්‍යාපෘති 02 සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට පෙර, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බැවින්, එම අනුමැතියට යොමු කිරීම සඳහා 2026.03.17 වන දින ශක්‍යතා අධ්‍යයන වාර්තා හා ඇස්තමේන්තු අමාත්‍යාංශය  වෙත යොමු කර ඇත.

(iv) ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අම්පේ ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කොටියාකුඹුර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන කොටියාකුඹුර සංවර්ධන පදනම යන පානීය ජල ව්‍යාපෘතිය මඟින් ජලය ලබා දෙන ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොල, යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්‍රාම නිලධාරි වසම් 08ක තෝරා ගත් පවුල් 1,362ක් සඳහා පිරිසිදු හා සුරක්ෂිත පානීය ජලය ලැබෙන අතර මේ වන විට පානීය ජල දුෂ්කරතාවෙන් පිඩා විඳින ගලිගමුව, රුක්ගහතැන්න ග්‍රාම නිලධාරි වසමේ පවුල්  582ක් සඳහා ද පිරිසිදු පානීය ජලය ලැබේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks