පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) නේවාසික වීසා මත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍යය තත්ත්වය තක්සේරු කිරීම සඳහා 2018/2019 වර්ෂයේදී සංක්‍රමණය සඳහාවූ ජාත්‍යන්තර සංවිධානය විසින් ජාත්‍යන්තර සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය පිහිටුවන ලද බවත්;
(ii) මූලික ස්ථාපන පිරිවැය අයකර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම මධ්‍යස්ථානය පවරා ගනු ලබන බවට ඇති අවබෝධය මත එය ස්ථාපනය කරන ලද බවත්;
(iii) කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එම අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාදවූ බවත්;
(iv) 2025 සහ 2026 වර්ෂවලදී ජාත්‍යන්තර සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය පවරා ගන්නා බවට සහතිකවීම් ලබා දුන්නද, ඒ සම්බන්ධ කිසිදු ප්‍රගතියක් අත්වී තිබෙන බවක් නොපෙනෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය පවරා ගැනීම සඳහා නිශ්චිත සැලැස්මක් සහ කාලරාමුවක් තිබේද;
(ii) එම මධ්‍යස්ථානය හරහා උපයනු ලබන වාර්ෂික ආදායම අයකර ගැනීම අත්හැරීමට අමාත්‍යාංශය අදහස් කරන්නේද;
(iii) එකී ආදායමෙන් අමාත්‍යාංශයට ලැබුණු 15%ක කොටස මේ දක්වා භාවිත කර ඇති ආකාරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-09
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නේවාසික වීසා මත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා, 2018.03.20 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය - IOM - සමඟ අවබෝධතා ගිවිසුමක් - MoU එකක් - අත්සන් කරන ලදී. එම ගිවිසුම 2018.05.04 දින අත්සන් කර ඇති අතර, පළමු සංශෝධන එකඟතාව 2018.09.19 දින අත්සන් කරන ලදී. එ් අනුව, ආගමනික සෞඛ්‍ය ඇගැයීම් මධ්‍යස්ථානයේ - IHAC - මෙහෙයුම් කටයුතු 2019 ජූනි 10 දින ආරම්භ කර ඇති අතර අදාළ තොරතුරු ඇමුණුම් 01, 02 සහ 03 මඟින් දක්වා ඇත.
(ii) අවබෝධතා ගිවිසුමෙහි 3(i) වගන්තිය යටතේ IHAC ආයතනයේ මූලික පිරිවැය හා බැඳීම් ප්‍රතිපූරණය කර ගැනීම සමඟ වසර 2 1/2ක කාලයක් තුළදී මෙම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමේ එකඟතාවට යටත්ව තමයි මේක ක්‍රියාත්මක කර තිබෙන්නේ. එය ඇමුණුම 02 මඟින් දක්වා තිබෙනවා.
(iii) කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ආගමනික සෞඛ්‍ය ඇගැයීම් මධ්‍යස්ථානයේ කටයුතු 2020.03.16 සිට 2020.05.26 දක්වා තාවකාලිකව අත්හිටුවන ලද අතර, එම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද විය. ඒ අනුව, 2021.10.13 දින අත්සන් කරන ලද දෙවන සංශෝධන එකඟතාව මඟින් අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය 2023.05.03 දක්වා දීර්ඝ කරමින් සෞඛ්‍ය ඇගැයීම් වැඩසටහන ආරම්භ කළ දින සිට IOM ආයතනයට වසර තුනකට පස්සේ ශ්‍රී ලංකා ආණ්ඩුවට ඒක පවරනවාය කියන එකඟතාවට ඇවිල්ලා තිබෙනවා. විස්තර ඇමුණුම් 04, 05 සහ 06 මඟින් දක්වා ඇත.
(iv) 2026.01.23 දින ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර, ඒ සඳහා අතිරේක ලේකම් (වෛද්‍ය සේවා)ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව, 2026.02.09 දින අදාළ කමිටුව පත් කළ අතර, 2026.02.12 දින එහි පළමු රැස්වීම පවත්වා මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට අදාළ මූලික කටයුතු පිළිබඳ විමර්ශනයක් කරලා තිබෙනවා. විස්ත ඇමුණුම් 07 සහ 08 මඟින් දක්වා ඇත.
(ආ) (i) සිව්වන සංශෝධන එකඟතාව අනුව අවබෝධතා ගිවිසුමේ වලංගු කාල සීමාව අවසන් වනවිට IHAC මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට සැලසුම් කරලා තිබෙනවා. ඒ සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ ලබා ගෙන පවරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට තීරණය කරලා තිබෙනවා. ඒ වාගේම, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මෙහෙයුම් සහාය ලබා දීමට IOM ආයතනය එකඟ වෙලා තිබෙනවා. තවද, අවශ්‍ය නීතිමය හා පරිපාලනමය කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවබෝධතා ගිවිසුමේ කාල සීමාව 2026.12.31 සිට මාස 4ක් දක්වා දීර්ඝ කොට පවරා ගැනීමේ කටයුතු නිම කිරීමට නියමිතව තිබෙනවා. විස්තර ඇමුණුම 09 මඟින් දක්වා ඇත.
(ii) IHAC වැඩසටහන ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වූ අමාත්‍යාංශයට හිමි මූල්‍ය කොටස, අවබෝධතා ගිවිසුමේ - MOU - විධිවිධාන අනුව අදාළ ආයතනය විසින් දැනටමත් අමාත්‍යාංශය වෙත පවරා තිබෙනවා. එබැවින්, මෙම ආදායම් මාර්ගය අත්හැර දැමීමක් සිදු වෙලා නැහැ.
(iii) පහත වගුවේ දක්වා ඇති පරිදි දෙවන සංශෝධන එකඟතාවයේ - Addendum 2 - සඳහන් ප්‍රතිශත අනුපාතයන් අනුව ගණනය කරන ලද අමාත්‍යාංශයට හිමි කොටස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බැර කර ඇත.
|
අයදුම්කරු කාණ්ඩය |
IOM සඳහා සේවා ගාස්තුව (ඇමෙරිකානු ඩොලර්) |
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා (ඇමෙරිකානු ඩොලර්) |
|
වයස අවුරුදු 11 සහ ඊට වැඩි |
62 |
13 |
|
වයස අවුරුදු 11ට අඩු |
35 |
40 |
මෙම වගුවට අනුව වයස අවුරුදු 11 සහ ඊට වැඩි එක් පුද්ගලයෙකුගෙන් IMO සඳහා සේවා ගාස්තුව වශයෙන් ඇමෙරිකානු ඩොලර් 62ක් අය කරගෙන තිබෙනවා. එක් අයෙකුගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇමෙරිකානු ඩොලර් 13ක් ලබාගෙන තිබෙනවා. ඒ වාගේම වයස අවුරුදු 11ට අඩු අයකුගෙන් ඇමෙරිකානු ඩොලර් 35ක් ගන්නා අතර, එයින් යම් කොටසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබිලා තිබෙනවා. ඒ සඳහා වූ සියලු වාර්තා සහ මූල්‍යමය විස්තර මෙහි දක්වා තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ ලැබුණු ආදායම නියමිත පරිදි ලංකා බැංකුවේ තැප්‍රෝබේන් ශාඛාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් පවත්වාගෙන යනු ලබන ගිණුම් අංක 7141244 දරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාන්‍ය තැන්පතු ගිණුම වෙත බැර කරලා තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර මෙහි අමුණා තිබෙනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ තෝරා ගත් භාණ්ඩ හා සෞඛ්‍ය ආරක්ෂණ සැලසුම් නොමිලයේ නිකුත් කර තිබෙනවා. ඒ කියන්නේ, රෝගියෙක් detect වුණොත් අපි ඒ රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නොමිලයේ සිදු කර තිබෙනවා.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks