E   |     |  

 දිනය: 2026-07-10   පිළිතුර ලබා දී ඇත 

2012/2026: කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුම: පාරිභෝගිකයින් මුහුණ දෙන දුෂ්කරතා

ගරු දේවානන්ද සුරවීර මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       කොළඹ දිස්ත්‍රික්කය තුළ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ජලය පරිභෝජනයට ගන්නා ලියාපදිංචි පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම ජනතාව සඳහා අවශ්‍ය වන සමස්ත ජල ධාරිතාව කොපමණද;

(iii) දිස්ත්‍රික්කය තුළ නව ජල සම්බන්ධතා සඳහා දෛනිකව ඉදිරිපත් වන අයැදුම්පත් සංඛ්‍යාවේ සාමාන්‍යය කොපමණද;

යන්න එතුමා  සඳහන් කරන්නෙහිද?

(ආ) (i) දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජල පීඩනය අවම වීම හේතුවෙන් දෛනිකව ප්‍රමාණවත් ජලය නොලැබීමෙන් අපහසුතාවයට පත්වන  ප්‍රජාවක් සිටින බව දන්නේද;

(ii) එසේ නම්, එම ප්‍රදේශවලට නිසි පීඩන යටතේ ජලය සැපයීමට පියවර ගන්නේද;

(iii) රුක්මල්ගම පිහිටි ජල ටැංකිය 1985 වර්ෂයේ ඉදිකරන ලද විශාල ජල ධාරිතාවක් ගබඩා කළ හැකි ටැංකියක් වුවද, මේ වනවිට එය අක්‍රිය තත්ත්වයේ පවතින බව දන්නේද; 

(iv) රුක්මල්ගම නිවාස ඒකක 501කින් සමන්විත නිවාස ව්‍යාපෘතියේ ජල පාරිභෝගිකයන්ගේ බහුතරයක් සහ විජයපුර ප්‍රදේශයේ පවුල් රාශියක් මේ හේතුවෙන් පීඩා විඳින බව දන්නේද;

(v) එම ජල ටැංකිය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීමට හේතු කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-07-10

අසන ලද්දේ

ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       722,937කි.

              (ii)       790,000m3ක් එක දිනයකට නිෂ්පාදනය කර බෙදා හරිනවා.

             (iii)       55ක් පමණ.

(ආ)         (i)       ඔව්.

              (ii)       ඔව්. ඒ සඳහා දීර්ඝ කාලීන හා කෙටි කාලීන විසඳුම් හඳුනා ගෙන ඇත.

             (iii)       ඔව්.

             (iv)       ජල පාරිභෝගිකයන්ගේ බහුතරයක් සහ විජයපුර ප්‍රදේශයේ පවුල් රාශියක් මේ සම්බන්ධයෙන් පීඩා විඳින බව දන්නා අතර, එම පීඩාවට හේතුව මෙම අත්හැර දමන ලද ජල ටැංකිය නොවන බව දන්වා සිටිමි.

(v) දැනට මෙම ප්‍රදේශවලට සපයනු ලබන ජලය, පන්නිපිටිය ජල ටැංකිය මඟින් සපයන අතර එමඟින් වැඩි පීඩන තත්ත්වයක් යටතේ වැඩි ජල පාරිභෝගික වපසරියක් වෙත ජලය සපයනු ලැබේ.

අතුරුගිරිය ප්‍රදේශය වෙත 4,500m3ක ධාරිතාවකින් ජලය සපයනු ලබන Chico Plant ජල සැපයුම් පද්ධතිය 12,000m3ක් දක්වා වැඩිදියුණු කිරීමේ ප්‍රසම්පාදන කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, ඒ අනුව පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු ඉදිරි අවුරුදු එකහමාරක කාලයක් තුළ නිම කිරීමට හැකියාව ලැබේ.

එම නිසා ඉන් ලැබෙන අමතර ජල ධාරිතාව පන්නිපිටිය දක්වා සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබේ.

එමෙන්ම අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් දෛනිකව සිදු කරනු ලබන නිෂ්පාදන ධාරිතාව 50,000m3කින් ඉහළ නැංවීමේ ADB ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, එම ව්‍යාපෘතිය මඟින් කෝට්ටේ හා මහරගම ප්‍රදේශය වෙත වැඩි ජල ධාරිතාවකින් ජලය සැපයීම සිදු වේ.

ඒ අනුව, ලබුගම-කලටුවාව මඟින් මහරගම ප්‍රදේශය වෙත N 33 සම්ප්‍රේෂණ නළ මාර්ග‍ය ඔස්සේ ලැබෙන වැඩි ජල ප්‍රමාණය, පන්නිපිටිය වෙත ලබා දීමේ හැකියාව ලැබේ.

මීට අමතරව ලබුගම-කලටුවාව පිරිපහදුව මඟින් ජලය සපයන මිලි මීටර් 1,000ක විෂ්කම්භයකින් යුත් බෙදා හැරීමේ සම්ප්‍රේෂණ නළ මාර්ගය මේ වන විට මීගොඩ හන්දිය දක්වා පමණක් ක්‍රියාත්මක වන අතර, එම බෙදා හැරීමේ නළ පද්ධතිය පන්නිපිටිය දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.

එබැවින්, ඉහත සඳහන් කර ඇති වැඩිදියුණු කිරීම්වලින් අනතුරුව දෛනික ජල සැපයුම් ධාරිතාව වැඩි කර ගැනීමට හැකියාව ලැබෙන අතර, දැනට අත්හැර දමා ඇති ජල ටැංකිය පිළිසකර කර භාවිතයට ගැනීමට හැකියාව ලැබේ.

(ඇ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2026-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. සරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks