පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ජේ.සී. අලවතුවල මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන සිදු කරන සෑම අවස්ථාවකදීම විශ්‍රාම වැටුප් විෂමතාවය ඉහළ යන බව විශ්‍රාමික සංවිධාන විසින් පෙන්වා දෙන බව දන්නේද;
(iii) එම විෂමතාවය අවම කිරීමට වර්තමාන රජය මෙතෙක් ගෙන ඇති සහ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-10
අසන ලද්දේ
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 748,215ක් වේ. වැඩිදුර විස්තර ඇමුණුම 01හි සඳහන්ව ඇත.
ඇමුණුම 01 සභාගත*කරමි.
(ii) • රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්වනු ලබන නිලධරයකු වෙත හිමිගන්වන විශ්‍රාම වැටුප ගණනය කරනු ලබන්නේ ඔහු අවසන් වරට සේවයේ යෙදී සිටි දිනට ලැබූ වැටුප සහ ඒ වන විට ඔහු විසින් සම්පූර්ණ කරන ලද සේවා කාලය මත පදනම්වය.
• නිලධරයා අවසන් වරට සේවයේ යෙදී සිටි දිනය වන විට ලබමින් සිටි වැටුප තීරණය වන්නේ රාජ්‍ය සේවය තුළ එම අවස්ථාව වන විට ක්‍රියාත්මක වන වැටුප් ව්‍යුහය අනුවය. එබැවින් නිලධරයා විශ්‍රාම යෑමෙන් පසුව රාජ්‍ය සේවයට අදාළව සිදු කරනු ලබන වැටුප් සංශෝධන අනුව රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහයේ සිදු වන වෙනස්වීම් නිලධරයා ලබමින් සිටින මූලික විශ්‍රාම වැටුප සඳහා බලපෑමක් ඇති නොකරයි.
• කෙසේ වෙතත්, අතීතයේ සිට මේ දක්වා රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන සිදු කරනු ලබන අවස්ථාවලදී ඊට අනුරූපීව විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපද ප්‍රතිශෝධනය කිරීමට එවකට පැවති රජයන් විසින් පහත දක්වා ඇති පරිදි කටයුතු කර ඇත.
• 1996.12.31 දින හෝ ඊට පෙර විශ්‍රාම ගොස් 2004.01.01 දින වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටින සියලු විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප 1996.12.31 දිනට අදාළ වැටුප මත ප්‍රතිශෝධනය කිරීම හා 2004.01.01 දින සිට ප්‍රතිශෝධිත විශ්‍රාම වැටුප ගෙවීම. (අවුරුදු අටකට පසු)
• 1997.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ගොස් 2006.01.01 දින වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටින සියලු විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප 1997.01.01 දිනට හිමි වැටුප මත ප්‍රතිශෝධනය කිරීම. (අවුරුදු නවයකට පසු)
• 2006.01.01 දිනට පෙර විශ්‍රාම ගොස් 2015.07.01 දින වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටින සියලු විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 හා 06/2006(iv)හි සඳහන් අදාළ වැටුප් ක්‍රමය අනුව ප්‍රතිශෝධනය කිරීම. (අවුරුදු නවයකට පසු)
• 2017.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලු විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි උපලේඛන IIහි 2017.01.01 දිනට හිමි විය යුතු වැටුප මත ප්‍රතිශෝධනය කිරීම හා 2019.07.01 දින සිට එම ප්‍රතිශෝධිත විශ්‍රාම වැටුප ගෙවීම. (වසර එකහමාරකට පසු)
මේ විධියට මේ ප්‍රතිශෝධන කරලා තිබෙනවා.
• රාජ්‍ය සේවය සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වා දෙනු ලබන අවස්ථාවන්හිදී ඒ වන විට විශ්‍රාම ගොස් සිටින සමස්ත විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපද එම නව වැටුප් ව්‍යුහයට අනුරූපව ප්‍රතිශෝධනය කිරීමට ඉහත පරිදි අවස්ථාව සලසා දී ඇති බැවින් රාජ්‍ය සේවය සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වා දෙනු ලබන සෑම අවස්ථාවකදීම විශ්‍රාම වැටුප් ලබන සමස්ත විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපද එම නව වැටුප් ව්‍යුහය අනුව ප්‍රතිශෝධනය කර දෙන ලෙස ඉල්ලීමට පෙලඹීමක් ඇති වී තිබෙන බව නිරීක්ෂණය කරමි.
• ඒ අනුව, 2025 අය වැය යෝජනා මඟින් රාජ්‍ය සේවය සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීමෙන් පසුව මේ වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටින විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප ඊට අනුරූපව ප්‍රතිශෝධනයට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වීම සිදු වේ.
• එසේ වුවත්, රාජ්‍ය නිලධරයකු විශ්‍රාම යෑමෙන් පසුව රාජ්‍ය සේවයේ සිදු කරනු ලබන වැටුප් ව්‍යුහයේ සංශෝධන, මූලික විශ්‍රාම වැටුප සංශෝධනය සඳහා බලනොපාන බව සඳහන් කරමි.
(iii) • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට අදාළව විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය කිරීමට යෝජනා කරන ලද අදියර 5න් අදියර 3ක් මෙම රජය බලයට පත් වන අවස්ථාව වන විට ක්‍රියාත්මක කිරීමට ඉතිරිව තිබිණි.
• ඒ අනුව මේ වන විට විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින් අතරින් 2020.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ගොස් ඇති සියලු විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි උපලේඛන IIහි 2020.01.01 දිනට අදාළ වැටුප අනුව ප්‍රතිශෝධනය කිරීමට 2025 අය වැය වැඩසටහන යටතේ රජය විසින් තීරණය කර ඇත.
• මෙය අදියර 03ක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර ඉන් පළමු අදියර එනම්, 2018.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලු විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි උපලේඛන IIහි 2018.01.01 දිනට අදාළ වැටුප මත ප්‍රතිශෝධනය කිරීම 2025.07.01 දින සිට ආරම්භ කරන ලද අතර මේ වන විට එම කටයුතු සියයට 95කින් පමණ අවසන් කර ඇත. ලිපිගොනුවල ගැටලුවක් තිබුණා නම් පමණයි යම් ප්‍රමාදයක් තිබෙන්නේ.
• දෙවන අදියර 2026.07.01 දින සිට ක්‍රියාත්මක වන අතර, එහිදී 2019.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලු විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි උපලේඛන IIහි 2019.01.01 දිනට හිමිවිය යුතු වැටුප මත ප්‍රතිශෝධනය කිරීමට නියමිතව ඇත. මේ ජූලි 01වැනි දා සිට එය ක්‍රියාත්මකයි.
• තුන්වන අදියර 2027.07.01 දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර, එහිදී 2020.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලු විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි උපලේඛන IIහි 2020.01.01 දිනට හිමිවිය යුතු වැටුප මත ප්‍රතිශෝධනය කිරීමට නියමිතව ඇත.
• ඒ අනුව 2027.07.01 දින වන විට 2020.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලු විශ්‍රාමිකයින්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි උපලේඛන IIහි 2020.01.01 දිනට හිමිවිය යුතු වැටුප මත විශ්‍රාම වැටුප හිමි වනු ඇත.
• 2020.01.01 දිනෙන් පසු 2025.01.01 දින තෙක් විශ්‍රාම ගොස් ඇති සියලු විශ්‍රාමිකයින් -මේ ප්‍රශ්නගත කණ්ඩායම- විශ්‍රාම ගොස් ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 යටතේ රජයේ නිලධාරින් සඳහා ලබා දුන් අදියර 5ක වැටුප් වැඩිවීම් ලබා ගැනීමෙන් පසුවය. ඒ අනුව 2020.01.01 දින සිට 2025.01.01 දින තෙක් විශ්‍රාම ගොස් ඇති සියලු විශ්‍රාමිකයින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි 2020.01.01 දිනට රාජ්‍ය නිලධාරින් සඳහා ලබා දුන් වැටුප් වැඩිවීම් ලබාගෙන ඇති අතර, එතැන් සිට ඔවුන් විශ්‍රාම ලබා ගත් දින දක්වා වන වැටුප් වර්ධකයන්ද, ඊට අනුරූපී වන පරිදි විශ්‍රාම වැටුපද ලබා ගනිමින් සිටී.
• එබැවින් 2025.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලබා ඇති සියලුම විශ්‍රාමිකයින් 2027.07.01 දින වන විට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි 2020.01.01 දිනට හිමි වැටුප මත විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින් බවට පත් වේ. එබැවින් එම විශ්‍රාමිකයින් අතර විශ්‍රාම වැටුප් විෂමතාවක් නොපවතින බව සඳහන් කරමි.
• ජීවන වියදම ඉහළ යෑම මත විශ්‍රාමිකයින්ට මුහුණ දීමට සිදු වන ආර්ථික ගැටලු සඳහා සහන සැලසීමේදී මූලික විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය කිරීම වෙනුවට විශ්‍රාමිකයින් වෙත හිමිගන්වනු ලබන ජීවන වියදම් දීමනාව ඉහළ දැමීම හෝ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට සමගාමීව තීරණය කරනු ලබන ප්‍රතිශතයකින් යුත් වෙනත් විශේෂ දීමනාවක් සමස්ත විශ්‍රාමිකයින් වෙත හිමිගැන්වීම වඩාත් සුදුසු බව නිරීක්ෂණය කරන අතර, ඉදිරියේදී ඒ පිළිබඳව සලකා බැලීමට තීරණය කර ඇත.
ඇමුණුම 02ට අනුව රුපියල් 14,000කට වැඩි මුදලක් ගෙවනවා.
ඇමුණුම 02
2025.01.01 දින හෝ ඊට පෙර සේවයෙන් විශ්‍රාම ගොස් ඇති විශ්‍රාමිකයන් වෙත විශ්‍රාම වැටුපට අමතරව පහත සඳහන් දීමනා හිමිගැන්වීම සිදු කෙරේ.
Ø 2022.01.13 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2022 අනුව මාසිකව ගෙවනු ලබන රුපියල් 5,000ක දීමනාව.
Ø 2024.01.10 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2024 අනුව මාසිකව ගෙවනු ලබන රුපියල් 6,025ක ජීවන වියදම් දීමනාව.
Ø 2024.08.07 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2024 අනුව මාසිකව ගෙවනු ලබන රුපියල් 3,000ක විශේෂ අන්තර්කාලීන දීමනාව.
2025.01.01 දිනෙන් පසු සේවයෙන් විශ්‍රාම ගොස් ඇති විශ්‍රාමිකයන් වෙත විශ්‍රාම වැටුපට අමතරව පහත පරිදි දීමනා හිමිගැන්වීම සිදු කෙරේ.
i. 2025.01.01 දිනෙන් පසුව 2025.03.31 දින තෙක් වූ කාල සීමාව තුළ සේවයෙන් විශ්‍රාම ගොස් ඇති විශ්‍රාමිකයන් වෙත රුපියල් 6,025ක ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 5,000ක මාසික දීමනාව හා රුපියල් 3,000ක විශේෂ අන්තර්කාලීන දීමනාව 2025.06.30 දින තෙක් පමණක් හිමිගැන්වීම සිදු කරන අතර ඉන්පසුව විශ්‍රාම වැටුප සමඟ මාසික ජීවන වියදම් දීමනාව පමණක් හිමිගන්වනු ලැබේ.
ii. 2025.04.01 දිනෙන් පසුව සේවයෙන් විශ්‍රාම ගනු ලබන විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් සමඟ රුපියල් 6,025ක මාසික ජීවන වියදම් දීමනාව හිමිගැන්වීම සිදු කෙරේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks